බෝනික්කා හෙළිකළ ගොළු දැරියගේ ශෝකාන්තය

 

දරුවන්ගේ පුංචි පුංචි වෙනස්කම් ගැන ඔබ සිටින්නේ හොඳ අවධානයකින්ද?

බාහිරින් පමණක් ඔවුන් නිරෝගීව සිටියාට සමහර අවස්ථාවල මනසට වද දෙන ප්‍රශ්න ගොඩක් ඒ හිත් ඇතුළෙ හිරකරගෙන ඉන්නවා වෙන්න පුළුවනි. ඒ පුංචි මනසට ඒ සිතුවිලි බර වැඩියි. ඒ දරුවා ඉතා නිරෝගී හෝ දෑස් නොපෙනෙන, බිහිරි, ගොළු හෝ වෙනත් ආබාධයක් තිබෙන දරුවෙක් විය හැකියි. ඒ කොහොම වුනත් දරුවන්ගේ සුන්දරම කාලය ඔවුන්ට සතුටින් ගත කළ හැකි වටපිටාව නිර්මාණය කිරීම වැඩහිටියන්ගේ වගකීමක්. හිතේ තියන හැම දෙයක්ම කියන්න ඒ අයට ඉන්න හොඳම මිතුරන් මවුපියන් විය යුතුයි. එහෙම නොවුනොත් ඔවුන්ට සිදුවන එක් වරදකට මුළු ජිවිත කාලය පුරාවටම බලපෑම් ඇතිවිය හැකියි.

මේ සත්‍ය කතාව කියවන විට අපේ දරුවන්ට මොනතරම් හොඳ රැකවරණයක් ඕනෑදැයි ඔබට වැටහේවි.

අපි ඇයව සඳලි නමින් හඳුන්වමු. වයස අවුරුදු 14ක් වන ඇය කථන ආබාධයකින් පෙළෙන දැරියක්. පාසලේ අධ්‍යාපන කටයුතු ඔන්ලයින් තාක්ෂණය හරහා සිදුවන නිසා අගහිඟකම් මැද වුනත් දෙමවුපියන් ඇයට දුරකථනයක් ලබාදෙනවා. එහෙත් මවුපියන්ට තාක්ෂණය ගැන ඒ තරම් අවබෝධයක් නැහැ. මේ අතරේ ඇය අන්තර්ජාලයෙන් හමු වූවකු සමග ප්‍රේම සබඳතාවක් ගොඩනගාගෙන කෙටි පණිවුඩ හුවමාරු කරගන්නවා.

ඇය විසින් හඳුනාගන්නා ඔහුත් ඇය වගේම කථන ආබාධයකින් පෙලෙන තැනැත්තෙක්. මේ ප්‍රේම සබඳතාව ගැන මවුපියන් දැනගත්තත් එය නැවැත්වීමට එම පුද්ගලයා සහ ඇය කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා දෙමවුපියන් දියණියත් සමග පොලිසියට යන්නේ මේ සම්බන්ධතාව නවත්වන අදහසින්. ඒ ගැන යම් සැකයක් තිබූ නිසාත් ඇයට සිදු වූ දෙය කීමට අපහසු නිසාත් තමාට ඔහුගෙන් සිදු වූ හිංසනය පැහැදිලි කිරීම සඳහා ඇයට නිලධාරීන් විසින් බෝනික්කන් දෙදෙනකු ලබාදෙනවා. ඇය බොනික්කන් උපයෝගී කරගෙන එම තැනැත්තා තමාට කළ හිංසනය පැහැදිලි කර තිබෙන අතර ඒ වන විටත් මෙම ගැහැනු ළමයා එම පුද්ගලයා අතින් දූෂණයට ලක් වී තිබෙනබව එහිදී හෙළිවෙනවා. ඔහු වයස අවුරුදු හතළිස් දෙකක තිදරු පියෙක්. පසුව සංඥා භාෂා පරිවර්තකවරියක් හරහා ඇයගෙ න් කට උත්තර ලබාගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය ක්‍රියා කරනවා.

සමහර අවස්ථාවල මවුපියන් දරුවන්ට හොඳම දේ ලබාදුන්නාට ඒවාගෙන් ඔවුන්ගේ ජීවිතවලට හොඳම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. බොහෝ මවුපියන් සිතන්නේ අපි විඳින දුක් ළමයින්ට විඳින්නට දෙන්න බැහැයි කියලා විතරයි. එහෙත් දරුවන්ට ඔවුන්ගේ ජීවිත ශක්තිමත් ලෙස ගොඩනඟා ගැනීමට සැපසම්පත් ලබාදීම පමණක් සෑහෙන්නේ නැහැ.

සාමාන්‍ය නිරෝගී දරුවන් වගේම මේ සමාජයේ විවිධ ආබාධවලින් පෙලෙන දරුවනුත් ඕනෑ තරම් සිටිනවා. විශේෂයෙන් එවැනි දරුවකුට යම් ලිංග ික හිරිහැරයක් හෝ වෙනත් අපහසුතාවක් වුනත් ඔවුන් ඒ ගැන කියන්න දන්නේ නැහැ, සිදුවුණේ කුමක්දැයි කියා තේරුමක් නැහැ. ඒ අය කියන දෙයක් වැඩි පිරිසක් ගණනට ගන්නේ නැහැ. ඒ නිසාම මේ අය විවිධ හිංසනයන්ට ලක්වෙන අවස්ථා තිබෙනවා. ඒ අය විතරක් නොවෙයි සෑම දරුවකුගේම වටපිටාව ඉතා ආරක්ෂිත විය යුතුයි.

දරුවන්ගේ ලෝකය තේරුම් ගන්න ඒ වෙනුවෙන් මවුපියන්ගෙන් ඉටුවිය යුතු ප්‍රධානම දෙය වන්නේ දරුවාගේ ලෝකය තේරුම් ගැනීමය. බොහෝවිට ඒ අය වයසින් කුඩා නිසා ඔවුන් කරන කියන දේට තිබෙන අවධානය අඩු නොකළ යුතුය. සමහර අවස්ථාවල ඔවුන් පවසන දේවල් ඇතුළෙ වෙනත් ගැඹුරු අදහසක් තිබිය හැකිය. එම නිසා සෑම අවස්ථාවකම මවුපියන්, වැඩිහිටියන් විදියට දරුවන්ගේ ලෝකය තුළ හිඳිමින් ඔවුන් අවබෝධ කර ගැනීමට උත්සහ කරනවා මිස වැඩිහිටියන්ගේ මනසින් ඔවුන් හා ගනුදෙනු නොකළ යුතුය.

 

එපා.. හොඳ නෑ.. වගේ වචන වෙනුවට වෙනත් ක්‍රමයක් ලිංගික අධ්‍යාපනය ගැන කෙලින් කතාබහ කිරීමට අපේ සමාජයේ වැඩිදෙනෙක් උනන්දුවක් දක්වන්නේ නැත. ඒ ගැන පාසලෙන් අධ්‍යාපනය ලැබුණත් විශේෂයෙන් මවුපියන් දරුවන්ට ඒ ගැන හරියට පැහැදිලි කරනවා නම් ඔවුහු තමන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා උනන්දුවෙන් සිතීමට පෙළඹෙති. ඒ වෙනුවට අපේ මවුපියන් වැඩි දෙනෙක් කරන්නේ “ඒක කරන්න එපා, ඒක කරන්න හොඳ නෑ, පිරිමි ළමයෙක් එක්ක යාළු වුනොත් එළියට බහින්න දෙන්නෑ දඩුවම් කරනවා,” මෙවැනි තහංචි දැමීම පමණි. එහෙත් ඇත්තෙන්ම සිදුවිය යුත්තේ එහෙම කරන්න හොඳ නැත්තේ ඇයි? එහෙම කළොත් මොකද වෙන්නේ, යන අවබෝධය දරුවකුට දැනෙන්න අවබෝධ කරවීමයි.

සබඳතාවලට මුල ඒ නිසි දැනුම දරුවකු තුළ නොතිබීමයි. උදාහරණයක් ලෙස කියනවා නම් මෙවැනි දෙයක් අවබෝධ කර ගැනීමට හැකි වයසක සිටින දරුවකුට අනවශ්‍ය ලිංග ික සම්බන්ධයක් පැවැත්වුවහොත් සිදුවෙන දේ පිළිබඳව සියල්ල පැහැදිලි කළ යුතුය. අනවශ්‍ය ගැබ් ගැනීමක් ඇතිවීම ගැන, වයස් සීමාව සමග නීතියෙන් එයට තිබෙන දඩුවම් ගැන, තමන්ට එයින් සිදුවන අපහසුතාව සහ නිදහස අහිමිවීම් ගැන දරුවකුට හොඳ පැහැදිලි කිරීමක් කළ හැකිය. එවිට ඔවුන් තමන් කරන කියන දේවල් පිළිබඳ මීට වඩා අවබෝධයෙන් සිතීමට පෙළඹේ. ලිංග ික අධ්‍යාපනය පැත්තෙන් පමණක් නොව ජීවිතයේ විවිධ අවස්ථාවලදී වුවත් එපා සහ හොඳ නෑ යන වචන දෙකට පමණක් සීමා නොවී ඔවුන්ගේ මනසට දැනෙන්නට පැහැදිලි කිරීමට හැකි නම් වඩාත් සාර්ථකය. තාක්ෂණික ගනුදෙනුවලදී මවුපියන් නොදන්නා දේවල් ඕනෑ තරම් තිබිය හැකිය. මේ කාලයේ ඔන්ලයින් තාක්ෂණය හරහා බොහෝ අධ්‍යාපනික කටයුතු සිදු කෙරෙන නිසා දරුවෝ නිරන්තරයෙන් අන්තර්ජාලයේ සැරිසරති. එහෙත් අදාල වෙබ් පිටුවල අධ්‍යාපන කටයුතුවලට පමණක් ගනුදෙනු කිරීමට හැකිවන සේ වෙනත් අදාල නොවන වෙබ් පිටුවලට යෑම අවහිර කර කටයුතු කළ හැකි තාක්ෂණයක් තිබේ. ඔබ තවමත් ඒ ගැන නොදන්නවා නම් ඒ ගැන දන්නා අයකුගෙන් එම අන්තර්ජාල ආරක්ෂාව දරුවාට සලසා දිය හැකිය.

දරුවන්ට ඔවුන්ගේ ලෝකයේ තනිවෙන්න ඉඩ ලබා දිය යුත්තේ මවුපියන් සහ පවුලේ වැඩිහිටියන්ගේ ආරක්ෂාව ඇතුළත බව අමතක නොකළ යුතුය.


සටහන: නයනා උදයංගනී


 

අම්මාගේ ආදරය  මම ඇයගෙන්  හොයනවා   Chanuka Read Previous

අම්මාගේ ආදරය මම ඇයගෙන් හොයනවා Chanuka

මට මගේ සැමියව පේන්න බැහැ Read Next

මට මගේ සැමියව පේන්න බැහැ

Realted Post

Leave a comment