මගේ ජීවිතය කන්තාවන්ගෙන් වට වෙනවට මම කැමැතියි - Raween Kanishka

කුරුණෑගල  උපන් රවීන් කනිෂ්ක නම් තරුණයා කොළඹට එන්නේ  කිරුළක් වෙනුවෙන් තරග වදින්නටය. ගමේ උපන් එකෙකුට කොළඹදී කිරුළක් දිනා ගැනීම හිතන තරම් පහසු නැත.  එහෙත් රටේම මිනිසුන්ගේ ආදරය මතින්, තම ගායන හැකියාවෙන්  ඔහු ඒ කිරුළ දිනා ගත්තේය.  එතැන් පටන් රවීන් කනිෂ්ක යනු සංගීත ලෝකයට හෝ අපේ රටේ සංගීත ලෝලීන්ට අමුත්තෙකු නොවීය. ගායන ශිල්පියෙකු පමණක් නොව රංගන ශිල්පියෙකු ලෙස තම ගමන්මග එළි කරගත් ඔහු සිනමාවටද පිවිස සිටින්නේ ය.

යුවතියන්ගේ සිත් පැහැර ගත්  කඩවසම් තරුණයා ගැන  අලුත් කතාවකි.

  • මේ දවස්වල මොකද කරන්නේ?

Solo Town චිත්‍රපටය  තිරගතවීමට නියමිතයි. ඒ වගේම ටෙලි නාට්‍ය හා මගේම ගීත කිහිපයක නිර්මාණ සඳහාද කාර්යබහුල වී සිටිනවා.

  • Solo Town  චිත්‍රපටය ගැන කියමුද?

මෙම චිත්‍රපටය මගේ දෙවැනි සිනමා නිර්මාණ දායකත්වයයි. චතුරංගන සිල්වා සහ සහන් වික්‍රමාරච්චි සම අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය තාරුණ්‍ය හා සංගීතය මුසු වූ චිත්‍රපටයක්. චතුරංගන සිල්වාගේ කුළුඳුල් අධ්‍යක්ෂණය. එය Solo Town  සංගීත කණ්ඩායම වටා ගෙතුණු කතාවක්. 

  • මෙම නිර්මාණයේ ඔබේ චරිතය මොන වගේද

 එහි එන මගේ චරිතය ජේ. අසංජන කියන නම සංගීත ක්ෂේත්‍රයට පිවිසීමත් සමඟ ජේ යන නමට පරිවර්තනය වෙනවා. ඔහු සංගීත කණ්ඩායමක නායකයෙක්. මුලදි සෙල්ලක්කාර චරිතයක් වන ජේ පසුකාලීනව ජීවිතය තේරුම් ගෙන සාර්ථකත්වය ලබාගන්නා චරිතයක් බවට පත්වෙනවා.

  • ගායන ක්ෂේත්‍රයෙන් ඉවත්වෙලාද?

කාලයක්ම මට අවශ්‍ය වී තිබුණෙ ගොඩක් වැඩ කරල මුදල් උපයන්න. මගේ මව්පියන්ට වත් පොහොසත්කම් තිබුණෙ නැහැ. නමුත් අවශ්‍යතා බොහොමයක් තිබුණා. මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් මම වැඩ කළා. ඒ කාලයේ  මට වැඩ කරන්න ලැබුණෙ රංගන හා නිවේදන ක්ෂේත්‍රවලින් පමණයි.  මේ දේවල්වලට වැඩිපුර කාලය යොදවන්න වුණු නිසා  මට සංගීතය මගහැරුණා. ළඟදීම මම සංගීත ක්ෂේත්‍රයට පිවිසෙනවා.

  • මෙතෙක් ආපු ගමන ගැන මොකද හිතෙන්නෙ?

ගොඩක් සතුටුයි. ආඩම්බරයි. මම හිටපු විදිය සමග දැන් ඉන්නේ වෙනස්ම ජීවිතයක. හැමදෙයකින්ම හොඳ තැනක මම ඉන්නෙ. ලොකු ගමනක් ඇවිත් නැහැ. මට තව  ගොඩක් දේවල් කරන්න තිබෙනවා. නමුත් මම දැන් ගත කරන ජීවිතය මම හිටපු තැනත් එක්ක සසඳන විට අහසට පොළොව වගේ. මට දැන් සැනසීමෙන් ජීවත්වෙන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා.

  • ගැහැනු ළමයි බොහොම කැමති චරිතයක් නේද? 

මම ගොඩාක් කැමතියි මගේ ජීවිතේ කාන්තාවන්ගෙන්  වටවෙනවට. ජීවිතයේ සෑමදෙයකම  සාර්ථකත්වයට කාන්තාවගේ සහයෝගය ලැබී තිබුණා. අම්මගේ සිට සියලුම කාන්තා චරිතවලින් මට හොඳක් පමණයි සිදුවුණේ.. වෘත්තීය මට්ටමින් හා පවුල් මට්ටමින් යන මේ හැම තැනකදීම මම ගොඩක් ගනුදෙනු කරන්නේ කාන්තාවන් සමග. ඇත්තටම මට කාන්තාවන් කෙරෙහි විශේෂ ගෞරවයක් තිබෙනවා. 

  • කලාව හැරුණුවිට කැමති මොනවටද? 

මගේ එකම ආසාව මෝටර් සයිකල් පැදීම. මගේ ළඟ මෝටර් සයිකල් කීපයක්ම තිබෙනවා. මගේ වෘත්තීය කටයුතු සඳහා ලෝකය පුරා රටවල සංචාරය කරන අවස්ථාවන්වලදී මෝටර් රථ රේස් සඳහාත් සහභාගි වී තිබෙනවා. ඒ තරගවලින් ජයග්‍රහණත් ලබාගෙන තිබෙනවා.

  • කලා ක්ෂේත්‍රයේ කාන්තාවට ලැබී ඇති තැන ගැන මොකද හිතෙන්නෙ? 

 කාන්තාව  පිරිමියා යනුවෙන් විශේෂ ස්ථාන නැහැ. තමන් ක්ෂේත්‍රයට පැමිණ වැඩ කරන විදිහ හැසිරෙන විදිය තීරණ ගන්න විදිය කැපවෙන ප්‍රමාණය අනුව කාන්තා පිරිමි භේදයකින් තොරව තම තමන්ගේ ඉදිරි ගමන තීරණය කරයි. ක්ෂේත්‍රයට ඇවිත් හොඳට වැඩ කරලා හොඳ විදියට ජීවත් වුණොත් ගමන සුබයි. නැතිනම් පිස්සු නැටුවොත්  හැම දෙයක්ම විනාශවෙනවා.

  • ඉදිරි බලාපොරොත්තු මොනවාද?

ඉදිරියේදී මගේ සංගීත වැඩකටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ වගේම මේ කාර්යබහුලත්වයෙන්  මිදිලා  මගේ පවුලේ අයත් සමග ලෝකය වටේම සංචාරය කරමින් විවේකයෙන් සිටින්නයි මගේ බලාපොරොත්තුව. පසුගිය වකවානුවල මම ගොඩාක් කාර්යබහුල වුණා. දැන් නිදහසේ සාමාන්‍ය මනුස්සයෙක් ලෙස ජීවත් වෙන්න මානසික නිදහස හොයාගන්නවා. 

අගමැතිනිය අති උතුම් අගරදගුරු හමු වේ Read Previous

අගමැතිනිය අති උතුම් අගරදගුරු හමු වේ

අගමැතිනිය අති උතුම් අගරදගුරු හමු වේ Read Next

අගමැතිනිය අති උතුම් අගරදගුරු හමු වේ

Realted Post

Leave a comment