දරුඵල පමා කරන ඔසප් කාලෙට අධික වේදනා දෙන එන්ඩොමෙට්‍රියෝසිස්

කාන්තාවන්ට පොදුවේ සෑදෙන රෝග හැර විශේෂිත වූ රෝග තිබේ. ඒ ගර්භාශය හා සම්බන්ධ ගැටලු නිසා සෑදෙන රෝගාබාධ ය.
 
එන්ඩො මෙටි්‍රයෝසිස් රෝගය කාන්තාවට සෑදෙන වැඩි වශයෙන් කාන්තා රෝග අතර දක්නට ලැබෙන රෝගයකි. මෙම රෝගය සෑදෙන්නේ ගර්භාෂය තුළ තිබෙන කුටීරයේය. එම කුටීරයේ ඇතුළත ආස්තරයේ තිබෙන සෛලවල එන්ඩොමෙටි්‍රයෙල් සෙල්ස්වලය. මෙම සෛල ගර්භාශයෙන් පිටත පිහිටීම මෙම රෝගයට හේතුව වේ. මෙය වැඩි වශයෙන් පිහිටන්නේ ශ්‍රෝණිය ආශ්‍රිතවය.
 
ඩිම්බකෝෂ, පැලෝපීය නාළ, බඩවැල්, ගුද හා යෝනිය අතරත් මුත්‍රාශය ආශ්‍රිතවත් මෙය ඇති විය හැකිය. 
 
කාන්තාවට මාසිකව ඔසප් වීම සිදු වේ. එසේ වන්නේ මාසිකව ගර්භාශය තුළ  ආස්තරයේ දරු පිළිසිඳ ගැනීමක් නැති වූ විට බිඳීමකට ලක් වීමෙනි. මෙම සෛල කුටීර ඇතුළේ තිබිය යුතුයි. ඒවා පිටත තිබෙන විට සුළු රුධිර වහනයක් වේ. ඒවා කාලයක් එකතු වේ. ඒවා පිටත නොයන නිසා ඇලෙන ගතියට එකතු වේ.
 
මෙම රෝග තත්ත්වය ගැහැනු දරුවෙකුට වැඩිවිය පත් වී ආර්තවය පටන් ගත් පසු ඕනෑම වයසකදී ඇති විය හැකියි.
 
 
රෝග ලක්ෂණ මොනවාද? 
 මාසික ඔසප් දින අසාමාන්‍ය යටි බඩ  වේදනාව
මෙය සාමාන්‍යයෙන් ගැහැනු දරුවෙකුට එම දිනය එන වේදනාවට වෙනස්ය. සාමාන්‍ය ඔසප්වීම වන දැරියකට යටි බඩ වේදනාව එන්නේ පැය 24 තරම් කාලයකි.
 
එන්ඩොමෙටි්‍රයෝසිස් රෝගයෙන් පෙළෙන කාන්තාවකට ඔසප්වීමට සතියකට පෙර සිට යටි බඩේ කැක්කුම ඇති වේ. එය ඔසප්වීම සෑදී අවසන් වූ පසුත් සතියක් පමණ පවතී. සමහරුන්ට අධික යටි බඩ වේදනාව ඔසප් වීමට පෙර පටන් පවතී. මේ නිසා එදිනෙදා  ජීවිතයේ සාමාන්‍ය වැඩ කටයුතු පවා කර ගැනීමට නොහැකි ලෙස අසාමාන්‍ය වේදනාව පවතී. මෙම තත්ත්වයෙන් පෙළෙන පාසල් යන දැරියන් පාසල් පවා යන්නේ නැත. ඒ තරමට ඔසප්වීමට පෙර පටන් අසාමාන්‍ය යටිබට වේදනාව මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණයකි.
 
 
රෝගය හඳුනාගන්න හැටි 
මෙහිදී බොහෝ දෙනා මෙය එන්ඩොමෙටි්‍රයෝසිස් රෝගය ලෙස හඳුනා ගන්නේ ඔසප් කාලයේ අධික වේදනාවට මුහුණ දී බැරිම තැනය. එනම් සමහරු රෝගය වැලඳී වසර 7-10 ක් පමණ ගිය පසුවය.
ඔසප් වේදනාව නිසා සමහර මවුවරු දියණිය වෛද්‍යවරු කරා ගෙන යති. එහිදී බොහෝ විට අසන්නට ලැබෙන්නේ ‘බැන්දට පස්සේ හරි යයි’ යන ප්‍රතිකර්මයයි. මේ නිසා තවත් මෙම රෝගය හඳුනා ගැනීම පමා වේ.
මෙම රෝගය බොහෝ දෙනා හඳුනා ගන්නේ විවාහ වී දරුවන් පිළිසිඳ නොගන්නා විටය. මේ නිසා සමහරු රෝගයත් සමග අවුරුදු 10-12 සිටිති. 
 
 
මෙම රෝගයේ භයානකකම වන්නේ රෝගය හඳුනා නොගෙන කල් යන විට ඇතුළත තිබෙන ඩිම්බ කෝෂ ඇලීමට භාජනය වීමයි. එවිට සාමාන්‍ය ශ්‍රෝණි ව්‍යූහය වෙනස් වේ. මෙවැනි අයට සාමාන්‍ය දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවේ. 
 
මෙම රෝගයට මුහුණ දෙන කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන තවත් ගැටලුවක් වන්නේ සෛල යෝනි, ගුද මාර්ගය අතර ගැට මෙන් ඇතිවීමයි. එසේ වන්නේ රුධිරය එකතුවීම නිසාය. මෙම තත්ත්වය ඉතා වේදනාකාරී වේ.
මෙම එන්ඩොමෙටි්‍රයෝසිස් රෝගය අවධි හතරකින් සඳහන් කළ හැකියි.
 
1. ඉතාම සුළු තත්ත්වයකි.  මෙහි හතරවන අදියරයට පත් වූ කාන්තාවකගේ ගර්භාශය, ඩිම්බකෝෂ, පැලෝපීය නාළ එකිනෙක හඳුනාගැනීමට නොහැකි තරමට බඩවැල්වලින් වැසි ඇලී තිබීමයි. එකට එකක් දමා ඇති ලෙස බැඳී පවතී.
 
මෙම රෝගය කලක් තිබී හතරවැනි අදියරට ආ පසු කාන්තාවට ඔසප්වීම නැතිව සිටින විටත් යටි බඩේ වේදනාව ඇති වේ.  සමහරුන්ට දෙපාවල වේදනාවක් දැනෙන්නට පටන් ගනී.
මෙවැනි කාන්තාවන්ට ලිංගික සංසර්ගය ඉතාම වේදනාකාරී වේ. ඒ ගර්භාශයේ තිබෙන ගැටිති නිසාය. මේ නිසා ඇතැම් විට පවුල් ප්‍රශ්න පවා ඇති වේ. 
 
මෙසේ අධික වේදනාවක් දැනීිම බොහෝ දෙනා ලෙඩක් ලෙස සිතන්නේ නැත. එය ස්වාභාවික දෙයක් ලෙස සිතන අය සිටිති. එයින් වන්නේ පවුල දෙදරා යාමයි.
 
 
අපේ රටේ මෙම රෝගීන් වැඩිද?

උපදෙස්- :
මහරගම අපේක්ෂා රෝහලේ 
නාරිවේද පිළිකා පිළිබඳ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය 
සමන්ති ප්‍රේමරත්න

 

අපේ රටේ මෙම රෝගයෙන් පෙළෙන අය සිටිති. සමහර කාන්තාවෝ අදියර හතරේ රෝගීන්ය. මෙම රෝගීන් විඳින අපහසුතාවයෙන් ජීවිත නැති කර ගැනීමට තරම් සිටිති. ඒ නිසා මෙවැනි රෝග වේලාසනින් හඳුනාගත යුතුය.
 
යටිබඩේ වේදනාව පැය 24ට වඩා තිබේ නම් එවිට තද වේදනා දැනේ නම්, ක්ලාන්තය හැදෙන තරමට වේදනා සහිත නම් ඒ අවස්ථාවට තද වේදනා නාශක ගෙන එය යටපත් නොකර හේතු සොයා ගත යුතුය. එවිට එන්ඩොමෙටි්‍රයෝසිස් යැයි හෙළි වුවහොත් පමා නොකර නිසි ප්‍රතිකාර ගත යුතුය.
 
මේ හැර අලුතින් ඔසප් දිනයට යටි බඩ වේදනාව තදබල ලෙස දැනේ නම් කල් නොයවා වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුයි. මෙහිදී කලින් රෝගය හඳුනාගතහොත් මෙම රෝගයට සෑදෙන ‘චොක්ලට් සිස්ට්’ ඒමට පෙර හඳුනාගෙන ප්‍රතිකාර කළ හැකියි. මේ සඳහා ස්කෑන් පරීක්ෂණයක් කළ යුතුයි. එය යෝනි මාර්ගය හරහා කරන ස්කෑන් පරීක්ෂණයකි. එහිදී ඩිම්බකෝෂ ඇලී තිබේද නැද්ද යන්න හඳුනාගත හැකියි.
 
 
රෝගය සොයන පරීක්ෂණ
එන්ඩොමෙටි්‍රයෝසිස් රෝගය හඳුනා ගැනීමට සුදුසුම පරීක්ෂණය වන්නේ ලැපරොස්කොපි පරීක්ෂණයයි. එයින් රෝග තත්ත්වය 100%ක්ම හඳුනාගත හැකිය. එහෙත් මෙම රෝගයෙන් පෙළෙන හැමෝටම මෙම පරීක්ෂණය අවශ්‍ය නැත. රෝග ලක්ෂණ අනුව මෙම රෝගය බවට අනුමාන කළ හැකියි.
 
 
ආර්තවයේදී දැනෙන වේදනාව වැඩිද?
යම් කාන්තාවකට මාසික ඔසප්වීම මාසෙන් මාසෙට වන විට දැනෙන වේදනාවන් ක්‍රමයෙන් වැඩි වන්නේ නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. එය මාස හයක් පමණ යන විට වේදනාව වඩාත් වැඩි නම් පමා නොකර වෛද්‍ය උපදෙස් ගත යුතුයි. එවිට බරපතළ නොවීමට පෙර රෝගය සුවකර ගත හැකියි.

මෙම රෝගය වැඩිවිය පත් වූ පසු ඕනෑම වයසකදී කාන්තාවකට ඇති විය හැකියි. වයස අවුරුදු 19-20 දරුවෙකුගේ මෙවැනි රෝගයක් හඳුනාගතහොත්  එය පහසුවෙන් සුව කර ගත හැකියි. මෙහිදී පළමුව කරන්නේ එම දැරියගේ හෝමෝන චක්‍රය ඖෂධ මගින් පාලනය කිරීමයි. එසේ පාලනය කර ඔසප්වීම නතර කර ඖෂධ නියම කරයි. මේ සඳහා නියම කරන්නේ උපත් පාලන ගිලින පෙතිය. ඒවා හෝමෝන පෙති වේ. එයින් රෝගය බොහෝ විට පාලනය කර ගත හැකිය.

අවුරුදු 19-20  අවිවාහක තරුණියකට මෙවැනි රෝගයක් හැදුණොත් මුලදී හඳුනාගන්නා විට ඇය රෝගයේ අදියර 2 කෙනෙක් විය හැකියි. එයට ඖෂධ දී රෝගය සුව කර ගත හැකිය.  එසේ නොවුනහොත් ඇය විවාහ වන විට එනම් වයස අවරුදු 25-30 වන විට අදියර- 4ට පත්ව සිටිය හැකිය. එසේම මෙවැනි කාන්තාවන්ට බොහෝ විට රෝගය නිසා දරුඵල අහිමි විය හැකි වේ. ඒ නිසා දරුඵල අහිමිව මානසික වේදනා විඳින ඔසප් දිනවල කායික වේදනා විඳින බොහෝ දෙනා මෙම රෝගයෙන් පෙළෙනවා විය හැකිය. ඒ නිසා ගැබ් ගැනීම් නොමැතිව මානසික වේදනා විඳින ඔබ පමා නොකර වෛද්‍ය පරීක්ෂණ කරා යොමු වී රෝගය හඳුනා ගන්න. එවිට ප්‍රතිකාර මගින් ඩිම්බ යථා තත්ත්වයට පත් කර නැවත මෙවැනි රෝගී තත්ත්වයක් ඇති නොවීමට ඖෂධ ප්‍රතිකාර කර අවසානයේ දරුඵල ලබා ගැනීමට හැකි ය. ඒ නිසා සෑම කාන්තාවක්ම මෙවැනි රෝග ගැන දැනුවත්ව සිටීම ඉතාම වැදගත් වේ.
 
ශිරානි ගල්ලෑල්ල 
 

අනෙකාගේ විශ්වාසය රකින්න Read Previous

අනෙකාගේ විශ්වාසය රකින්න

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න   - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන් Read Next

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන්

Realted Post

Leave a comment