වතුර මෝටරේ කැඩිලද?
වතුර මෝටරේ නිතර ලෙඩද?
නිවෙසේ ජල ප්රශ්නය විසඳන්න උදව්වෙන වතුර මෝටරයක් නැති නිවෙසක් දැන් නැති තරම්ය. එසේ වුවත් වැඩිදෙනෙකුට වතුර මෝටරයේ නඩත්තුව පිළිබඳව ඇත්තෙ අලුප දැනුමකි. එය නිවැරදිව නඩත්තු කිරීම සහ භාවිත කිරීම නිවෙසේ විදුලිය ඉතිරි කර ගැනීමට ද හේතුවක් වේ.
මිලදී ගන්න පෙර මේ ගැන දැනගන්න
අදහස් දැක්වීම - |
වතුර මෝටරයක් මිලදී ගැනීමට පෙර ළිඳේ ගැඹුර වගේම පොළොව මට්ටමේ සිට වතුර ටැංකිය තබන උස පිළිබඳව අවබෝධයක් තිබීම.
නිවෙසේ අවශ්‍යතාව අනුව පැයකට වතුර ලීටර් කොපමණ ප්‍රමාණයක් පිරෙන්න අවශ්‍යදැයි දැන සිටීම.
මෝටරයේ වෝල්ටීයතාව
මෝටරය එක දිගට කොපමණ වේලාවක් ක්‍රියාත්මක කළ හැකිදැයි දැන සිටීම
මෝටරය අලුත්වැඩියා කර ගැනීමට අවශ්‍ය අමතර කොටස් වෙළෙඳපොළේ තිබීම
මිලදී ගැනීමෙන් පසු අක්‍රිය වුවහොත් නැවත අලුත්වැඩියා කර ගැනීම සඳහා වගකීමක් තිබීම.
මෝටරය සවි කිරීමේදී
වතුර මෝටරයක් සවි කිරීමේදී විදුලි කාර්මිකයකුගේ සහාය ලබා ගන්නා අතර ඔබටත් ඔහුට සහාය විය හැකිය.
වතුර මෝටරය සවි කිරීමට පෙර ෆෑන් එක කැරකෙනවාදැයි බැලිය යුතුය. ෆෑන් කවරය ගලවා අතින් කරකවා බලන්න. කරකැවීමේදී හිරවීමක් නැතිනම් එහි ගැටලුවක් නැත.
වතුර මෝටරය සවිකිරීමේ දී සුදුසුම ක්‍රමය තෝරාගන්න. සාමාන්‍යයෙන් යූනියන් සොකට් එකක් හරහා සවි කිරීමේදී පහසුකම් වැඩිය. අලුත්වැඩියාවකදී බට කැපීමට, ජොයින්ට් දැමීමට අවශ්‍ය නොවේ.
වතුර මෝටරය සවි කිරීමේදී වෑල් ශොකට්වලට ත්‍රෙඩ් සීල් යොදා තද කරන්න.
ෆුට් වෑල් එක සවි කිරීමේදී උඩින් වතුර පුරවා ලීක් ඇත්දැයි බලන්න. වතුර ගැලීමක් සිදුවන්නේ නැතිනම් ගැටලුවක් නොවේ. වතුර ලීක්වෙනවා නම් එහි ඇතුළත රොඩු, වැලි තැන්පත් වී තිබිය හැකිය. ඒවා ඉවත් කළ යුතුය. ඇතුළත රබර් ලේයර් එක පලුදු වී ඇත්නම් අලුත් ලේයරයක් දැමිය යුතුය.
මෝටරය සවිකිරීමේදී ළිඳ පැත්තට පහත්වන සේ අංශක 5ක් පමණ ඇලකර තැබිය යුතුය. එසේ නොමැති නම් හුළං පිරෙන්නට බලයි.
මෝටරය සවි කරන ස්ථානයේ කොන්ක්‍රීට් පදනම මත යකඩ ඇණවලින් මෝටරය සවි කළ යුතුය. මෝටරය උඩින් නොතෙමීමට ආවරණයක් සැදිය යුතු අතර මෝටරයට සුළං වැදීමට වාත කවුළු ද තැබිය යුතු වේ.
මෝටරය සවිකිරීමෙන් පසු ඇතිවන දෝෂ
මෝටරය වැඩ නොකරන්නේ නම් එසේ සිදුවන්නේ යම් සිරවීමක් හේතුවෙනි. එවිට එය කැරකෙනවාදැයි බැලිය යුතුය. නිසි ලෙස විදුලිය සම්බන්ධ වී නැතිනම් මෝටරය වැඩ කරන්නේ ද නැත. මෝටරයේ සවිකර ඇති විදුලි වයරයේ අග්‍ර දෙකට හෝල්ඩරයක් සවි කළ බල්බයක් තබා බලන්න. මෙය පාවහන් පැලඳ ඉතා පරෙස්සමින් කළ යුතුය.
විදුලිය තිබී මෝටරය වැඩ කරන්නේ නැතිනම් මෝටරයේ ඇති ower lode ස්විචය ක්‍රියාත්මක කරන්න. එම ස්විචය ඇත්තේ මෝටරය වැඩිපුර රත්වෙනවා නම්, වැඩිපුර ධාරාවක් ගන්නේ නම් ඉබේ ක්‍රියා විරහිත වීමටය. මෝටරයේ ආරක්ෂාවටය.
ස්විචය දැම්මත් කැරකෙන්නේ නැතිව කැරකෙන්න බලනවා නම් ප්‍රධාන ස්විචය නිවා දමා ෆෑන් කවරය ගලවා ෆෑන් එක අතින් කරකවා හිරවී ඇතිදැයි බලන්න. ෆෑන් එක කැරකෙන්නේ නැතිනම් මෝටරයද වැඩ කරන්නේ නැත. වතුර අදින කොටසේ ඉම්පිලර් එක හිරවීම නිසා මෙය සිදුවිය හැකිය. මෝටරය පාවිච්චි නොකර සිටීමෙන් මෙය සිදු වේ. එහි මලකඩ බැඳී ඇති බැවින් එය ඉවත් කර නැවත සවි කරන්න. රේසර් පලුදු වී ඇත්නම් අලුතෙන් දැමිය යුතුය.
මෝටරයෙන් අනවශ්‍ය ශබ්දයක් එනවා නම් එසේ වන්නේ රේසර් ගෙවීමෙනි. එවිට මෝටරය ක්‍රියා කිරීම සුදුසු නැත. කොයිල් එකට හානිවීමට පුළුවන. එවිට එය කාර්මිකයකු ලවා අලුත් වැඩියා කරගත යුතුය.
ෆුට් වෑලයට හුළං ඇදීමෙන් මෝටරය කැරකුණාට වතුර එන්නේ නැත. එය ෆුට් වෑලයේ ලීක් එකක් හෝ වෝටර් ශීල් එක පලුදු වීමෙන් වුවද සිදුවිය හැකිය.
මෝටරය කැරකෙන්න උත්සාහ කළත් කැරකෙන්නේ නැතිනම් ෆෑන් එක කුඩා කොටු කැබැල්ලක් දමා කරකවන්න. කරකැවෙනවා නම් ඇත්තේ කන්ඩෙන්සරයේ දෝෂයකි. එවිට අලුතින් කන්ඩෙන්සරයක් දැමිය යුතුය.
වතුර එන්නේ අඩුවෙන් නම් ඉම්පිලර් එක ඇතුළේ රොඩු, මලකඩ, වැලි හිරවී තිබිය හැකිය.
ඉම්පිලර් එකේ සිදුරු කම්බි කැබැල්ලකින් සුද්ධ කරන්න. පසුව ඉම්පිලර් එක සෝදන්න.
මෝටරය කැරකෙන්නේ නැතිනම් කොයිල්වල දෝෂයකි. මෝටරයේ කොයිල් එක ඇණවලින් ගලවා බලන්න. එය කළු වී දුඟදක් හමන්නේ නම් කොයිල් පිලිස්සී ඇත. නැවත අලුතෙන් කොයිල් එතිය යුතුය.
මෝටරය ක්‍රියාත්මක කරන විට ටිප් ස්විචය ක්‍රියා විරහිත වේ නම් මෝටරය තෙමී ඇත්දැයි බැලිය යුතුය. මෝටරය ඇතුළට වතුර ගොස් කොයිල් තෙමීමෙන් ටිප් ස්විචය ක්‍රියා විරහිත වේ. එවිට මෝටරයේ කොයිල් එක ඇණවලින් ගලවා කොයිල් එක පෙට්රල්වලින් සෝදා තද අව්වේ වියළා නැවත සවිකර ගන්න.
මේ කුමක් කළත් ඊට පෙර නිවෙසේ විදුලිය විසන්ධි කර පාවහන් පැලඳගත යුතුය.
සුජිත් ප්‍රසංග
Leave a comment