වටේ දාහක් හිටියත් තනිවෙලා වගේ දැනෙනවද? බැඳීම් නැති සබඳතා තියෙනකොට එහෙමයි
මිනිසා ස්වභාවයෙන්ම සමාජ සත්ත්ව කොට්ඨාසයකි. අවුරුදු දහස් ගණනක සිට මිනිසා ජීවත් වන්නේ කණ්ඩායම් වශයෙනි. ඒවාගේම මිනිසා දඩයම් කළේ, සංචාරය කළේ, හැදුනේ වැඩුනේ ද සමාජ කණ්ඩායම් වශයෙනි.
සමාජ සබඳතා අපේ ජීවිතයේ වැදගත් හා වටිනා අංගයකි.
ඉපදුණු මොහොතේ සිටම සබඳතා පැවැත්වීම අප ඉබේම සිදු කරයි. අලුත උපන් බිලිඳාගේ හැඬීම මගින් මවගෙන් ‘ඔක්සිටොසින්’ හෝමෝනය ශ්රාවයවීමට පටන් ගනී. එයින් මවුකිරි නිපදවීම ආරම්භවීම නිසා මව හා දරුවා අතර ශක්තිමත් බැඳීමක් ඇති කරයි.
සංකීර්ණ වටපිටාවක ජීවත් වීමට උදව් වන කුසලතා ඉගෙන ගැනීමට කණ්ඩායම් ගතවීම තුළින් අවස්ථාව ලැබේ. තනිකම ගැන වැඩිපුර කතා කරන ලෝකයක තමන් තනි වී නැති බව හැඟීම වෙන කවරදාටත් වඩා වැදගත් වන්නේ ඒ නිසාය. නිවසේ, පාසලේ හා රාජකාරී ස්ථානයේදී අප සියලුදෙනාටම සබඳතා අවශ්‍ය වෙයි. මේ සබඳතා ශක්තිමත් කර ගැනීම අපගේ සෞඛ්‍යයට හා යහපැවැත්මට ඉතා වැදගත් හේතුවක් වෙයි. යහපත් සබඳතා ඇති බව දැනීම අපගේ ජීවිතයට අරුතක් ලබා දෙයි.
වටපිටාවේ මහ සෙනඟක්
අපට පුද්ගලයින් සමග විවිධාකාරයෙන් සබඳතා පැවැත්විය හැකිය. ඒ අපි ළඟින්ම ඇසුරු කරන අපේ පවුලේ අය හා මිතුරන් සමග, අපට දිනපතා මුණගැසෙන, පාසලේ රාජකාරී ස්ථානයේ අය වගේම ඔබට නිතර මුණනොගැසුණත් යම් සංවිධානයක හෝ කණ්ඩායමක සාමාජිකයින් හෝ ඔබට සමාන අදහස් හා මත දරන කණ්ඩායම් සමගමය.
මෙසේ ඇතිකර ගන්නා යහපත් සමාජ සබඳතා මගින් මානසික සෞඛ්‍යයට ඇති වන ප්රතිලාභ බොහෝ වෙයි. මානසික අවපීඩක තත්ත්ව, කාංසාව, වැනි තත්ත්ව මෙයින් අඩු කරන අතර ආත්මාභිමානය වැඩි දියුණු කරන බවද සනාථ වී ඇත. ඒවාගේම අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වී රෝග වැලඳීමේ ප්‍රවණතාව අඩු කරන අතර ඉක්මනින් රෝගවලින් සුවය ලැබීමටත්, දිගු කාලයක් ජීවත්වීමටත් අවස්ථාව සැලසෙයි.
සබඳතා මගින් ඔබ සතුටින් හා අන් අය සමග සම්බන්ධව තබනවා යනුවෙන් හැඳින්වෙන්නේ නිරායාසයෙන්ම සබඳතා පවත්වන අයටද තම ජීවිතයට යහපත් සබඳතාවක ප්‍රතිඵල ලැබීමයි. එමගින් පුද්ගලයින් එකිනෙකා සම්බන්ධ කරන ජාලයක් බිහි වේ.
මෙම සබඳතා විවිධ හැඩතලවලින් හා ප්‍රමාණයෙන් පැවතිය හැකිය. මෙයින් සමහර සබඳතා ඉතා තදින් මතකයේ රැඳෙන ඒවා විය හැකි අතර තමා හොඳින් දන්නා අය සමග මෙන්ම ආගන්තුකයින් සමග විය හැකිය. තාක්ෂණය අතින් දියුණු ලෝකයේ භෞතික සේම මාර්ගගත සබඳතා ද දක්නට ලැබේ.
සමාජ සබඳතාවලින ලැබෙන ප්‍රයෝජන
ඔබගේ ජීවිතයේ ගුණාත්මකබව වැඩි කරයි. මෙයින් ජීවිතයේ සෑම පැතිකඩකටම ධනාත්මක ලෙස බලපෑ හැකියි. මෙය හොඳින්ම තේරුම් යනුයේ අපට ඒ සබඳතාවලින් මිදී ගත කරන්නට සිදු වූ විටදීය.
ඒවාගේම මානසික ආතතිය අඩු කරයි. යහපත් සබඳතා පවතින විට ඔබට යම් ගැටලුවක් ඇති වූ අවස්ථාවලදී එවැනි විශ්වසනීය අයෙකු සමගින් කතාබහ කිරීමෙන් සිතෙහි ඇතිවෙන ආතතිය හරි අඩකින් පමණ අඩු වී යයි. එහිදී ගැටලුවට විසඳුමක් ලැබීම අනිවාර්ය නොවන අතර තම හැඟීම් අනෙක් පුද්ගලයින් සමග බෙදා ගැනීමට හැකිවීම නිසා සිතට සැහැල්ලුවක් ඇති වෙයි.
හොඳ සබඳතාවක් හැමවිටම හිතට සහනයක්
අදහස් දැක්වීම: -සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාලයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ |
ඔබ පවත්වන සබඳතා නිසා ඔබට දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දීමට දිරියක් ලබා දෙයි. වචනයකින් හෝ පිහිටක්, සවියක් වීමට කෙනෙකු සිටියා නම් යැයි ඔබට සිතේ. එසේ සිතෙන්නේ ඔබ යම් දුෂ්කර හෝ අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දුන් විටදීය.
ඊට හොඳම උදාහරණයක් වන්නේ මෑතකදී අප හැම දෙනාම මුහුණ දුන් කොවිඩ් වසංගතයයි. එදා අප රෝගාතූර වූ අවස්ථාවේදී හෝ නිරෝධායනය වූ අවස්ථාවලදී අපගේ පිහිටට ආවේ කවුරුන්දැයි මඳක් සිතා බලන්න.
අසල්වැසියන්ගෙන් නෑ හිතමිතුරන්ගෙන් ද්‍රව්‍යමය වශයෙන් වගේම මානසික වශයෙන් කෙතරම් උදව් ලැබුණාද?
යහපත් සබඳතා පවුරක් මෙන් නැගී සිටිමින් අප ආරක්ෂා කරයි. ඒ නිසා එවැනි සබඳතා ඇතිකර ගැනීමට හෝ තිබෙන යහපත් සබඳතා තර කර ගැනීමට කාලය ශ්‍රමය වැය කිරීමට මැළි නොවිය යුතුයි.
අද අතළොස්සක් දෙනා මේ සබඳතාවලින් මිදී සිටියත් බොහෝ දෙනා ගොඩනඟාගත් සබඳතා වැඩි දියුණු කර ගැනීමට උනන්දු වෙයි. තවත් සමහරු අලුතින් සබඳතා ගොඩනගා ගැනීමට උනන්දු වෙති. මේ කුමන ආකාරයකින් වුවත් සමාජ සබඳතා ශක්තිමත්වීම වඩා වැදගත් වෙයි. ඒ සඳහා ඔබ ඇසුරු කරන අන් අය සමග සෞඛ්‍යමත් ලෙස අදහස් හුවමාරු කර ගැනීිම ඔවුන්ට සවන්දීම මෙන්ම දක්වන සැලකිල්ල ඉතා වැදගත් වෙයි.
සබඳතා පරදන බැඳීම්
ඔබගේ සබඳතා ඔබට සිටින යහළුවන් සංඛ්‍යාව මත කිසිසේත් රඳා නොපවතී. ඔබට යහළුවන් දහසක් සිටියත් සබඳතාවන්හි අඩුවක් දැනීමට පුළුවන. ඒ නිසා සබඳතා ඇති කර ගන්නා සංඛ්‍යාවට වඩා වැදගත් වනුයේ කොතෙක් දුරට ‘බැඳීම’ යන හැඟීම ඔබට දැනෙන්නේද යන්නයි. ඒ නිසා යහපත්, විශ්වසනීය සබඳතා ඇති කර ගැනීමට නොමසුරුව ඔබගේ කාලය වැඩි කරගන්න. එය ඔබ නොදැනීම ඔබට ලැබෙන මහඟු ආයෝජනයකි.
සුබෝධිනී පෙරේරා
Leave a comment