වැඩිහිටි විය අසුන්දර කරන හිතේ ගතේ ලෙඩ

 

ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටි දිනයත් යෙදෙන්නේ එකම දවසකය. ඒ ඔක්තෝම්බර් පළමු වැනිදා ය. දරුවන් ගැන, දරුවන්ගේ මානසික සෞඛ්‍යය ගැන අපි නිතරම කතා කළත් වැඩිහිටියන්ගේ මානසික සෞඛ්‍යය ගැන නම් කතා කරන්නේ බොහොමත්ම අඩුවෙනි. 


‘මානසික සෞඛ්‍ය්‍ය’ යන වචන දෙක තුළ මානසික රෝගයක් නොමැතිවීම යන දෙයට එහා ගිය අර්ථයක් ගැබ්වී තිබෙන බව සඳහන් කළ හැකිය. මානසික සෞඛ්‍යය ක්‍රියාවට නැංවනුයේ මානසික යහපැවැත්ම තුළිනි. අප ජීවිතයේ මුහුණ දෙන විවිධ අවස්ථා අනුව අපගේ මානසික යහපැවැත්ම අඩු වැඩි විය හැකිය. ඒ නිසා අනෙක් කාලවලදී වගේම වැඩිහිටි වයසේදීත් මානසික යහපැවැත්ම වැඩි දියුණු කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙයි. 


පෙරට වඩා වැඩි අවධානයක් 

අදහස් දැක්වීම:  -සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ 
යමුනා එල්ලාවල

 


අපේ රටේ වැඩිහිටියන් කියා හඳුන්වන්නේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි අයයි. දකුණු ආසියාවේ වේගයෙන්ම වියපත් වෙන ජනගහනය සිටින්නේද අපේ රටේය. ඒ නිසා වැඩිහිටියන්ගේ මානසික සෞඛ්‍යය ගැන පෙරට වඩා අවධානය යොමු කළ යුතු වෙයි.


මානසික සෞඛ්‍යය දුර්වලවීම, මානසික රෝගාබාධ ඇතිවීම වයසට යාමත් සමගම බැඳී ඇතිබව බොහෝදෙනා සිතති. එහෙත් එය එසේ නොවේ. එසේ විය යුතුද නොවේ. ඕනෑම වයසක සිටින කෙනෙකුට මානසික රෝගාබාධයක් වැලඳීමට හැකියාව ඇති බව අප අමතක නොකළ යුතුය.  



මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවෙන හේතු 
සෑම කෙනෙකුටම ජීවිත කාලය තුළදී විවිධ කනගාටුදායක සිද්ධි සහ ආතති තත්ත්වවලට මුහුණ දීමට සිදු වේ. එය හැමදෙනාටම පොදුය. ඒ සිද්ධිවලට අමතරව මානසික සෞඛ්‍යයට බලපාන වැඩිහිටිවිය හා සම්බන්ධ විශේෂිත කරුණු කීපයක්ද වෙයි. 



රැකියාවෙන් විශ්‍රාම යාම
රැකියාවෙන් විශ්‍රාම යාමත් සමගම තමන්ට කලින් තිබූ සමාජ තත්ත්වය සහ සමාජ පිළිගැනීම යම් තරමකින් අඩු වූ බවක් වැඩිහිටියන්ට දැනේ. මෙසේ තමාගේ වටිනාකම අඩු වූවා සේ දැනීම ආත්මාභිමානයට බෙහෙවින් බලපායි. රැකියාව නිසා ගොඩනැගුණු සමාජ සබඳතාවලින් ඈත්වීමට සිදුවීමෙන් තමා හුදකලා වූ බවක්ද වැඩිහිටියන්ට දැනේ.

 


ආර්ථික ගැටලු
රැකියාවෙන් විශ්‍රාම ගැනීමත් සමගම තමන්ට මුදල් උපයා ගැනීමට හැකියාවක් නොමැති වෙයි. මෙසේ තමන් විසින් මුදල් උපයා ගැනීමට නොහැකි තත්ත්වයකට පත් වූ විට තම දරුවන් හෝ හිතමිතුරන් මත යැපීමටද සිදුවෙයි. වැඩිහිටියන්ට මානසික පීඩා ගෙන දීමට මෙයද හේතුවක්  වෙයි.

 


සබඳතා පවත්වා ගැනීම දුෂ්කරවීම
වැඩිහිටියන්ට සිදුවන ඇවිදීමේ අපහසුතා නිසා ඔවුන්ට නිවසින් බැහැර යාම සීමා වෙයි. ඒ නිසා වෙනදා මෙන් යහළුවන්, නෑදෑයින් හමුවීමට යාමේ බාධා පැමිණිය හැකියි. මානව සබඳතා යනු මානසික යහපැවැත්මට නැතුවම බැරි අංගයකි. පසුගිය කාලයේ සංචරණ සීමා ඉහිල් කළ අවස්ථාවන්හිදී පවා ඔවුන්ට නිවසින් බැහැර යාමට ඉඩක් නොලැබුණි. මේ කරුණුද වැඩිහිටියන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන්නට ඉඩ තිබේ.

 


බිරිඳ හෝ සැමියා මියයාම
තමන් සමග බොහෝ කාලයක් එකට දුක සැප බෙදාගෙන සිටි සැමියා හෝ බිරිඳ තමන්ගෙන් වෙන් වූ විටද එය තදින්ම මානසිකව බලපායි.

 


දරුවන් නිවසින් ඈත්වීම
උසස් අධ්‍යාපනය, රැකියාව වගේම විවාහවීම නිසාද දරුවන් දෙමවුපියන්ගෙන් වෙන්වෙයි. මේ අවස්ථාවේදී ‘හිස් වූ කැදැල්ලක’ තමන් තනි වූවාක් වැනි හැඟීමක් වැඩිහිටි මවුපියන්ට ඇති වේ.තමන්ට අයිතිව තිබූ දෙයක් අහිමිවීමක්, වියෝවීමක්, තනිකමක්, පාළුවක් හෝ තම දරුවන් පිළිබඳ බියක් වැඩිහිටියන්ට ඇති වේ.

 


කායික සෞඛ්‍ය ගැටලු
වයසට යාමත් සමග මස්පිඬුවල ප්‍රමාණය අඩුවිම, අස්ථි දිරායාම වැනි තත්ත්ව ඇති වේ. සන්ධි වේදනා, කොන්දේ කැක්කුම් නිසා වෙනදා මෙන් වේගයෙන් ඇවිදීමට, පඩිපෙළ නැගීමට හෝ බැසීිමට අසීරුතා ඇති විය හැකියි. පෙරට වඩා තමන්ට  ක්‍රියාශීලීවීමට නොහැකි වීම නිසා ඔවුන් සිත්තැවුලෙන් පසුවෙයි. මෙයද වැඩිහිටියන්ගේ යහපැවැත්මට අහිතකර ලෙස බලපායි.


වයස්ගත වන විට අපේ ශරීර ඉන්ද්‍රියයන්ගේ වෙනස්කම් සිදුවෙයි. ඒනිසා ඒවාගේ ක්‍රියාකාරිත්වයට බාධා පැමිණෙන අතර බෝ නොවන රෝග සෑදීමේ ප්‍රවණතාවක් ඇති වෙයි. මෙවැනි ශාරීරික රෝගාබාධ මගින් ඔවුන්ගේ මානසික යහපැවැත්ම දුර්වල කළ හැකියි. මානසික සෞඛ්‍යය සහ කායික සෞඛ්‍යය එකිනෙකට බද්ධ වී ඇති නිසා කායික සෞඛ්‍ය ගැටලු අයහපත් ලෙස මානසික සෞඛ්‍යයට බලපෑ හැකියි. බෝ නොවන රෝග වගේම බෝවන රෝග සඳහාත් වැඩිහිටි වියේ පසුවන්නන් වැඩි අවදානමක් පෙන්වයි. ඊට හේතුව වයසට යාමත් සමඟ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වන නිසයි. එවිට රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව අඩුවෙයි.  

 


හිංසන හා අතවර
වයසට යාමත් සමගම ඇතැම්හු විවිධාකාර වූ හිංසනයන්ට හා අතවරයන්ට මුහුණ දෙති. තරුණ දූ දරුවන් වයසට ගිය මවුපියන් මහ මඟ දමා යාම, ශාරීරික හා වාචික හිරිහැරයන්ට ලක් කිරීම, අද බොහෝ විට අසන්නට දකින්නට ලැබෙයි. මෙලෙස කායිකව මෙන්ම මානසිකවද වැඩිහිටියන් හිංසනයට ලක්වීමෙන් වැඩිහිටියන්ගේ මානසික යහපැවැත්මද දුර්වල විය හැකියි.

 


මානසික යහපැවැත්ම වැඩි කරගන්න හැටි 
අන් අය රැකබලා ගන්න මුනුපුරු මිනිබිරියන් බලා ගැනීම, තම සැමියා හෝ බිරිඳ රැකබලා ගැනීම මගින් ඒ අය සමග බැඳීම් ශක්තිමත් වන අතර තනි වූ බවක් නොදැනේ. මුනුපුරු මිනිබිරියන් සමග සිටීමේදී ඔවුන්ගේ ජීවිතවල සතුටුදායක අවස්ථා විඳ ගැනීමටද ඉඩ සැලසේ. තමන්ගේ දැනුම ඒ අයට ලබා දීමෙන් විශාල මානසික සුවයක් ලබා ගත හැකියි. 
 

සබඳතා පවත්වා ගන්න
පෙර තිබූ සබඳතා ශක්තිමත් කර ගැනීම මෙන්ම, අලුතින් සබඳතා ඇති කර ගැනීමටත් අවශ්‍ය තරම් කාලය තිබේ. තමන්ගේ ජීවිතයට වැදගත් යැයි හැඟෙන අය සමග සබඳතා පවත්වා ගැනීමට කාලය වැය කළහොත් එයින් බොහෝ ප්‍රතිලාභ ලබා ගත හැකිය. මානව සබඳතා මානසික යහපැවැත්මට බොහෝ සේ ඉවහල් වෙයි. දැන් පෙරට වඩා ලෝකය වෙනස් වී ඇත්දැයි වැඩිහිටියන්ට සිතෙනු ඇත. එහෙත් නව තාක්ෂණයත් සමගම වැඩිහිටියනුත් ඉදිරියට යා යුතුයි.
 

සමාජසේවා කටයුතුවල නිරත වෙන්න
මේ වන විට ප්‍රදේශයේ විවිධාකාර වූ සමිති සමාගම් තිබෙන්නට පුළුවනි. එවැනි සමිතිවලට බැඳී කටයුතු කරන්න. ප්‍රදේශයේ කෙරෙන පොදු කටයුතුවලට උදව් කරන්න. මෙයින් අන් අයට සෙතක් සැලසෙන අතර තමන්ටද මානසික තෘප්තියක් ලැබේ.
 

සතුට ලැබෙන දේ කරන්න
ආගමික වතාවත්වල යෙදීම, ගෙවතු වගාව, මල් වැවීම, මැහුම් ගෙතුම් වැඩ, ලේඛන කටයුතු (කවි ලිවීම ආදිය) සංගීතයට සවන් දීම, සුරතල් සතුන් ඇති කිරීම ආදි දේ මගින් මානසික සුවය නංවා ගත හැකියි. ඒවාගේම එම සතුන් සහායකයින් ලෙසද කටයුතු කරන ඇති. ශාරීරිකව ක්‍රියාශීලී වෙන්න මෙයින් කියැවෙන්නේ ව්‍යායාම කිරීම සමණක් නොවේ. එක එක වැඩිහිටියාගේ ශාරීරික සෞඛ්‍යයට සහ චලන හැකියාවන්ට ගැළපෙන පරිදි සුදුසු ක්‍රියාකාරකම්වල යෙදෙන්න.


 සුබෝධිනී පෙරේරා


 

සියල්ල අහිමි වුවත්  ‘හැර නොයා රකින’ ප්‍රේමය Read Previous

සියල්ල අහිමි වුවත් ‘හැර නොයා රකින’ ප්‍රේමය

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ Read Next

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

Realted Post

Leave a comment