රට රටවල නත්තල්

 

නත්තල ළඟ ළඟ එනවා. ලොව පුරා කිතුනු බැතිමතුන් නත්තල සැමරීමට ලහි ලහියේ සූදානම් වෙනවා. ලෝකයේ විවිධ රටවල නත්තල් උත්සවය සමරනු ලබන්නේ ඒ ඒ රටවලට ආවේණික සම්ප්‍රදායන්ට අනුකූලවයි. අතීතයේ පටන්ම නත්තල සමරන්නට ලෝකයේ ක්‍රිස්තු භක්තික රටවල් කිහිපයක් සූදානම් වෙන්නෙ මෙහෙමයි.

 


ජේසු බිලිඳාට තොටිල්ලක් හදන ඉතාලි ජාතිකයෝ 
ඉතාලියේ වෙසෙන කිතුනු බැතිමතුන් සිය නිවෙස්වල ජේසු බිලිඳාගේ උපත සමරමින් ගවලෙනෙහි වූ ඔරුවක උන් වහන්සේ උපන් අයුරු නිරූපණය වෙන කුඩා තොටිල්ලක් සාදනවා. පිදුරු මඩුවේ කුඩා ඔරුවක උපත ලැබූ බිලිඳා සැතපෙන ආකාරය දක්වන තොටිල්ලක් තැනීමේ සැරසිල්ල ජනප්‍රිය කරවූයේ වර්ෂ 1223 දී මධ්‍යම ඉතාලියේ විසූ ශාන්ත ප්‍රැන්සිස් පියතුමා විසින්. ඉතාලියේ නේපල්නස් නුවර මෙම ජේසු බිලිඳා සැතපෙන තොටිල්ල සඳහා ලෝක ප්‍රසිද්ධියක් උසුලනවා.


මේවා හඳුන්වනු ලබන්නේ ‘තොටිලි දර්ශනය’ (Nativity) නමින්. නිවෙස්වල මෙම තොටිලි දර්ශනය ජනප්‍රිය අංගයක් බවට පත්වූයේ දාසය වැනි ශත වර්ෂයේ පටන්. අද දක්වාම ඉතාලි නත්තල් සැරසිලි අතර එය ජනප්‍රිය අංගයක් බවට පත්ව තිබෙනවා. මෙලෙස ජේසු බිලිඳාගේ තොටිල්ල තැනීම අරඹන්නේ දෙසැම්බර් මාසේ අට වැනිදා වුවත් තොටිල්ලේ බිලිඳා තැන්පත් කරනු ලබන්නේ දෙසැම්බර් 24 වැනිදා රාත්‍රියේදී.
නත්තල් දේව මෙහෙයෙන් පසුව නිවසට එන ඉතාලි කිතුනු බැතිමතුන් වියළි පලතුරු මිශ්‍ර කර තනන ලද ‘Panettone’ නම් වූ ස්පොන්ජ් කේක් ගෙඩියක් කපා අමුත්තන්ට සංග්‍රහ කරනවා. මෙම ස්පොන්ජ් කේක් සමග උණුසුම් චොක්ලට් පානයක්ද පිරිනමනු ලබනවා. ‘යූල් ලොග්’ (Yule Log) කේක් ද ඉතාලියේ ජනප්‍රිය කේක් වර්ගයක්. ඉතාලියේ නත්තල ඇරඹෙන්නේ නත්තල් රාත්‍රිය (25) වැනිදාට දින අටකට කලින් ඇරඹෙන Novenas හෙවත් යාඥා මාලාවකින් අනතුරුවයි. 

 


ඇමෙරිකාවේ නත්තල් කෑම මේසයට මුල් තැනක්
ඇමෙරිකාව බහු වාර්ගික බහු ජාතික රටක් වන හෙයින් එහි විවිධ ප්‍රාන්තවල වෙසෙන ජනතාව නත්තල විවිධාකාරයෙන් සමරති. බටහිර යුරෝපීය කිතුනු බැතිමතුන් අතර ජනප්‍රිය නත්තල් කෑම වේල ඇමෙරිකානුවන් අතරද ජනප්‍රියයි. කැනබෙරි සෝස් සමග කළුකුන් මස් සහ හැම්, ගෝවා වර්ග සහ සොසේජස් වර්ග, සුප් වර්ගද නත්තල් කෑම වේලෙහි ප්‍රධාන ආහාර වර්ග අතර වෙයි. මත්ස්‍ය වර්ග හතකින් සෑදුණු ‘මහා නත්තල් මාළු කැම වේල බොහෝ ඉතාලි, ඇමෙරිකානු කිතුනුවන් අතර ජනප්‍රිය නත්තල් කෑමකි. මෙය වර්ෂ 1800 පමණ ඇමෙරිකාවට සංක්‍රමණය වූ ඉතාලි ජාතිකයින් අතර පැවති නත්තල් කෑමවේලකි. අද ඇමෙරිකා ඉතාලි සම්භවයකින් යුතු ඇමෙරිකානුවන් පමණක් නොව බොහෝ ඇමෙරිකානුවන් අතර ජනප්‍රියම කෑමක් බවට පත් වී තිබේ.


නත්තල් අච්චාරු ද මොවුන් අතර ජනප්‍රිය ආහාරයකි. නත්තලට හුවමාරු කරන තෑගි අතර විවිධ රසයට තැනූ අච්චාරු වර්ගවලටත් මුල් තැනක් ලැබෙනවා.


නත්තල් ගස සැරසීමේදීි වඩාත් අලංකාර සැරසිලි යොදා ගනු ලබයි. නත්තල් කරත්තය ඇදගෙන යන පිනිමුවන්, නත්තල් සීයාගේ පිළිරූ ගේ අසල තැබීමත් සිරිතක්. නත්තල් සීයාට බොන්නට කිරි විදුරුවක් සහ කන්නට රසකැවිලි සහ කුකීස් වර්ග තැබීමටත් ඇමෙරිකානුවන් අමතක කරන්නේ නෑ.

 


පවුලේ සැවොම එකතු වෙන එංගලන්තෙ නත්තල 
එංගලන්ත වාසීන්ට නත්තල යනු පවුලේ සියලුම සාමාජිකයින් එකට එක් කරන, සෑම දෙනාම එක්ව නත්තල් සැරසිලි කරන, කෑම බීම සකස් කරන පවුලේ සාමය සුරකින ප්‍රීතිමත් උත්සවයක්. ඔවුන් සිය නත්තල් ගස සරසන්නේ පවුලේ සියලු දෙනාගේම සහයෝගය ඇතිවයි. 


නත්තල් ගස එක්සත් රාජධානියේ පළමුව ජනප්‍රිය වූයේ වික්ටෝරියා රැජිනගේ සැමියා වූ ජර්මානු ජාතික ඇල්බට් කුමාරයා සිය සංස්කෘතියට අනුව නත්තල් ගසක් සිය මාලිගයේ ඉදිකිරීමත් සමගයි.
ශුද්ධ වූ අයිව් ශාකයේ අතු සහ ගස්වල හැදෙන පිළිල වර්ගත් මේ සාම්ප්‍රදායික නත්තල් ගස් තැනීමට යොදා ගනු ලබනවා.


ලන්ඩනයේ ඔක්ස්ෆර්ඩ් වීථිය නත්තල් සැරසිලි හා ආලෝකකරණය සඳහා චිර ප්‍රසිද්ධය. ආලෝකවත් කරන ලද ඔක්ස්ෆර්ඩ් වීථිය නත්තල් දා රාත්‍රියට මිහිපිට සුරලොවක සිරි ගන්වයි. නොවැම්බර් මාසයේ තෝරා ගත් දිනයක නගරයේ විශේෂ ප්‍රභූවරයෙකු අතින් මේ විදුලි සැරසිලි ආලෝකමත් කිරීම සිදු කරයි.


එංගලන්ත කිතුනුවන් සිය ප්‍රධාන නත්තල් කෑම වේල ලෙස සලකන්නේ නත්තල් දා (25) දිවා ආහාරයයි. රෝස් කරන ලද කළුකුමකු, රෝස් කරන ලද එළවළු, බේකන්, සොසේජස්, හරක් මස්, පාත්තයින්ගේ මස්, කැන්බරි සෝස් හා පාන්, සෝස්වලින් ඔවුන්ගේ නත්තල් කෑම වේල සමන්විත වෙයි. අතුරුපස වන්නේ නත්තල් පුඩිං සහ චොක්ලට් වර්ගයි. 

 


ඕස්ටේ්‍රලියාවේ දරුවන්ට නත්තලට දිග නිවාඩුවක් 
ඕස්ටේ්‍රලියාවේ නත්තල් සමය ඇරඹෙන්නේ ගිම්හාන සමයේ ඇරඹුමත් සමගයි. පාසල් සිසුන්ගේ ගිම්හාන නිවාඩුව දෙසැම්බර් මාසයේ ඇරඹී පෙබරවාරි මාසය දක්වා පැවැත්වෙනවා.
ඕස්ටේ්‍රලියානුවන්ගේ නත්තල් සැරසිලි අතර මල්වඩම්වලට විශේෂ තැනක් හිමිවෙනවා. සිය නිවෙස්වල ඉදිරිපස දොරෙහි අලංකාර මල්වඩම් එල්ලා තැබීම ඇතැමුන්ගේ සිරිතක්. නත්තල් දා සන්ධ්‍යාවේ නත්තල් කැරොල් ගීතිකා ගයමින් කණ්ඩායම් සෑදී දොරින් දොර යාම ඇතැම් කිතුනු බැතිමතුන් විසින් සිදු කරනවා. නත්තල් ගස් සැරසීමේදී අසල්වැසියන් අතර වඩාත්ම අලංකාර නත්තල් ගසක් තැනීමේ තරගකාරීබවක්ද තිබෙනවා.
කුඩා කොළ පැහැති පත්‍ර සහිත ඕස්ටේ්‍රලියාවට ආවේණික නත්තල් ගසක අතුවලින් නත්තල් ගස ඉදිකිරීමටත් ඔවුන් ප්‍රිය කරනවා. එහි ක්‍රීම් පැහැති මල් ගසේ ලස්සන වඩාත් වර්ධනය කරනවා.


එරට ප්‍රසිද්ධ ගායක ගායිකාවන් විසින් පවත්වනු ලබන නත්තල් කැරොල් ගී ප්‍රසංගය නැරඹීමට ජනතාව ඉතා ප්‍රිය කරනවා. රට පුරා රූපවාහිනී නාළිකාවල මෙන්ම සජීවී සංදර්ශන ලෙසද ඔවුන්ගේ කැරොල් ගී ප්‍රචාරය කෙරෙනවා.


ඕස්ටේ්‍රලියානුවන් ගේ ප්‍රධාන නත්තල් කෑමවේල 25 වැනිදා දිවා ආහාරවේලයි. සම්ප්‍රදායානුකූල බටහිර ආහාර සමග ඉස්සන්, කකුළුවන්, පොකිරිස්සන් වැනි මුහුදු ආහාර ගින්නෙන් පුලුස්සා කෑමට එක් කර ගන්නවා. මස්වලට වඩා මුහුදු මාළුවලට ඕස්ටේ්‍රලියානු නත්තල් කෑම මේසයේ මුල් තැනක් හිමිවෙනවා. නත්තල් පුඩිං සමග වෙනත් ශීත කළ අතුරුපස ඔවුන් අතර වඩාත් ජනප්‍රියයි.

 සාගරිකා දිසානායක


 

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ Read Previous

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

මට මගේ සැමියව පේන්න බැහැ Read Next

මට මගේ සැමියව පේන්න බැහැ

Realted Post

Leave a comment