දරුවන්ට වදහිංසා කළොත් ලැබෙන දඬුවම බරපතළයි
“මගේ දරුවට ගහන්න බැරිනම් කෝටුමස් කරලා හරි මම මූව හදනවා. එහෙම ගහන්නේ උන්ව හරියට හදාගන්න ඕනෑ නිසා. මුන්ට හොඳින් කියලා බෑ. මුන්ව හදන්න ඕනෑ කෝටුවෙන්.”
සමහර මවුපියවරු දරුවන්ට දෙන දඬුවම් සාධාරණීකරණය කරන්නේ මේ විදියට. එහෙම ඇසෙන විට මතක් වන්නේ රැපියල් තෙන්නකෝන් මහතාගේ අපූරු අර්ථගැන්වීමක්.
‘කෙවිටේ බලයෙන් නුවණ ඇදේ නම් ගොනුන්ද පණ්ඩිතයන් වේ’
උපදෙස්: නීතිඥ |
එය සැබෑමය. දරුවන් මට්ටු කළ යුත්තේ කෙවිටෙන් නොව ආදරයෙනි. එහෙත් අවාසනාවකට මෑත කාලයේදී තමන්ගේ මවුපියන්ගෙන්, පවුලේ ඥාතීන්ගෙන් සහ ඇතැම් ගුරුවරුන්ගේ කෲර වදහිංසාවලට ලක්වෙන පුංචි මල් කැකු`ඵ ගැන කඳුළු කතා අනන්තවත් අසන්නට ලැබිණි.
ආදරය, කරුණාව, අවධානය නොලැබෙන විට පුංචි හිත් මොනතරම් හුදකලාව වෙනවා ඇතිද? ඊටත් වඩා ගෙදරදී වදහිංසාවලට ලක්වෙන දරුවෙක් නම්, ඒ දරුවා දකින බාහිර ලෝකය, තමන්ට නොලැබුණත් තමන්ගේ යා`ඵවන්ට ඔවුන්ගේ මවුපියන්ගෙන් ලැබෙන ආදරය දකින විට ඒ පුංචි හිත් ඇතුළෙ මොනතරම් වේදනාවක් ඇතිද? තමන් දකින දෙයින් ඒ හිත් ඇතුළෙ ගොඩ නැගෙන තර්ක මොනතරම් සංවේදී ඇතිද? එවැනි සංවේදී සිතුවිල්ලක් අසන්නට බැරි තරමට සමහර මවුපියන්, ගුරුවරුන් බිහිරිවීම ඇතැම් විට රටේම අවාසනාවක් ද?
ඔබේ මානසික පීඩනයට දරුවන් පළි නෑ
සමහර විට ඔබ සිටින්නේ දරාගන්නට බැරි මානසික, ආර්ථික අපහසුතා රැසක විය හැකිය. ඒ තරම් පිඩනයක්, නිදහසක් නැති ජීවිතයක් ඔබට ලැබෙන්න හේතුව දරුවා බව ඔබට හැඟෙන අවස්ථා ද තිබිය හැකිය. එම නිසා අනෙකාගෙන් පළිගත හැකි හොඳම ආයුධය දරුවා බව ඔබ සිතනවා නම්, ඔබේ පීඩනය දරුවා මතින් පිටකරනවා නම් අවසානයේ ඔබට හිමිවන්නේ ඊටත් වඩා අසහනකාරී ජීවිතයක් විය හැකිය. හයක් හතරක් නොතේරෙන මේ පුංචි පොඩිත්තෝ පාට පාට හීන ලෝකවල ජීවත්වෙනවා මිස ඔවුන්ට ඔබේ පීඩනයේ ගැඹුර තේරෙන්නේ නැත. එම නිසා ඔබ මොනතරම් ඔවුන්ට දඬුවම් කළත් බය, වේදනාව මිසක ඒ හිත් ඇතුළේ ආදරණීය හැඟුම් උපදින්නේ නැත.
දරුවෙකුට වදහිංසා කළොත් ලැබෙන දඬුවම්
තමන්ගේ දරුවන්ට දඬුවම් කරන්න තමන්ගේ අම්මා තාත්තටවත් අයිතියක් නැතිද? මේ ප්‍රශ්නේ ඕනෑම කෙනකුට ඇතිවෙන්න පු`ඵවනි. එයට පිළිතුර වන්නේ නොහැකිය යන්නයි. දණ්ඩ නීතී සංග්‍රහයේ 308අ. (2) කොටසේ දරුවන්ට එරෙහි කෲරකම් සඳහා ඇති දඬුවම් විස්තර කරන්නේ මෙලෙස ය.
“ළමයින් කෲරත්වයට භාජනය කිරීමේ වරද සිදුකරන කවර හෝ තැනැත්තෙකුට වරදකරු කරනු ලැබීමේ දී අවුරුදු දෙකකට නොඅඩු වූ ද, අවුරුදු දහයක් නොඉක්මවන්නා වූ කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක වූ බන්ධනාගාර ගතකිරීමකින් දඬුවම් කරනු ලැබිය යුතු අතර, දඩයකින් ද ඔහුට දඬුවම් කරනු ලැබිය හැකිය. තව ද ඒ වරද සිදුකරන ලද්දේ යම් තැතැත්තකු සම්බන්ධයෙන් ද, ඒ තැනැත්තාට සිදුකරන ලද හානි වෙනුවෙන් අධිකරණය විසින් විනිශ්චය කරනු ලබන මුදලක වන්දියක් ඒ තැනැත්තාට ගෙවන ලෙස ද අධිකරණය විසින් ආඥා කරනු ලැබිය හැකිය.”
මීට අමතරව දරුවන්ට ශාරීරික වද හිංසා පැමිණවීම නුසුදුසු බව ප්‍රකාශ කරමින් ළමාරක්ෂක අධිකාරිය විසින් ගුරුවරුන්ටද චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
මෙහිදී විශේෂයෙන් දැනුම්වත් විය යුතු වන්නේ මේ වරදට දඬුවම් හිමිවන්නේ පිටස්තර පුද්ගලයින්ට පමණක් නොවනබවයි. දරුවකුට ශාරීරික වදහිංසා කිරීමේ අයිතිය මවුපියන්ටද නැත. එම නිසා යම් අවස්ථාවක දී මවුපියන්ගෙන්, ඥාතීන්ගෙන්, ළමා නිවාසවල පාළිකාවන්ගෙන්, නේවාසික අයිතිකරුවකුගෙන් එසේත් නැතිනම් ගුරුවරයෙකුගෙන් හෝ ඕනෑම පුද්ගලයෙකුගෙන් ශාරීරික වද හිංසාවක් සිදුවුවහොත් නීතියෙන් සමාවක් නැතිබවත්, ඉහත දඬුවම් මේ සෑම අයකුටම පොදුබවත් දැනගෙන සිටිය යුතුමය. මගේ දරුවා හදාගන්න ඕනෑ නිසා, එසේත් නැතිනම් වැඩිහිටියන් කියූ නිසා දඬුවම් කළ බව පැවසීම විත්තිකූඩුවේදී නිදහසට කාරණයක් නොවන බවද අමතක නොකළ යුතුය.
වර්තමාන සමාජය දෙස බලන විට ඇතැම් ගුරුවරුන් දරුවන්ට සිදුකර තිබෙන දඬුවම් ඉතා කෲරබව සඳහන් කිරීමට පු`ඵවන. එසේ නම් අතීතයේදී ගුරුවරුන් දරුවන්ට දඬුවම් කළේ නැද්ද? මෙවැනි ප්‍රශ්නයක් ඔබට සිතෙන්නට හැකිය.
ගුරුවරුන් දරුවන්ට එලෙස දඬුවම් කළ අවස්ථා ඕනෑ තරම් තිබේ. එහෙත් සැබැවින්ම තේරුම්ගත යුත්තේ ඉහත කියූ පරිදි දරුවන්ට පහර දී කෙවිටකින් තළා උන් උගතුන් කරවීමට පු`ඵවන්ද යන්නයි. ඒසේ නම් මවුපියන්, ගුරුවරුන් හෝ ඕනෑම ඥාතියෙකු කළ යුත්තේ දරුවාට දෙයක් අවබෝධ කරවීමට හැකි ක්‍රමය සොයා ගැනීම මිස තළා පෙලා දැමීම නොවේ.
දඬුවම් කරන්නේ ඇයි?
දඬුවම ගැන සමාජයේ මතය වන්නේ දඬුවම් කරන්නේ දරුවන් හදාගැනීමට බවයි. එහෙත් මේ කියන විදියට දඬුවම් කිරීමෙන් දරුවන් හදාගැනීමට හැකි නම් එහි ප්‍රතිඵල දකින්නට තිබිය යුතුය. වර්තමානයේදී දරුවන්ට ලබාදෙන කෲර වද හිංසා දෙස බැලීමේදී මේ වදහිංසා ලබාදෙන පුද්ගලයෝ යම්කිසි මානසික ව්‍යාකූලත්වයකින් පෙලනවාද යන ගැටලුවද මතු වේ. පසුගිය කාලයේ අසන්නට ලැබුණු එවැනි අවස්ථා දෙස බැලීමේදී වඩාත් හොඳින් පැහැදිලි වන්නේ මවගේ දෙවැනි ස්වාමිපුරුෂයා හෝ සැමියාගේ දෙවැනි බිරිඳගෙන් එවැනි අකටයුතුකම් වැඩිපුර සිදුවී ඇති බවයි. මේ අය දරුවන්ට මේ විදියට සලකන්නේ ඇයි? එයින් මූලිකවම පැහැදිලි වන්නේ දරුවන් කෙරෙහි තිබෙන සෙනෙහස, දයාව, අනුකම්පාව මේ රටෙන් පිරිහෙමින් පවතින බවයි. රටේ පවතින ආර්ථික ප්‍රශ්න, පවුල තුළ පවතින ආර්ථික ප්‍රශ්නද ඒවාට බලපෑම් ඇතිකර තිබේ.
දරුවෙකුට කෲර වදහිංසා පමුණුවන තැනැත්තෙකුට විරුද්ධව නීතිමය පියවර ගෙන දඬුවම් කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. මෙවැනි පුද්ගලයින් මනෝ වෛද්‍ය සායනයකටද යොමු කළ යුතුය. අධිකරණවලින් මෙය නිරන්තරයෙන්ම සිදුවන්නේ නැත. එහෙත් සිදුවිය යුත්තේ එයයි.
ඒ වගේම සමාජය තුළ යම් දරුවෙකුට අකටයුතුකමක්, පහරදීමක්, හිංසාවක්, පීඩාවක් සිදුවන ඕනෑම අවස්ථාවක තුන්වැනි පාර්ශ්වයක් ලෙස එයට මැදිහත් වී ඒ ගැන නිවැරදි තොරතුරු අදාල ස්ථාන වෙත පැමිණිලි කිරීමේ පූර්ණ අයිතිය ඕනෑම පුද්ගලයෙකුට තිබේ. ඒ සඳහා දරුවාට ඥාතීත්වයක්, දැන හැඳුනුම්කමක් තිබිය යුතු නැත. යම් අවස්ථාවක මෙවැනි පැමිණිල්ලක් කරන විට මගේ නම, ගම, ලිපිනය ආදී පෞද්ගලික තොරතුරු මා විසින් ලබාදිය යුතුද යන්න කෙනෙකුට තවත් ගැටලුවක් ඇතිවිය හැකිය. එසේ වන්නේ නැත. ඔබ අකමැතින ම් ඔබේ පෞද්ගලික තොරතුරු කිසිවක් ලබාදිය යුතු නැත. කරන්නට තිබෙන්නේ ළමාරක්ෂක අධිකාරියට හෝ පොළිස් ළමා හා කාන්තා හා කාන්තා කාර්යාංශයට අදාළ ස්ථානය සහ ලක්වන වදහිංසාව පිළිබඳ නිවැරදි තොරතුරු සැපයීම පමණි. දුරකථනයෙන් හෝ ලිපියක් මඟින්ද එය දැන්විය හැකිය.
දරුවකුට වදහිංසා පමුණුවා හසුවීමෙන් නීතියෙන් ලැබෙන දඬුවමට වඩා සමාජයෙන් ලැබෙන දඬුවම තවත් පීඩාකාරී වේ. එනම් සමස්ත සමාජයෙන්ම ඔබ ප්‍රතික්‍ෂේපවීම, පවුලෙන් ප්‍රතික්‍ෂේපවීම දරාගැනීමට සිදුවීමයි.
ශ්‍රී ලංකාව යනු ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අත්සන් තබා ඇති රටකි. එම නිසා මේ සියලු නීතිරීති ළමුන් ආරක්ෂා කිරීම සඳහා අපේ රටේ තදින්ම ක්‍රියාත්මකවන බවද කිව යුතුය.
සටහන : නයනා උදයංගනී
Leave a comment