මැඩම් කෙට්ටුවුණු හැටි නෝනට කියන්න ගියොත් මට්ටු වෙනව ෂුවර්
ස්ටාෆ් එකේ හිටපු අධික තරබාරු තරුණ කථිකාචාර්යවරියක් බොහොම අපූරුවට ඇගේ ශරිරයේ අධික තරබාරු බව අඩු කරගෙන තිබුණු හැටි දැක්කම අපි හැමෝටම පුදුම හිතුණා. කීප දෙනෙකුගෙ ්ම ප්රශ්නය වුණේ ඇය කොහොමද බොහොම ලස්සනට ස්ථුලතාව පාලනය කළේ කියන එකයි. ඒ ගැන ඇගෙන් අහපු හැමෝටම ඇය දුන්නේ එකම උත්තරයක් විතරයි. “ඒකට මම හොයා ගත්තා හොඳ ක්‍රමයක්. වැදගත්ම දේ තමයි කෑම පාලනය කරන්නෙත් නැතිව, වර්ක් අවුට් කරන්නෙත් නැතුව හරිම ලේසියෙන් ඒක කරන්න පුළුවන්”. මේ කතාවෙන් පස්සේ හැමෝටම ඕනෙ වුණා ඒ අලුත් ක්‍රමය දැන ගන්න. ඇයත් කිසිම ගුරු මුෂ්ඨියක් තියා ගන්නේ නැතිව කෙට්ටු වීමේ රහස අනිත් අයට කිව්වා.
කථිකාචාර්ය ශාස්ත්‍රපති
දුලංජලී මුතුවාඩිගේ |
අපේ කතාබහ ඔය විදියට දිගින් දිගට ගලාගෙන යද්දි අවමඟුල් උත්සවයට ආවා අපේ ස්ටාෆ් එකේම තවත් තරුණ කථිකාචාර්යවරයෙක්. ඔහු ඉතාම කඩවසම් කෙනෙක්. පළමු දරු උපතෙන් අවුරුදු හතරකට පස්සෙත් ඔහුගේ බිරිඳ අසීමිතව තරබාරු වී තිබීම ගැන ඔහු හිටියේ කණගාටුවෙන්. ඒ ගැන අවස්ථා කීපයකදීම අපිත් එක්කත් කියලා තිබුණා. ඒ වගේම කෑම පාලනය කරන්න වුවමනාවක් නැති, ශරීරය වෙහෙසලා ව්‍යායාම කරන්න වුවමනාවක් නැති ඔහුගේ බිරිඳ ගැන ඔහුට තිබුණේ කලකිරීමක්. තරබාරු බව නිසාම ඇගේ පෙනුම ඔහුට වඩා බොහෝ සෙයින් වියපත් වෙලා කියලත්, තමන්ගේ පෙනුම ගැන බිරිඳගේ නොසැලකිලිමත්කම නිසා ඔවුන් දෙදෙනා අතර දුරස්ථබවක් ඇති වෙමින් පවතිනවා කියලත් ඔහු කියලා තිබුණා.
ඔහු අපි ඉන්න තැනට ආපු වෙලාවෙ මෑතදී කෙට්ටු වුණු අපේ කථිකාචාර්යවරියව දැකපු ගමන් අර කථිකාචාර්යවරයාගේ ඇස් දෙක උඩ ගිය හැටි මම දැක්කා. “මෙයාව අඳුන ගන්නත් බෑනෙ. සෑහෙන්න මහන්සි වෙලා හෝම් වර්ක් කරලා තියෙන පාටයි” ඔහු කිව්වා. “ඔන්න කැමති නම් පහසුවෙන්ම ස්ලිම් සිරුරක් ලබා ගන්නා හැටි මෙයාගෙන් අහගෙන ගිහින් වයිෆ්ට කියලා දෙන්න” එහෙම කිව්වේ අපේ තවත් මිත්‍රයෙක්.
“බුදු අම්මෝ මේ, අපේ වයිෆ් ඔය ඉන්න සයිස් එකටම හිටියාවේ.” ඔහු එකපාරටම කිව්වා. “ඒ මොකද? ඔයා අවුලෙන්නෙ හිටියේ වයිෆ් මහත් වෙලා, කෙට්ටු වෙන්න උනන්දුවක් නෑ කියලා. ශලිනි ළඟ තියනවා ලේසියෙන් කෙට්ටු වෙන ක්‍රමයක්. ප්‍රායෝගිකයි. ස්ථීරයි. අත්හදා බලන්න දෙයක් නෑ.”
“ඒ වුණාට වෙන අය කෙට්ටු වෙන්න කරපු දේවල් ගැන අපේ වයිෆ්ට කියන්න ගියොත් මට කනක් ඇහිලා ඉන්න හම්බෙන්නේ නෑ. ඊට වඩා හොඳයි ඔය ඉන්න විදියටම ඉන්න දෙන එක” ඔහු කිව්වා.
“මොකක්ද ඒ කතාවෙ තේරුම?”
“දන්නවනෙ සමහර ගැහැනු අයගෙ හැටි. වෙන කෙනෙක් දිහා බලනවටවත් කැමති නෑ. අපේ එක්කෙනත් අන්න එහෙම කෙනෙක්. එයාට ගිහින් කිව්වොත් අපේ ස්ටාෆ් එකේ ශලිනි මැඩම් කෙට්ටු වෙලා, ලස්සන වෙලා, එයා කෙට්ටු වෙලා තියෙන්නේ මෙහෙමයි කියලා, ඕවා මේවා කියන්න ගියොත් අපේ වයිෆ් ඉස්සෙල්ලාම මගෙයි අහන්නේ ශලිනි කෙට්ටු වුණු විදිය ගැන නෙවෙයි, මොකටද වෙන ගැහැනු දිහා බලන්න ගියේ කියලා. ඊට පස්සේ ෆෝන් චෙක් කරන්නයි, ගෙදරින් එළියට ආපු වෙලාවෙ ඉඳලා කෝල් කරන්නයි පටන් ගනී. ඊට මීට වඩා හොඳයි එයාගෙ මහා පතරංග ශරීර රාජයා ඔහොමම තියාගෙන, මගේ නිදහසත් මෙහෙමම තියාගෙන මේ ඉන්න විදියටම ඉන්න එක.” අවමඟුල් උත්සවයක් කියලා පවා අමතක වෙලා අපි හැමෝටම හිනා ගියා.
ඔහුගේ කතාව හිනාවට කාරණයක් වුණත් මට කල්පනා වුණේ ඔහුගේ බිරිඳගේ පුදුමාකාර මනෝභාවය ගැනයි. ඇය ගැන හිතලා ඔහු කරන දේවල්වල හොඳක් දකින්න බැරි තරම් අවම මට්ටමේ මනෝභාවයන් තුළ ඉඳලා සාර්ථක පවුල් ජීවිත ගත කරන්නේ කොහොමද කියන එකත් පුදුමයට කාරණයක්. අද නවීන තාක්ෂණය නිසා කාටවත් හොර බොරු කරන්න බැහැ. ඉන්න තැන ගැන බොරු කියන්න බෑ, කරන දේ ගැන බොරු කියන්න බෑ, ගන්න කෝල්ස් ගැන බොරු කියන්න බෑ. ඒක එහෙම වුණත් එකිනෙකා අතර තියෙන සැකය නම් බිංදුවකින්වත් අඩු වෙලා නැහැ. එන්න එන්නම වැඩි වෙලා. ඒ වගේම ඔවුන් අතර දුරස්ථභාවයත් වැඩි වෙලා, සැකයත් වැඩි වෙලා. අන්තිමට තමන්ගේ පවුලේ අය වෙනුවෙන් කරන හොඳ දෙයක හොඳක් දකින්න බැරි තරම් මානසික මට්ටම පහත වැටිලා.
මේ විදියේ මානසික තත්ත්වයන්වල ඉන්න පිරිමි අයට වඩා කාන්තාවන්ගේ ප්‍රතිශතය ඉතාම වැඩියි. කාන්තාවන්ට වඩා ලේසියෙන් සහ ඉක්මනින් පිරිමින් වරදේ බැඳෙන එක තමයි මේකට හේතුව කියලා මම කියන්නේ නැහැ. ඒක ඒ ඒ අවස්ථාව අනුව සහ මනෝභාවය අනුව වෙනස් වෙන නිසා. කොහොම වුණත් දෙදෙනෙක් එකට ජීවත් වෙද්දි තමන්ගේ සහකාරයා හෝ සහකාරිය තමන්ව දකින්න කැමති විදිය ගැනත් ටිකක් අවධානය යොමු කළොත් අලුත බැඳපු දෙන්නෙක් විදියට මුළු ජීවිත කාලයම ඉන්න පුළුවන් කියන එක නම් කියන්නම වෙනවා.
Leave a comment