දරුවන්ට දරුවන් වෙන්න ඉඩ දෙන්න අත්තටු බිඳෙන තැන් ගැන කියාදෙන්න

දශක ගණනාවක සිට ලෝකවාසීහු ඔක්තෝබර් මස පළමු දින ලෝක ළමා සහ වැඩිහිටි දිනය සමරති. එසේ සැමරුවද අපේ රට තුළ තවමත් ළමයින්ගේ සුරක්ෂිතභාවය මෙන්ම ඔවුන්ගේ හෙට දවස පිළිබඳව ඇත්තේ අනියත බලාපොරොත්තුවක් බව වැටහෙන්නේ දිනෙන් දින ඉහළ යන ළමයින් හා සම්බන්ධ නොයෙක් විධ විනය විරෝධී ක්‍රියා වාර්තාවීමත් සමගය.
රටක අනාගතය බාර ගන්නා දරුවන්ගේ අද දවස සුරක්ෂිත වේ නම් හෙට දවස පිළිබඳව ද බලාපොරොත්තු තබාගත හැකි අතර සමස්ත වැඩිහිටියන්ගේ එකම උත්සාහය විය යුත්තේ මේ සඳහා පෙරමඟ තනාදීමය. මෙවර ලෝක ළමා දිනයේද සමස්ත වැඩිහිටියන්ගේ  ප්‍රාර්ථනාව  විය යුත්තේ එයයි.


දරුවන්ට රැකවරණය දෙන නීතිය
දරුවකු සඳහා විවිධ අර්ථ නිරූපණ ඇත. දරුවකු යනුවෙන් අපරාධ නීතිය තුළ හැඳින්වෙන්නේ වයස අවුරුදු 18 නොඉක්ම වූ අයකුය. ළමයින් සඳහා නීති පද්ධතිය තුළ අයිතිවාසිකම් මෙන්ම විශේෂ රැකවරණ ද ඇත. වයසින්, බුද්ධියෙන්, අත්දැකීමෙන් නොමේරූ නිසා මුහුකුරා ගොස් නොමැති නිසා ළමයින් සිදු කරන යම් ක්‍රියාවක්  රටේ නීතියට පිටින් ගියද ළමයින්ට රැකවරණය සැලසෙයි. වරද සිදු කර ඇත්තේ ළමයකු නම් එම වරදට සමාජය මඟින්ද යම් සහනයක් හිමිවන අතර නීතිමය වශයෙන්ද යම් සහනයක් ලැබේ. නීති පද්ධතියේ විශ්වාසය අනුව පුද්ගලයකු ශාරීරිකව යමක් සිදු කරන්නේ මනසින් සිතමිනි. සාමාන්‍යයෙන් ළමයකුගේ මානසික ධාතුව සියයට සියයක් ම සම්පූර්ණ නැති බැවින් ළමයින් ගන්නා තීන්දු තීරණ සම්පූර්ණයෙන්ම නිවැරදි තීරණ නොවේ. එම නිසා පැසුණු බුද්ධියක් නැති බැවින් ළමයින් කරන යම් ක්‍රියා වරදක් ලෙස නීතිය සලකන්නේ නැත. ඒ ළමයින් අත්දැකීම් අඩු පිරිසක් බැවිනි.


ළමයකුට වයස අවුරුදු 18ට ප්‍රථම විවාහවීමට නීතියෙන් ඉඩකඩක් නැති  අතර වයස 18ට අඩු අයකු පවුල් ජීවිතයක් ගත කරයි නම් ඔවුන්ට නීති පද්ධතිය තුළ වරප්‍රසාද නොලැබේ. එලෙස කටයුතු කර ඇත්තේ ළමයකු වුවද මෙම කාරණාව හමුවේ නීතිය මඟින් පූර්ණ රැකවරණයක් ලැබෙන්නේ නැත. පවුල් ජීවිතය පිළිබඳව  කිසිදු අත්දැකීමක් නැති අඩු වයස්වල ළමයින් දුරදිග නොබලා කටයුතු කිරීම නිසා විනාශ වූ තරුණ ජීවිත බොහෝය.
තවද අපේ රට තුළ අපරාධ වගකීම් අවුරුදු 12න් පහළ ළමයින්ට පැවරෙන්නේ නැත. එතැනින් අදහස් කරන්නේ දඬුවම් නැත යන්න නොවේ. එවැනි වයසක දරුවකු අතින් යම් අපරාධමය වරදක් සිදුවුවහොත් ළමයින් නිවැරදි කිරීමේ ක්‍රමයක් ලෙස අඩු දඬුවම් හිමි වේ.


ළමයින්ට අයිතිවාසිකම් සලසන ජාත්‍යන්තර නීතියට අපේ රටද අත්සන් තබා ඇති අතර එහි ළමයින්ගේ අයිතිවාසිකම් පිළිබඳව බොහෝ කරුණු ඇතුළත්ය. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයේ වැඩිහිටියන්ට ද දී ඇති අයිතියම ඒවාට අනුරූප වන ළමයින්ට  අදාළ විදියේ අයිතිවාසිකම් ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ ද සඳහන් කර ඇත. ඒ හැම අයිතියක්ම ළමයින්ට ලබාදෙන බව තහවරු කළ ලියවිල්ලකටද ජාත්‍යන්තරය ඉදිරියේ අත්සන් තබා ඇත. අද වනවිට අපේ රට තුළ ළමයකු සිදුකරන වැරැද්දකට මරණීය දණ්ඩනය හිමි නොවේ.

 

අද ළමයින් අනාරක්ෂිත ද?
ළමයින් අනාරක්ෂිත වූයේ අද ඊයේ සිට නොවේ. පෙර රජ සමයේ සිට ළමයින් අනාරක්ෂිත වූ අවස්ථා අනන්තවත් දක්නට ඇති අතර ළමයින් ගොදුරුවන බොහෝ හිංසන,  අතපසුවීම් අත්වැරදීම්වලින් පවා සිදුවේ. විප්ලව යුගය පවා පිරික්සන විට ළමයින් පැය 18 -20 ක කාලයක් ගල් අඟුරු පතල්වල, වෙනත් කර්මාන්තවල කෑම වේලට වැඩ කළ ආකාරය අසන්නට ලැබේ.


අද වනවිට බොහෝ මිනිසුන් සංවේදීය. මෙහි සංවේදී බවෙන් අදහස් කරනුයේ දුකකදී සිත උණුවන තත්ත්වයක් නොවේ. ළමයකු අනාරක්ෂිත වන විටදී එය වැළැක්වීමට වැඩිහිටියෝ පියවර ගත යුතුය. ළමයින් රැක ගැනීම, සුරක්ෂිත කිරීම වැඩිහිටියන්ගේ නිරන්තර වගකීමකි. මන්ද අද ළමයින් සේ දකින පිරිස හෙට වැඩිහිටියන් වන නිසා ඔවුන් සුරැකීම වැඩිහිටියන්ගේ යුතුකමකි.


අතීතයට වඩා ළමයින්ට සිදුවන හිංසන වර්තමානයේ දී තීව්‍රරය. රුදුරුය. දරුණුය. ළමයින් විවිධ හිංසනවලට ගොදුරු වන්නේ සමාජයේ ම හැසිරීම් රටාව අනුවය. එදාට වඩා අද ළමයින් විඳින අත්දැකීම් ප්‍රමාණය ඉහළය.
නීතියට පමණක් ළමයින් ට ආරක්ෂාව සලසා දීමට නොහැකි අතර සමාජයක් ලෙස එහි සිටින වැඩිහිටි ප්‍රජාව ළමයින් ආරක්ෂා කිරීමේ වගකීම තම අතට ගත යුතුය.
 

හිංසනයට ළක් වූ ළමයින්ගේ අනාගතය
අප සමාජය අදටත් පතන්නේ කිසිදු වැරැද්දක් සිදුනොවූ, පවිත්‍ර ගැහැනුන්, මිනිසුන් ය. සමාජයක් ලෙස අපට අපේ ළමයින්ට නිසි රැකවරණයක් දීමට නොහැකි නම් අනාගතයේදී එහෙම පිරිසක් මෙම සමාජ සංස්ථාව තුළින් බලාපොරොත්තු වන්නේ කෙසේද? ළමයින් අතවරයට, හිංසනයට ලක්වන්නේ සමාජය ඇතුළතින්මය. ළමයකුට රැකවරණය අහිමිවීම එම ළමයාගේ වැරැද්දක් නොවේ. විශේෂයෙන්ම ලිංගික අතවරයකට ලක් වූ දරුවකු සමාජය ඇතුළට ගන්නේ රොඩ්ඩක් ආකාරයටය. එම ක්‍රමවේදය මෙතැන් සිට හෝ වෙනස් විය යුතුය. යම් අතවරයක් සිදු වූ ළමයකු දෙස සමාජය දක්වන අඩු සැලකිල්ල මත දරුවෝද සියලු දෑ දරාගෙන සිටින්නට උත්සාහ කරති. අතවරය සිදුවන්නේ සමාජයේම අයකුගෙ න් වුවද අපහාස කරන්නේද සමාජය විසිනි. මේ ක්‍රමවේදය වෙනස් විය යුතුමය.

 

මාධ්‍යයේ වගකීම
යම් අතවරයකට පත්වන ළමයකු පිළිබඳව බොහෝවිට නිවැරදි තොරතුරු අතීතයේදී නම් දැන හැඳින ගත්තේ අසල නිවාස කීපයක් පමණි. නමුදු වර්තමානය වන විට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ආගමනය සමග ගම, නගරය තුළ සිදුවන සියලු සිදුවීම් එසැණින් ලෝකය පුරා වාර්තා වේ. යම් අතවර සිද්ධියක් වාර්තා කිරීමේදී ළමයාගේ අනන්‍යතාව එළියට නොඑන ලෙස වාර්තා කිරීම අනිවාර්ය වගකීමකි. බොහෝවිට ජනමාධ්‍ය මගින් හරි තොරතුරක් නොදීම මත පුවත මිනිසුන් විශ්වාස නොකර සිටීම මත බොහෝ මාධ්‍ය විවිධ ඉඟි ඉදිරිපත් කරයි. එහෙත් ඒ ඉඟි මගින් අතවරයට පත් ළමයා හඳුනාගතහොත් එය වරදකි. බොහෝවිට මෙවැනි සිදුවීම්වලදී මුද්‍රිත මාධ්‍ය වගකීමකින් කටයුතු කරන අතර විද්‍යුත මාධ්‍ය යම් ප්‍රමාණයකට එය ඉටුකරයි. පාලනය කිරීමට නොහැකි තත්ත්වයක ඇත්තේ සමාජ මාධ්‍යයයි. එවැනි හිංසනයකට ළක් වූ ළමයකු වීඩියෝ මගින් පෙන්වීම මාධ්‍ය ආචාර ධර්ම කැඩීමකි. අපරාධමය වරදකි. මාධ්‍ය නිරන්තරයෙන් කටයුතු කළ යුත්තේ ළමයින් සඳහා වන හිංසන, අතවර සම්බන්ධව නිරන්තරයෙන් ප්‍රජාව දැනුම්වත් කිරීමය. මේ පිළිබඳව ළමා රක්ෂක අධිකාරියේ මාධ්‍ය ඒකකය සීරුවෙන් සිටී. නමුදු මෙවැනි සිදුවීම් හමුවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳව සෑහීමකට පත්විය නොහැක. සමාජ මාධ්‍ය යැයි හඳුන්වා දුන්නාට ඔවුන් ඇතැම් විට වගකීම් විරහිතව ක්‍රියා කරති. ළමා ආරක්ෂාව පිණිස අනතුර වළක්වාළීම මාධ්‍ය සතු වගකීමකි.
 

ළමා නිවාසවල, පරිවාසවල ළමයින්ගේ අනාගතය

ඕනෑම ළමයකු ජීවත්විය යුතු හොඳම තැන තම පවුලයි. මව, පියා, දරුවන් එකට වෙසෙන පවුලකින් සිදුවන කාර්ය බොහෝය. ආරක්ෂාව, රැකවරණය, වර්ධනය, සමාජයට හුරු කිරීම, මඟ පෙන්වීම යන කරුණු ඉටුවන්නේ පවුල මගිනි. අපේ සමාජය තුළ පවුල් සංස්ථා 2 කි.

01. න්‍යෂ්ටික පවුල
02. විස්තෘත පවුල

න්‍යෂ්ටික පවුල යනු මව, පියා, ළමයින්ය. විස්තෘත පවුල යනු ආච්චි, සීයා, සෙසු නෑ පරපුර පිරි විශාල පවුලකි. අපේ රට තුළ සියලු ජාතීන් අතර වඩා ප්‍රචලිත විස්තෘත පවුලයි. නාගරීකරණයත් සමග අපේ සමාජයේ බොහෝ තැන්වල විස්තෘත පවුල බිඳ වැටී ඇති අතර පුංචි පවුල රත්තරං සංකල්පයද මෙයට හේතුවක් විය.

ළමයකුට ළමා නිවාසයක, පරිවාසයක පිහිට පතන්නට සිදුවන්නේ ඉහත සඳහන් කළ පවුල් ඒකක දෙකෙහිම පිළිසරණක් නොමැති වූ විටය. න්‍යෂ්ටික පවුල් ඒකකය අහිමි වූ දරුවකුට මුලින්ම රැ කවරණය පතන්නේ විස්තෘත පවුලකිනි. එහිද පිහිටක් නොමැති වී නම් ළමයාගේ අසල්වැසියකු, මිත්‍රයකු, ගුරුවරයකුට භාරකාරත්වය ගැනීමට හැකිද විමසා බලා ඒ අවස්ථාව ද අහිමි වේ නම් ආයතනගත කිරීම සිදු වේ. මෙයට හොඳම උදාහරණය සුනාමිය යි. එහිදී මව, පියා හෝ දෙදෙනාගෙන් එක් අයකු අහිමි වූ ළමයින් 5728කට ක්‍රියා කළේ මෙම ක්‍රමවේදය අනුවය. පවුලක රැකවරණය ලැබීමට ළමයකුට අයිතිය ඇති අතර ආයතනගත කරන්නේ එය නොලැබෙන බැවිනි. පවුලකින් ලැබෙන අත්දැකීම් කිසිදිනෙක එවැනි ආයතනයකින් නොලැබෙන අතර එය හොඳම තැන නොවේ. පවුලකින් ළමයකුට ලැබෙන සමාජානුයෝජනය ආයතනයකින් ලබා දීමට නොහැකි අතර තනි තනිව අවධානය නොලැබේ. සෙසු පිරිස් හා එකට ගැවසෙන බැවින් අත්දැකීම් ලැබෙන අතර අනාගතයේදී පවුලක් පවත්වාගෙන යන්නේ කොහොමද වැනි අත්දැකීම් අහිමි වේ.
 

ළමයින් රකින්න
සෑම මවුපියකුම, වැඩිහිටියකුම තම ළමයින් පරෙස්සම් කරගත යුතුය. ඒ පරෙස්සම බිත්තර කටුවක රඳවාගෙන සේ නොවේ. කිරිල්ලිය අත්තටු අස්සේ පැටවුන් රැක්කා සේ විය යුතුය. නිසි කල සමාජයට මුසු කළ යුතුය. සමාජයේ පීඩාකාරීබව වටහා ගැනීමට ඉඩ දිය යුතුය. ළමා ආරක්ෂාව යනු ළමයින් යන යන තැන පිටුපසින් යාම නොවේ. ඔවුන්ගේ ආත්ම විශ්වාසය හැදිය යුතුය. කුසලතා වර්ධනය කළ යුතුය. ආපදා හඳුනාගැනීම, මග හැර යාමට පුරුදු කළ යුතුය. දැනුම බෙදා දිය යුතුය. වයස් මට්ටමට අනුව ජීවිතය කියා දිය යුතුය. පරෙස්සම වැදගත්ය. එය අවබෝධයෙන් වටහා දිය යුතුය.


අදහස් දැක්වීම- :
 ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂිකා (නීති)
නීතිඥ ප්‍රීතිකා සකලසූරිය


 

 

 

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න   - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන් Read Previous

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු Read Next

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු

Realted Post

Leave a comment