දික්කසාද වන ගැහැනිය දෙස වපර ඇහින් බලන්න එපා
කවුරුන් හෝ කෙනෙක් අප ඉදිරියේ අමු අඹ ගෙඩියක් කන විට අපේ කටට කෙළ උනන්නේ නිතැතිනි. එහෙත් අමු අඹය කන විට දැනෙන දත් හිරි වැටෙන ඇඹුල් රසය දන්නේ එය කෑමට ගන්නා පුද්ගලයා පමණි. විවාහයත් එසේමය. කැමැත්ත, හදිසිය තිබුණු තරමට විවාහයේ රස බැලීමට හදිසි විය යුතු නැත. එලෙස එක්වන විවාහ බැඳීම්වල නොගැළපීම් ඇති වූ විට නැවත වෙන්වීමද පහසු නැත. ඒ නිසාම මෙම ලිපියෙන් අප අද සාකච්ඡා කරන්නේ දික්කසාදය සහ ගැහැනිය ගැනය. විවාහය කියන්නෙම විඳීම මිසක විඳවීමක් නොවෙන නිසා විවාහය විඳව විඳවා රැකගත යුතු නැත. විඳව විඳවා ජීවත් වෙනවාට වඩා වෙන්වීම මානසික සුවයකි. එසේ නම් දික්කසාද වූ ගැහැනියක් යනු නොගැළපෙන බැඳීමක් නීතියෙන්ම අතහැර නිදහස් වූ කාන්තාවක් මිසක් වරදකාරියක් නොවේ.
උපදෙස් නීතිඥ
මනෝජි අමරසිංහ |
නීතියෙන් වෙන්වීම පහසුකාරියක් නොවේ. විවාහය එපා වූ පමණින් හෝ ඉඳහිට රණ්ඩු සරුවල් වූ පමණින් එය දික්කසාදය දක්වා රැගෙන යා යුතු නැත. සමහර තරුණ තරුණියෝ පුංචි හරි හිත් අමනාපකමක් ඇතිකරගන්නා සමහර අවස්ථාවල “මම ඩිවෝස් වෙනවා” යැයි කියන්නේ හරිම සැහැල්ලුවෙනි. එහෙත් නීතියෙන් වෙන්වීමට තිබෙන අපහසුතාව දැන සිටියා නම්, සහ කරුණු ඔප්පු කිරීමට යාමේදී උසාවියේදී සිදුවන අපහසුතා දැන සිටියා නම් දික්කසාදය ඒ තරම් සැහැල්ලු ලෙස සිතන්නේ නැත. ඒ සඳහා නීතියෙන් ඔප්පු කළ යුතු කාරණා තුනක් තිබේ. ලිංගික බෙලහීනතාව, ද්වේශ සහගත හැර යාම, අනාචාරයේ හැසිරීම එම කරුණු තුනයි. මේ කරුණු තුන හැරෙන්නට දෙදෙනාටම කැමැත්තෙන් වෙන්වන්නට අවශ්‍ය නම් ඒ සඳහා නීති සම්පාදනයක් මෙරට නීතියේ නැත. එක් අතකින් දෙන්නාට දෙන්නා නොගැළපෙනවා කියා ඔවුන්ටම සිතෙනවා නම්, දෙදෙනාම කැමැත්තෙන් වෙන්වෙන්නට කැමති නම්, එයට නීතියෙන් අවසරයක් තිබුණා නම් වඩාත් සුදුසුය.
විශේෂයෙන් නොගැළපීම් සමග ගෙවන විවාහ ජීවිතයකදී වැඩිපුරම අපහසුතාවට පත්වීමට සිදුවන්නේ ගැහැනියට ය. ඒ ඇයට විවාහය තුළ වගේම සමාජයෙන් ඇතිවන පිඩනයත් නිසා ය. විහාහය බැඳී තිබෙන්නේම ආදරය සහ විශ්වාසය මතය. මේ බැඳීම විසිරුණු තැන, විශ්වාසය දෙකඩ වුණු තැන විවාහය ඉරිතළා යෑම පුදුමයක් නොවේ. බොහෝ ගැහැනුන් ජීවිතය පුරාවටම විවාහයේ දුක් පීඩා විඳින වාර අනන්තවත් තිබේ. සැමියාගේ බීමත්කම, අනාචාරයේ හැසිරීම නිසා වගේම කායිකවත් ඇය වද හිංසා විඳින අවස්ථා එමටය.
ඒ විතරක් නෙවේ එවැනි කාන්තාවකට වෙන්වීමට අවශ්‍ය වුවත් සමාජයෙන් තමන්ට දෝෂාරෝපණ එල්ල වේ යැයි යන බිය නිසා විවාහ ජීවිතය අපායක් වුනත් ඉවසන කාන්තාවෝ සිටිති. එහෙත් ජීවිතය අයිති ඔබටය. අතීතය දුක් ගංගාවක් වුනත් ජීවිතයේ ඉතිරි කාලය හෝ නිදහසේ ගෙවනවාද යන තීරණය තිබෙන්නේ ඔබ ළඟය. ඒ නිසා කිසිම විටෙක ගැහැනියක් එවැනි පීඩනයක ජීවත් විය යුතු නැත.
සමහර අවස්ථාවල මේ තීරණය ගැනීමට කාන්තාවන් බිය වන්නේ තමන්ට පිළිසරණක් නැතිවෙයි, ජීවිතයේ තනිවීමට සිදුවේවි, දරුවන්ගෙන් ඈත්වීමට සිදුවේවි, එහෙමත් නැතිනම් ආර්ථික හැකියාවක් නොමැති නිසා ජීවත් වීම අපහසු වේවි, ඒ නිසා නමට හෝ සැමියෙකු සිටිය යුතුයි යන තීරණයේ සිටින නිසාය. එහෙත් විවාහය ඔබේ ජීවත්වීම අපායක් බවට පත්කර තිබේ නම්, තනිව තීරණ ගැනීමට, තනිව ජීවත්වීමට හැකියාව තමන් තුළ ගොඩනඟා ගත යුතුය. අපේ රටේ එලෙස නොවුනත් විදේශ රටවල නොගැළපෙන විවාහවලින් ඈත් වී නිදහසේ දරුවන් සමග ජීවත්වන මවුවරුන් බොහෝ ඇත. ඒ ආත්ම ශක්තිය ගැහැනියකට තිබිය යුතුමය.
සමාජයේ වැඩි දෙනෙක් දික්කසාද වූ කාන්තාවක් දෙස බලන්නේ වැරදිකාරියක් දෙස බලන හැගීමකිනි. එහෙත් දික්කසාදයක් වූ සැනින් ඇගේ චරිතයට කැළලක් එක් කරනවා නම් එය නූගත් ක්‍රියාවකි. එහි පීඩනය දන්නේ ඈය. නෑදෑ හිතවතුන්ට මුහුණ දීමට නොහැකිකම, දෙමවුපියන් මොනවා හිතයිද කියන මානසිකත්වය නිසා, කිසිම අවස්ථාවක කසාදය වේදනාවෙන් රැකගත යුතු නැත. ඒ නිසා නීතියෙන් වෙන් වූ හෝ නොගැළපීම් නිසා වෙනම ජීවත්වන කිසිම කෙනක් දෙස උපහාසයෙන් බැලීම නොකළ යුතුය.
ලිංගික බෙලහීනත්වය දික්කසාදය ඉල්ලීමට ඇති නීති මඟක්
“ විහඟි සහ කසුන් අවුරුදු දෙකක් පමණ කාලයක් ඇසුරු කර පෙම් සබඳතාවයකින් විවාහ වූ දෙපළක්. කසුන් හරිම කඩවසම් උස මහත හැඩි දැඩි තරුණයෙක් නිසා ඕනැම තරුණියක් ඔහු දෙස දෙපාරක් බලනවා. අවුරුදු දෙකකින් පසුව ඔවුන් විවාහ වුනත්, මංගල රාත්‍රියේදී කසුන් විහඟි සමග ලිංගිකව එක්වෙන්නේ නැහැ. මේ විදියට විවාහයෙන් පස්සේ අවුරුදු දෙකක් ගතවුනත් කසුන් ඇය සමග කිසිම දිනයක කායික සම්බන්ධතාවයක් ගොඩනගාගෙන නැහැ. නමුත් ඇත්තටම සිදුවී ඇත්තේ කසුන්ට එවැනි හැකියාවක් නොතිබීමයි. ඔහු ඒ ගැන දැනගෙන සිටියත් විහඟිට ඒ පිළිබඳ කවදාවත් කියා සිටියේ නැහැ. නමුත් විවාහයක දී කායික සම්බන්ධතාව කියන්නේ දෙදෙනා අතර තිබෙන විශ්වාසයක් සහ අවශ්‍යතාවක්. තමන්ට අවශ්‍ය කායික පහස තමන්ගේ ස්වාමියාගෙන් නොලැබීම නිසා ඇය මානසිකව වියවුල්වීම සාමාන්‍යයි. ඇත්තෙන්ම ඔහුට තිබෙන්නේ ලිංගික බෙලහීනතාවක්. ඉතින් විහඟිට දැන් මේ විවාහයෙන් වෙන් වීමට අවශ්‍ය වුනත් ඇය සමාජයට තිබෙන බිය නිසා ඒ විවාහය දරාගෙන හිඳිමින් බැරිම තැන ඇය නීතිඥ පිහිට ලබාගන්නවා. (නම් ගම් මනඃකල්පිත සත්‍ය සිදුවීමකි)
තමන්ගේ සැමියාගේ ලිංගික බෙලහිනත්වය නිසා වසර දෙකක් යනතුරුත් ඇය කන්‍යාවියක් වීම තුළ ඇය මොනතරම් පීඩාවට පත්වෙන්නට ඇතිද? ඒ විතරක් නොවේ ඇයට දරුවෙකු ගැන තිබුණු සිහිනයත් බොඳවෙන්නට ඇත. එහෙත් ඒ මොන දේ වුනත් ලාංකීය සමාජයේ වැඩි දෙනෙක් පුරුදු වී තිබෙන්නේද ගැහැනියට ඇඟිල්ල දිගු කිරීමටය. එයින්ද බහුතරයක් ගැහැනුන්ම වීම අපේ සංස්කෘතියේම ඇති දුර්වලකමකි. මෙවැනි අපහසුතාවක් ඇති ගැහැනියක් නීතියෙන් වෙන්වීම සාධාරණ නොවේද? මෙවැනි ගැටලු තිබෙන කාන්තාවෝ මොනතරම් මේ සමාජයේ සිටීද? එබැවින් විවාහයකින් වෙන්වීම දෙස වපරැසින් බැලීම නොකළ යුත්තකි.
සටහන: නයනා උදයංගනී
Leave a comment