නීතියත් අකමැති නියමයක් නැති සබඳතා
‘පැහැරගත් තිදරු මව බේරාගන්න පොලීසිය මාර යුද්ධයක’
‘අනියම් බිරියට තඩි බා කෙස්සෙන් අල්ලා ඇදගෙන ගිය අනියම් සැමියා රිමාන්ඩ්’
‘තුන් හැවිරිදි දියණිය දමා මව අනියම් සැමියා එක්ක ගිහින්.’
මේ පසුගිය සතිය ඇතුළත අපේ රටේ ජාතික පුවත්පත් කීපයකම පළ වූ අනියම් ඇසුර සම්බන්ධ ප්‍රවෘත්තිවලින් කීපයක ශීර්ෂ පාඨ. මෙවැනි සිද්ධි අඩුම තරමේ දෙක තුනක්වත් එක දවසකට වාර්තාවීම සුලබ කාරණාවක් බවට පත්ව ඇත.
නියමයක් නැති සබඳතාවක්
අදහස් දැක්වීම: නීතිවේදිනී, |
අනියම් කියන්නේ නියමයක් නැහැ කියන අදහස. දෙදෙනෙක් විවාහවෙලා ලියාපදිංචි විවාහ සහතිකයක් මත ජීවිතය ගෙනයාම නියමයක් යැයි අපේ සමාජය පිළිගෙන තිබෙනවා. ඒවාගේම අපේ සමාජය පිළිගෙන තිබෙනවා අනියම් කියන්නේ ලියාපදිංචි විවාහ සහතිකයක් නැත කියන අදහස. නියතයට සහ අනියතයට යන එකම කාරණාව අපේ රට ඇතුළේ නම් විවාහ සහතිකයයි.
සබඳතාවලට සහතිකයක් අවශ්‍යමද?
ඉඩමක අපි ඒ ඉඩමේ අයිතිය පෙන්වන්න තියාගන්නේ සහතිකයක්. ඒ භෞතික දෙයක් නිසා. එයට මිනිසුන්ට වගේ හෘද සාක්ෂියක්, හදවතක් නැහැ. හැඟීම් දැනීම් නැහැ. නමුත් මිනිසුන්ගේ සබඳතාවලට සහතිකයක් අවශ්‍යමද? ඒ සහතිකය මතද අප අතරේ පවතින සබඳතාවයේ නියමය සහ අනියමය වෙන්කර ගන්නේ. මේක අපේ සමාජය ගොඩනගා ගත් වැරැදි ආකල්පයක්. ඒ නිසා තමයි අද වෙද්දි මිනිසුන් වැරැදි ක්‍රියාමාර්ගවලට යොමු වී ඇත්තේ. මෙය නියම් ද අනියම් ද තීරණය වන්නේ සම්බන්ධතාවයේ එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වය පීඩාවට අගතියට පත්කරන තාක් දුරට විය යුතුයි නේද?
අනියම් සබඳතා සහ නීතිය
අනියම් සබඳතා අපේ නීතිය තුළ කොතැනකවත් අපරාධමය වරදක් ලෙස හඳුන්වා දී නැහැ. එනමුත් දික්කසාද නීතියේදී දික්කසාදයක් ඉල්ලා සිටීමට අනියම් සබඳතාවක් පවත්වාගෙන යාම හේතුවක් වෙනවා. විවාහ ලියාපදිංචි සහතිකය අවලංගු කර ගැනීමට අපේ රට තුළ කාරණා තුනක් බලන අතර ඉන් එකක් ලෙස විවාහ වී සිටින දෙදෙනාගෙන් එක් අයෙකු අනියම් සබඳතාවක් පවත්වාගෙන යන බව අධිකරණයේද්ී ඔප්පු කළ යුතුයි. අනියම් සබඳතාව පිළිබඳව ලංකාවේ නීති පද්ධතිය තුළ කතා කරන එකම අවස්ථා මෙය පමණයි. ඉන් අදහස් වෙන්නේ නෑ නීතිය අනියම් සබඳතා පවත්වාගෙන යෑම අනුමත කරනවා කියන දේ.
අනියම් සබඳතා ඇතිවන්නේ ඇයි?
අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ කොතැනකවත් ලිංගිකත්වය පිළිබඳව අවබෝධයක් දරුවෙකුට ලබා දෙන්නේ නැහැ. මෙය අපේ සමාජය තුළ තිබෙන සුළු කොට තැකිය නොහැකි ගැටලුවක්. අපේ රටේ සාක්ෂරතාව ඉතාම ඉහළ අගයකින් තිබුණත් ලිංගිකත්වය ඉගෙන ගන්නේ අන්තර්ජාලය හරහා. මේ ක්‍රියාවලියට දරුවෝ විතරක් නොවේ වැඩිහිටියොත් පුරදු වෙලා තිබෙනවා.
ඒවාගේම විවාහ ජීවිතයට එළැඹෙන බහුතරයක් හරියට විවාහයේ තියෙන වගකීමවත්, ලිංගිකත්වය කුමක්දැයි වටහා නොගෙන විවාහ වෙනවා. බහුතරයක් විවාහ වෙන්නේ කාටත් වැඩියෙන් ලොකුවට විවාහ උත්සවයක් ගන්න තියෙන කැමැත්තට. හැමෝටම වඩා ඉහළින් සිටිනවායැයි පෙන්වන්න. වැඩි පිරිසක් ඉන්නේ සිහින ලෝකවල. එයාලා දන්නේ නැහැ විවාහ වුණාට පස්සේ ජීවත් වෙන්න සල්ලි තිබෙනවාද? දෙදෙනා ලිංගිකත්වය අතින් ගැළපෙනවාද? පවුල් ජීවිතයක් ගෙවන්න පුළුවන්ද? ඉන්න ගෙයක් දොරක් තිබෙනවාද කියා. තරු පහේ හෝටල්වල විවාහ උත්සවය පවත්වා සමහරු කුලී ගෙවල්වල පදිංචියට එනවා.
මේ දේවල් තරුණ දරුවන්ට දෙමවුපියන්වත් පෙන්වා දෙන්නේ නැහැ. පවුලක් නොමඟට යන ප්‍රධාන තැන මෙතැනයි.
අතීතයේ අපේ පවුල්වලට විවාහ සහතික තිබුණේ නැහැ. රොබට් නොක්ස් පවා ‘එදා හෙළදිව’ ග්‍රන්ථයේ සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පවුල් සංස්ථාව හරිම ශක්තිමත්බවය. අද ක්‍රමයෙන් විනාශ වී යන්නේ එසේ ශක්තිමත්ව තිබුණු පවුලයි.
අපේ සමාජය කොතැනක හෝ පැටලී තිබෙනවා. සාක්ෂරතාව ඉහළින්ම ඇති රටේ දරුවෝ සමාජයක මූලික ඒකකය පිහිටුවාගන්න තැන ගැන ඉගෙන ගන්නේ නෑ. ඇතැම් දික්කසාද නඩුවලදී හමුවන අඹුසැමියන් ලිංගික ජීවිතය පිළිබඳවවත් දන්නේ නැහැ. සමහරු එහෙම ප්‍රශ්න තිබුණත් පවුල කඩා ගන්න බැහැ කියා එකට ජීවත් වෙන්න උත්සාහ කරනවා. නමුත් ඒ ආතතිය කොතැනින් හෝ පිටවෙනවා. ලිංගිකත්වය නම් මානුෂික අවශ්‍යතාව වෙනුවෙන්.
දියුණු රටවල ලිංගිකත්වය පිළිබඳව අවබෝධයක් පාසල් කාලය තුළම ලබා දෙනවා වගේම එම රටවල ඛසඩසබට එදටැඑයැර සංකල්පය ජනප්‍රිය යි. ඔවුන් එතැනදී හිතන්නේ සාර්ථක පවුල් ජීවිතයක් ගෙනයාමට හැකිද කියායි. ඔවුන් විවාහයට එක්වන්නේ එකිනෙකා පිළිබඳව හොඳ අවබෝධයකින්.
අපේ රටේ මෙවැනි සංකල්ප ඇතිවුණොත් එතැනින් අයුතු ප්‍රයෝජන ගන්නා ප්‍රමාණය ඉහළයි. අපේ රටේ සංස්කෘතිය සමග මේ දේවල් ගැළපීම අමාරු කාර්යයක්. මෙය හොඳ ක්‍රමයක් කියා සමාජගත කළොත් කොට්ඨාසයක් ඉන්නවා උපරිම ප්‍රයෝජන ගන්න බලාගෙන. එවිට අපේ ගැහැනු දරුවන්ගේ ජීවිත අවදානම් සහගත වන ඉඩකඩ වැඩිවෙනවා.
ඒවාගේම තමයි අපේ රටේ බොහෝ විවාහ සිදු කෙරෙන්නේ දේපළට, වත්කමට, රැකියාවට, වාහනයට, සමාජ තත්ත්වයට ආශාවෙන්. ඒ සියල්ල ගළපලා, කේන්දරයත් ගළපාගෙන කසාඳ බඳිනවා. විවාහයෙන් පස්සේ ජීවත්වෙන්නේ කොහොමද? ගතිගුණ මොනවගේද? කියලාවත් හොයන්නේ නැහැ. වැඩිහිටියොත් එහෙමයි. එහෙම විවාහ වූ බහුතරයක් ඉන්නේ සමාජය සතුටු කරන්න. ඔවුන්ට කිසිම සතුටක් නැහැ. මේ මිනිසුන්ගේ හිතේ තියෙනාපීඩනය එළියට පනින්නේ අනියම් සබඳතාවයකින්.
සුජිත් ප්‍රසංග
Leave a comment