දිව ශරීරයේ තිබෙන හරි අපූරු ඉන්ද්‍රියයක්. විවිධ රසයන් විඳින්නත්, විවිධ රසයන්ට ඇබ්බැහි කරන්නත් පුදුම හැකියාවක් දිවට තිබෙනවා. අවුරුද්දක් ගතවනතුරු ලුණු, සීනි ළදරුවන්ගේ ආහාරයෙන් ඉවත් කරන්න මහන්සි වෙන අපි ඊට පස්සේ දරුවන්ට දෙන්නේ මොනවාද?
දරුවන් ඉලක්ක කර ගනිමින් මාධ්‍ය හරහා ප්‍රචාරය වන විවිධාකාර කෘත්‍රිම රසකාරක, තෙල්, සීනි, ලුණු අඩංගු බයිට් වර්ග, සීනි අධික බිමී වර්ග, ලුණු තෙල් අධික රසකැවිලි දරුවන්ට හුරු කරන්නේ වැඩිහිටියන්ම නොවේද?
කාර්යබහුල, ඉලක්ක කරා හඹා යන වත්මන් මවුපියෝ කුඩා කාලයේ පටන්ම පහසුව සඳහා වගේම මුදල් ඇති නිසාවෙන් දරුවන් ඉල්ලන පමාවෙන් මෙවැනි ආහාර වර්ග ලබා දීමට යොමුවෙති. එහෙත් ඉන් සිදුවෙන ප්‍රතිවිපාක ගැන ඔවුන් හිතනවාද යන්න සැක සහිතය.
අපේ රටේ සිදුවෙන මරණවලින් 83% ක්ම සිදුවන්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාගය, පිළිකා, ශ්වසන රෝග වැනි බෝ නොවන රෝග නිසාය. එයින් 34%කටම හේතුව අධික රුධිර පීඩනය, හෘදයාබාධ, ආඝාතය වැනි හෘදය හා රුධිරවාහිනී රෝග ය. 2015 කරන ලද බෝ නොවන රෝග පිළිබඳ අවදානම් සාධක හඳුනා ගැනීමේ සමීක්ෂණයට අනුව වැඩිහිටියන්ගෙන් 25% ක් අධික රුධිර පීඩනයෙන් පෙළෙන අතර 10%ක් දියවැඩියාවෙන් පෙළෙන බව සොයාගෙන ඇත. ඒවාගේම තවත් සැලකිය යුතු ප්‍රතිශතයක් පූර්ව දියවැඩියාව නැතහොත් දියවැඩියාව හැදෙන්න ඔන්න මෙන්න තත්ත්වයෙන් සිටිති. දහදෙනෙකුගෙන් එක් අයෙක් පිළිකාවට ගොදුරු වෙති. මේ සියල්ල සිදුවන්නේ වයසට ගිය වැඩිහිටියන්ට නොව තරුණ වයසේ පසුවන අයටය.
මෙහෙම වෙන්න හේතු
කුඩා කාලයේ සිටම අප දරුවන්ට දෙන ආහාරපාන, ක්‍රියාශීලීව දුව පැන සෙල්ලම් කරන්නට ඉඩ නොදීම, තරගකාරී අධ්‍යාපන රටාව මගින් ඇතිවෙන ආතතිය මෙන්ම පෞරුෂ දුර්වලතා මේ සඳහා හේතු විය හැකියි.
පිටි සීනි, තෙල්, ලුණු රසට ඇබ්බැහි වුණොත් වෙන දේ
දරුවා ක්‍රියාශීලී නැතිනම්, පිටි සීනී, තෙල්වලට ඇබ්බැහි වුවහොත් නොදැනීම දරුවා මහත් වෙයි. මේ වනවිට බර වැඩි මෙන්ම තරබාරු දරුවන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතින අතර පාසල් දරුවන්ගෙන් 9% ක් පමණ බරවැඩි/තරබාරු ගණයට වැටේ. මේ දරුවන් බොහොම අඩු වයසින් දියවැඩියාවට, හෘදරෝගවලට, පිළිකාවන්ට ගොදුරුවීමේ අවදානම වැඩිය.
අදහස් දැක්වීම: |
ලුණු වැඩි ආහාර වශයෙන් හඳුන්වනු ලබන කාත්‍රිම ආහාර, සෝස් වර්ග, රෝල්ස්, පැටිස්, පිට්සා, බේකරි නිෂ්පාදන, කොත්තු වැනි ආහාර වර්ග කුඩා අවදියේ සිටම කෑමට ඇබ්බැහි වුවහොත් අධික රුධිර පීඩනය ඇතිවීමේ ඉඩකඩ ඉතා වැඩිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් තරුණ කාලයේදිම හෘදයාබාධ, අංශභාගය, ආමාශයේ පිළිකා, ඇදුම, වකුගඩු අකර්මණ්‍යවීම වැනි තත්ත්ව ඇතිවීමේ අවදානම වැඩි වේ.
අපේ රටේ ගෘහිණියන්ගෙන් 50% ට වැඩි සංඛ්‍යාවක් බත් පිසින විට ලුණු එකතු කරන බව සමීක්ෂණවලින් හෙළි වී තිබේ. මෙය ඉතාම නරක පුරුද්දකි. සාමාන්‍යයෙන් අපට සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමට නම් ශරීරයට අවශ්‍ය කරන ලුණු ප්‍රමාණය තේ හැඳි එකක් වුවත් අපි දිනකට ලුණු තේ හැඳි 2-3 ක් ආහාරයට ගන්නා බවද හෙළි වී ඇත. වැඩිපුර ලුණු ආහාරයට ගැනීම රුධිර පීඩනය වැඩි කිරීමට හේතුවක් වෙයි. අංශභාගය, වකුගඩු, පිළිකා ආදී රෝගවලටද මං පාදයි.
සාමාන්‍යයෙන් දිනකට සීනි ගත යුත්තේ තේ හැඳි 06කට වඩා අඩු ප්රමාණයකි. එහෙත් සමීක්ෂණ මගින් හෙළි වී ඇති තොරතුරුවලට අනුව බොහෝ දෙනෙක් දිනකට තේ හැඳි 10-12 ක් පමණ පරිභෝජනය කරන බව තහවුරු වී ඇත. මේ සියල්ලේම බර දරන්නේ අග්න්‍යාශයයි. පැණි රස ආහාරපාන, පිරිපහදු කළ පිටිවලින් සාදන ලද ආහාර නිතර ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම ඉහළ යන නිසා එය පාලනය කිරීමට අග්න්‍යාශයට වැඩියෙන් ඉන්සියුලින් නිපදවීමට සිදුවෙයි. කුඩා අවදියේ සිටම මේ ක්‍රියාවලිය සිදු වුවහොත් අග්න්‍යාශය ඉක්මනින්ම දුර්වල වී ‘ඉන්සියුලින්’ නිපදවන ක්‍රියාවලියට බාධා පැමිණෙන අතර ඉන්සියුලින් ද අඩුවෙයි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ දියවැඩියාව ඇතිවීමයි.
නිරෝගීව ඉන්න කරන්න ඕනෑ දේවල්
ලුණු, තෙල්, පිටි, සීනි කෑමට පුරුදුවෙනවා යනු යම්කිසි ආකාරයක ඇබ්බැහිවීමකි. ඒ නිසා මේ පුරුද්ද ක්‍රම ක්‍රමයෙන් අඩුකර ගන්න. මේවායේ හානිකර ප්‍රතිඵල ගැන දැනුවත් වෙන්න. එසේ නම්,
බතට ලුණු එකතු කිරීම නවත්වන්න. එකවර නතර කිරීමට අපහසු නම් ක්‍රම ක්‍රමයෙන් නවත්වන්න.
පලතුරු ආහාරයට ගන්නා විට ලුණු එකතු කර නොගන්න. පලතුරුවල නැවුම් රසයට දිව හුරු කරගන්න.
* ක්ෂණික ආහාර (රෝල්ස්, පැටිස්, ආදිය) ආහාරයට ගන්නා විට සෝස් එකතු කර නොගන්න. ඒ සෝස්වල තෙල් සීනි, ලුණු අඩංගු වෙන නිසාය. ඉන්පසු ක්ෂණික ආහාරද ඉඳහිට පමණක් ගන්න.
* පැකට් කළ ආහාර මිලදී ගැනීමේදී ලේබලය බලන්න. රතු හෝ කහ ලේබලය ඇත්නම් ඒවා මිලට ගැනීමෙන් හැකිතාක් වළකින්න. නැතිනම් අවම කරන්න.
* සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය ලුණු ප්‍රමාණය තේ හැඳි 01 බැගින් උදේ ආහාර පිළියෙල කිරීමට පෙර පවුලේ සාමාජිකයින්ගේ සංඛ්‍යාව අනුව ලුණු ප්‍රමාණය වෙන් කර තබාගන්න. පවුලේ සාමාජිකයින් තුන් දෙනෙකු සිටී නම් ලුණු තේ හැඳි 3 ක් වෙන් කරගන්න.
* ආහාර රස ගැන්වීමට ස්වාභාවික රසකාරක (ගොරකා, සියඹලා, ඉඟුරු, සුදුලූනු, කුරුඳු, කරඳමුංගු, කරාබු නැටි, රම්පෙ කරපිංචා වැනි) ආහාරයට එකතු කරන්න. කුඩා කාලයේ පටන්ම දරුවන් ස්වාභාවික රසයට හුරු කරන්න. දරුවාගේ රස හුරුවන්නේ අප ලබා දෙන රසයටයි. ඒ නිසා දරුවන්ට විවිධ රසැති ආහාර හඳුන්වා දීමේදී කුඩා කාලයේ සිටම සැලකිලිමත්වන්න. ලුණු අඩුවෙන්, තෙල් අඩුවෙන්, සීනි අඩුවෙන් රස බලන්න පුරුදු කරන්න. එළවළු පලතුරු කෑමට දරුවන් හුරු කරන්න.
ඔබගේ දරුවා මේ ආකාරයට හුරු කළහොත් අනාගතයේදී දරුවා බෝ නොවන රෝගවලින් ආරක්ෂා කර ගැනීමට ඔබට හැකියාව තිබේ. සොබාදහමට පිටු පා ‘දිව’ ඉල්ලන රසය ඔස්සේ හඹා යන්නට දරුවන්ට ඉඩ නොදෙන්න. ඔබගේ දරුවා අනාගතයේදී රෝගී දරුවෙකු වීමෙන් වළක්වා ගැනීමට තවමත් ඔබ ප්‍රමාද නොමැත.
සුබෝධිනී පෙරේරා