නාවික හමුදාවෙන් ප්‍රථම වරට කාන්තා කිමිදුම් නාවිකයින්

 

දේශයේ ප්‍රථම ආරක්ෂක වළල්ල වූ ශ්‍රී ලංකා නාවික හමුදාව ලාංකීය ආරක්ෂක පවුරු වළල්ලේ සුවිශේෂී කාර්යභාර්යක් ඉටුකරන බලකායකි. ඒ බව තව දුරටත් සනාථ කරමින් නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට මූලික කිමිඳුම් පාඨමාලාව සම්පූර්ණ කළ කාන්තා නාවිකයන්ට සහතික ප්‍රදානය කර තිබේ.  “රටක නාවික හමුදාව නියුක්තවන මෙහෙයුම් විශාල පරාසයක විහිදී යයි. එය එක් විටකදී යුද මෙහෙයුමක් වන අතර, තවත් විටෙක මානුෂීය මෙහෙයුමක් හෝ විපතට පත්වූවන් ගලවාගෙන සහන සැලසීමේ ක්‍රියාදාමයක් විය හැකිය. මෙහෙයුම්වල මෙම පුළුල් සන්තතිය මෙහෙයුම් ස්වභාවය අනුව අවශ්‍ය කරන සුවිශේෂී කාර්යභාරයන් ලෙස වර්ග කළ හැකිය. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව යුදමය රාජ්‍යතාන්ත්‍රික සහ සාමයික ලෙසින් තුන් ආකාරයක ප්‍රධාන මෙහෙයුම්වල නියැළේ.” එය ඔවුන්ගේ කාර්ය භාරයයි.  එම කාර්ය භාරය සහ මෙහෙවර තුළ කාන්තා නියෝජනයට විශේෂ තැනක් හිමිකරදීමේ පරමාර්ථයෙන් නාවික හමුදා කිමිදුම් අංශය විසින් මෙම පාඨමාලාව ආරම්භ කර ඇති අතර, එය අනාගතයේදී තවත් බලාපොරොත්තු රැසක් ක්‍රියාවට නැංවීමේ පියවරක් බව සිතිය හැකිය.

විශේෂ ස්තුතිය 
නාවික හමුදාපති වයිස් අද්මිරාල්
නිශාන්ත උළුගේතැන්න

ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට මූලික කිමිදුම් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ කාන්තා නාවිකයන් තුන්දෙනෙකු වෙත සහතිකපත් පිරිනැමීම, පසුගිය විසි හතරවැනි දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන්, ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේ නාවික හමුදා කිමිදුම් පාසලේදී සිදු කර තිබේ. නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සංකල්පයක් මත, කිමිදුම් අංශයට කැමැත්තක් දක්වන කාන්තා නාවිකයන් හට මූලික කිමිදුම් පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව මෙම වසරේ ජූලි මාසයේදී ලබා දී තිබේ. ඒ අනුව, ඒ සඳහා අයදුම් කළ කාන්තා නාවිකයන් අතුරෙන් මූලික කිමිදුම් පාඨමාලාව හැදෑරීම සඳහා අවශ්‍ය ශාරීරික යෝග්‍යතාව සහිත කාන්තා නිලධාරීන් දෙදෙනකු සහ එක් කාන්තා නාවිකයෙකු පසුගියදා ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේ නාවික හමුදා කිමිදුම් ආරම්භ කළ දින විස්සක මූලික කිමිදුම් පාඨමාලාව පසුගිය සැප්තැම්බර් මස 24 දින සාර්ථකව සම්පූර්ණ කර තිබේ. නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට මූලික කිමිදුම් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ ලුතිනන් (සැපයුම්) ගයංකා සතරසිංහ හා උප ලුතිනන් (ස්වේච්ඡා) නිමාෂා ජයවික්‍රම සහ කාන්තා බල ශාරීරික අභ්‍යාසයක ජී.ඩී.ඩී. සකුන්තලා එසේ සහතිකපත් ලබා තිබේ. 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් අංශය මගින් දෛනිකව කිමිදුම් සහාය ලබාදීමේ මෙහෙයුම්, සඳහා දායකත්වය ලබාදීම සිදුකෙරෙන අතර, දිය යට පරීක්ෂා කිරීම්, අලුත්වැඩියා කිරීම්, නඩත්තු කිරීම්, ගොඩගැනීමේ මෙහෙයුම්, ආරක්ෂණ නිෂ්කාශන කටයුතු සඳහා සහයවීම, දිය යට ඉදිකිරීම්, දිය යට මිනුම් කටයුතු, දිය යට සෙවීම් හා මුදාගැනීම්, සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශවලට අවශ්‍ය විවිධ කිමිදුම් සහාය ලබාදීම සිදුවන අතර මෙලෙස මූලික කිමිදුම් පාඨමාලාව සම්පූර්ණ කළ ප්‍රථම කාන්තා නාවිකයන් ඉදිරියේදී අත්පත් කරගන්නා කිමිදුම් ප්‍රවණතාව මත, කිමිදුම් මෙහෙයුම් කටයුතු සඳහා යෙදවීමට නාවික හමුදාව අපේක්ෂා කරයි.

එමෙන්ම මෙතෙක් නාවිකයන්ට පමණක් සීමා වී තිබූ නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම සඳහාද කාන්තා නාවික නියෝජනයන් ඇතුළත් කිරීමද මෙහි තවත් පියවරකි. එපමණක් නොව නාවික හමුදාව නුදුරු අනාගතයේදී නාවික හමුදා නෞකා සහ යාත්‍රා සඳහාද කාන්තා නිලධාරිනියන් සහ කාන්තා නාවිකයින් අනුයුක්ත කිරීමට බලාපොරොත්තුවන බව ඔවුහු පවසති.


සටහන නයනා උදයංගනී


                 
           

මට මගේ සැමියව පේන්න බැහැ Read Previous

මට මගේ සැමියව පේන්න බැහැ

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ Read Next

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

Realted Post

Leave a comment