සරසවි ජීවිතය මේ තරම් වදයක් වුණේ කොහොමද?
රටක සිටින ශිෂ්‍ය ප්‍රජාවගෙන් විශ්ව විද්‍යාල වරම ලැබෙන්නේ ඉතාම සීමිත පිරිසකට ය. වසර දහතුනක් පුරා පාසල් අධ්‍යාපනය ලබා කඩඉම් විභාග කිහිපයකටම මුහුණ දී අවසානය සනිටුහන් කරන විශ්ව විද්‍යාලය බොහෝදෙනෙකුට සිහිනයකි.
විශ්ව විද්‍යාලය පිළිබඳව බොහෝ දෙනකු තුළ විවිධ මතවාද තිබුණත් ගතවුණු සති කිහිපය තුළ ඒ සම්බන්ධව මාධ්‍ය වාර්තා කළේ වෙනම පැතිකඩකි. ඒ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන තරුණයන් කිහිප දෙනෙකුගේ අතුරුදහන් වීම සහ සියදිවි නසා ගැනීමයි. උසස් අධ්‍යාපනය ලබන්නට පැමිණි මේ දරුවන්ට මෙවැනි ඉරණමක් අත් වූයේ ඇයිද යන්න පොදු සමාජයටම ගැටලුවකි.
අධ්‍යාපන ක්‍රමයේ වරදක්ද?
විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන් මෙවැනි ඛේදවාචකවලට ලක්වීමට ප්‍රධානම හේතුව අපේ රට තුළ පවතින අධ්‍යාපනය ක්‍රමවේදයයි. තවමත් මෙහි ක්‍රියාත්මක වන්නේ පැරණිම බටහිර අධ්‍යාපන ක්‍රමය සහ එහි දිගුවකි. මෙම ක්‍රමවේදය සෑදී ඇත්තේ අපේ රටේ සංස්කෘතියට, මහ පොළොවට, ජන විඥානයට, පරිසරයට අවශ්‍ය කරන සවිඥානික බවින් තොරවය.
ආර්ථික, සමාජ, සංස්කෘතික ප්‍රකාශනවලට බරපතළම ලෙස වගකිව යුත්තේ අද පවතින අධ්‍යාපන ක්‍රමවේදයයි. එම ක්‍රමවේදය සකස් කළ යුත්තේ නවීන ලෝක තත්ත්වය සහ ශ්‍රී ලාංකේය අනන්‍යතාව තේරුම්ගෙනය. වසර 70 ක කාලයක සිට සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස දකින අපේ රටට එම ඉරණම අත්වීමට ප්‍රධාන හේතුව අපට අවශ්‍ය සංවර්ධන ඉලක්ක කරා යාමට අවශ්‍ය කරන අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් නොවීමයි. රටක දියුණුව පවතින්නේ අධ්‍යාපන ක්‍රමය මත වුවද තවමත් අපේ රට තුළ එය ක්‍රියාත්මක වන්නේ පැරණි අධ්‍යාපන ක්‍රමයට යම් යම් සංස්කරණ එකතු කරමිනි.
ඉවරයක් නැති විභාග තරගය
අද වනවිට ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්ව විද්‍යාලය යන කොටස් හතරෙහිම ඇත්තේ දැඩි තරගකාරී බවකි. මෙම අධ්‍යාපන ක්‍රමවේදය තුළ ලාංකේය අනන්‍යතාවට ගැළපෙන පරිදි යහපත් මොළයක් මෙන්ම හදවතක් ඇති පුරවැසියකු බිහි නොකරයි.
අද වනවිට අපේ රට තුළ ඇති දේශපාලන, ආර්ථික, සංස්කෘතික, සමාජ ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව ජනතාව සවිඥානික නොවීමයි. විශාල ප්‍රතිසංස්කරණයක් තුළින් ගැඹුරු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් තුළින් ලෝක, සමාජ, දේශීය, සංස්කෘතික, ආගමික තත්ත්ව තේරුම්ගෙන මොළය සහ හදවත දෙකම ඇති දරුවකු බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් නොසාදනතාක් අපේ රට සදාකාලික සංවර්ධනය වෙමින් පවතින රටකි.
සොබාසෞන්දර්ය මෙන්ම සංස්කෘතික වටිනාකම්වලින් පිරුණු අපේ රටේ එම සම්පත් කොතෙක් දුර වෛද්‍ය විද්‍යාලවලට, ඉංජිනේරු පීඨවලට, කළමනාකරණ පීඨවලට සමාජ විද්‍යා පීඨවලට රැගෙන විත් තිබෙනවාද යන්න ගැටලුවකි. එමෙන්ම ලංකාවේ ජන විඥානය තේරුම් ගත් ශිෂ්‍ය පරම්පරාවක් මෙම තැන්වලින් බිහි වෙනවාද යන්න ද ගැටලුවකි. බොහෝ උපාධි ලාංකීය සමාජ තත්ත්වය සමග ගත් කල අහස පොළොව වැනිය.
අධ්‍යාපන ක්‍රමවේදය දැඩි තරගකාරීය. පෙර පාසලේ සිටම ඉලක්කය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාදීමය. දරුවා වෛද්‍යවරයකු, ඉංජිනේරුවකු බවට පත් කිරීමටය. මේ තරගකාරීබවෙන් බිහිවන්නේ තාක්ෂණික දරුවෙකි. එතුළින් දරුවා තුළ හොඳ පෞරුෂයක් බිහි නොවේ. ඉතාමත් හොඳ පෞරුෂයක් ඇති පුරවැසියකු බිහි කිරීමට නම් පදනම දැමිය යුත්තේ ළමා වියේදීමය. ළමා විය තුළ ලබාදෙන ආචාර ධර්ම, ගුණ ධර්ම, සමාජීය තත්ත්වය ගැන නිවැරදි ක්‍රමවේද තුළ දරුවා නිවැරදි මාර්ගය තෝරා ගනී. දරුවකුගේ මනස වැඩෙන්නට බාහිර ලෝකය පිළිබඳ අවබෝධය වැදගත් ය.
ක්ෂණික තීන්දු ගන්නේ ඇයි?
පවතින මොළයට අලුත් මොළයක් නිවැරදි ක්‍රමවේදයක් තුළ බද්ධ කළ හැකිබව ස්නායු මනෝ විද්‍යාවේ සඳහන් වේ. එය ක්‍රමයෙන් ගොඩනැගිය යුත්තේ කුඩා අවධියේදීමය. අපේ සංස්කෘතියට, ලෝක තත්ත්වයට ගැළපෙන ලෙස හොඳ පුරවැසියකු බිහි කිරීමට අවශ්‍ය දෑ මෙම තරගකාරී අධ්‍යාපන ක්‍රමයෙන් නොලැබෙන බව සැකයකි.
මේ ක්‍රමවේදවලින් බිහිවන්නේ ක්ෂණික තීන්දු තීරණ ගන්නා ආත්මාර්ථකාමී දරුවෙකි. උපාධියක් ලැබුවද සුදුසුකම් සැපිරුවද සමාජයට ගිය පසු එම තත්ත්වය තේරුම්ගෙන ඊට ගැළපෙන පරිදි ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය පෞරුෂය අධ්‍යාපන ක්‍රමය තුළ ගොඩනැගී නැත.
නිදහසක් නැති අධ්‍යාපනය
ලෝකයේ දියුණු රටවල අති ධාවනකාරී අධ්‍යාපන ක්‍රමයක් හඳුනාගත නොහැක. අපේ රට තුළ නිදහස් මානසිකත්වයකින් කැමති ආගමක්, සංස්කෘතියක් අවබෝධ කරගෙන නිදහස් අධ්‍යාපනයක් ලැබීමට පාසලේ හෝ විශ්ව විද්‍යාලය තුළ අවකාශය තිබේද යන්න සැක සහිතය.
විශේෂයෙන් විශ්ව විද්‍යාලය තුළ කැමැති ආගමක්, චින්තනයක්, දේශපාලනික මතවාදයක්, ආගමික විශ්වාසයක්, ලිංගිකත්වයක් දරමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නිදහස කොතෙක් දුරට තිබේ ද යන්න සැක සහිතය. මේ සෑම විශ්ව විද්‍යාලයකම සෘජුව හෝ වක්‍රව ශිෂ්‍ය නිදහස සීමාකර ඇත. එයද නවක වදයකි.
අධ්‍යාපන පද්ධතියත්, විශ්ව විද්‍යාල පද්ධතියත්, ලෝක තත්ත්වයත්, දේශීය තත්ත්වයත් තේරුම්ගෙන ඊට ගැළපෙන ලෙස විශාල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක්, පවතින අධ්‍යාපන ක්‍රමවේදයට රැගෙන ඒමේ දැඩි අවශ්‍යතාවක් පවතී.
පෞරුෂයක් ඇති දරුවෙක්
අදහස් දැක්වීම -: කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය |
ලෝකය, දේශීයත්වය තේරුම් නොගෙන විභාග ජය ගැනීම යන මානසිකත්වයෙන් පෙළෙන ළමයකුගේ පෞරුෂය සංවර්ධනය වී නැත. ඔවුන්ට ස්වාභාවිකව ඇතිවන ගැටලුවලට මුහුණ දීමේ ගැටලුවක් ඇත. එවැනි දරුවන්ට කුමන හැදෑරීම් කළද ගැටලු පැන නගී. සියදිවි හානි කරගැනීමට පෙලඹෙන්නේ එවිටය. ළමයින් පමණක් නොව මනෝ විද්‍යාව හැදෑරූ මහාචාර්යවරුන් පවා සිය දිවි හානි කරගත් අවස්ථා ඇත.
පුද්ගලයකු තුළ ආත්මාර්ථය තිබිය යුතුය. එය සෙසු පිරිස්, සදාචාරය ඉක්මවා යන දැඩි ආත්මාර්ථකාමි තත්ත්වයකට නොයා යුතුය. එලෙසම ආත්මාර්ථකාමී බව යම් ආකාරයකට සදාචාර පසුබිම පවත්වාගෙන යන අතරේ හීන වුවහොත් ගැටලුවකි.
ගැඹුරු ජීවිත පරිඥානයක් ඇති සම්පත් දායකයන් මොළය සහ හදවත යන දෙආකාරයෙන්ම ශක්තිමත් වූ පෝෂණය වූ මහාචාර්යවරු, ආචාර්යවරු, ගුරුවරු ලෙස ඒ ඒ තැන්වලට යොමුවිය යුතුය. පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියම ලෝකයට, සමාජයට ගැළපෙන ලෙස සකස් නොවන තාක් තව වසර 70කින් පසුව ඉපදුනද මේ තත්ත්වය ම දැක බලාගත හැකිය.
අද වනවිට විශ්ව විද්‍යාල දරුවන්ද මනෝ විද්‍යාව හදාරති. එහෙත් එම විෂය හැදෑරීමට තෝරා ගන්නේ පෞරුෂය සංවර්ධනය වී හෝ අවබෝධයකින් නොවේ. තරගකාරීත්වය මත තෝරා ගනී. උගත්කම, දැනුම සමග යම් කරුණු කාරණා අවබෝධ කර ගත්තද අධ්‍යාපන ක්‍රියාවලිය තුළින් ගොඩනගන ගැඹුරු පෞරුෂය සහ ජීවිත අවඛෝධය නැත. කරුණු කාරණා සැබෑ ලෙස තේරුම්ගෙන ප්‍රායෝගිකව භාවිතා කිරීමට ප්‍රඥාව නැත. උගත්කමට සාපේක්ෂව සිතාමතා බුද්ධියෙන් කටයුතු කළද එයද සීමා වේ. තමාට ගැටලුවක් පැමිණි විටදී එයට මුහුණ දීමේදී උත්තර සෙවීමේදී ආත්මාර්ථකාමීව, කුහකකමින් එය ජයගැනීමට උත්සාහ කරයි. සංකීර්ණ ප්‍රශ්නවලට උත්තර සොයනවා වෙනුවට මේ තරම් දුක් විඳිය යුතු ද සිතා ජීවිතයෙන් පලා යාමට උත්සාහ කරන අතර සිය දිවි හානී කරගැනීමටද පෙලඹෙයි. එය තරගකාරී අධ්‍යාපන ක්‍රමයෙන් ආත්මාර්ථකාමී දරුවකු බිහිකිරීමේ අවසන් ප්‍රතිඵලය නොවේද? මෙම ප්‍රවණතාව තරුණ පරපුර අතර බහුලය.
ජීවිතේ තේරුම්ගන්න
මඩ වළකට නෙළුම් බීජයක් දැමීමෙන් එය ක්‍රමයෙන් මුල්, කොළ ආදිය වැඩී මනාවූ නෙළුම් පැළයක් බිහීවී වතුරේ නොගෑවෙමින් ඉන්නට මල් ද පුබුදුවයි. මඩ වළක් විලක් කිරීමට නෙළුම් බීජයකට හැකිය. ජීවිතයේ යථාර්ථය එයයි. වර්තමානය තේරුම් ගෙන ජීවත්විය යුතුය. මේ මොහොත පිළිබඳව අවබෝධයෙන් සිටිය යුතුය. කළ නොකළ දෑ පිළිබඳව තෝරා බේරාගෙන තම පෞරුෂ වර්ධනය කර ගැනීමට දරුවකුට හැකියාව තිබිය යුතුය.
දරුවන්ට ඇහුම්කම් දෙන්න
දරුවන්ට නිරන්තරයෙන් ඇහුම්කම් දිය යුතුය. වර්තමානය වන විට පාසල්, විශ්ව විද්‍යාල තුළ උපදේශන සේවා ක්‍රියාත්මක වේ. ඇතැම් විට ඒවා තුළ කටයුතු කරන්නේ වෘත්තීය ක්‍රියාකාරීත්වයකින් පුරුදු පුහුණු කළ අය විය හැකිය. උපදේශන සේවා සඳහා සැබෑ ලෙස සහ වේදනාව සහ සහකම්පනයෙන් ඇහුම්කම්දීමට හැකි පිරිස් බඳවාගැනීමට කටයුතු කළ යුතුය.
උපදේශන සේවය ලබාගැනීමට පැමිණෙන දරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට ඔවුන් බැඳී සිටීම වැදගත්ය. උපදේශන සේවා ලබා දෙන ගුරුවරයා විනය කමිටුවට ඇතුළත් නොවිය යුතුය. ගැඹුරු ජීවන දැක්මක් සහිත පිරිසක් උපදේශන සේවය සිදුකරන්නේ නම් තමා වටා සිටින දරුවන්ගේ හැසිරීම් මතද ඔවුන්ගේ ගැටලු හඳුනාගත හැකිය.
සුජිත් ප්‍රසංග
Leave a comment