සාරිය ගැටලුවක් වුණේ කොහොමද?
ඕනෑම රටක, සමාජයක අනාගතය යනුවෙන් හැඳින්වෙන්නේ දරු පරපුරයි. එවන් වූ දරු පරපුරක් රටට සමාජයට බිහි කිරීමට සවිය දෙන්නේ ගුරු පරපුරයි. මේ දෙකොට්ඨාසයම ගහට පොත්ත මෙන් බැඳී සිටින්නේ අද ඊයේ සිට නොවේ. අනාදිමත් කාලයක සිටම පැවත එන ගුරු ගෝල සබඳතා සමාජ සුබ සිද්ධිය උදෙසා මනා මෙහෙවරක් ඉටු කළද අද දවසේ බොහෝදෙනකු මේ දෙකොට්ඨාසය පිළිබඳව කතා කරන්නේ වෙනත් මානයකිනි. ඒ ගුරු සාරිය, අධ්‍යාපනික උපකරණ හා ආහාර මිල අධිකවීමෙන් දවසින් දවස අසරණ වන සිසු පරපුරේ ඛේදවාචකය ගැනයි. රටක් ලෙස, සමාජයක් ලෙස මෙවැනි වකවානුවක මුල් තැන දිය යුත්තේ ගුරු සාරිය වෙනස් කිරීමටද? එසේ නැතිනම් දරුවන්ගේ පෝෂණය, අධ්‍යාපනය ඉහළ නැංවීමද යන්න පිළිබඳව සිරිකතට ලැබුණු අදහස් කිහිපයකි මේ,
සොයන්න ඕනෑ පාසල්වල තිබෙන අඩුපාඩු ගැනයි
මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර
රටක අනාගතය තමයි අපේ දරුවො. ඒ දරුවන්ට යහපත් මනසකින් අධ්‍යාපනය හදාරන්න නම් පාසල තමයි මූලිකත්වය ගතයුත්තේ. මේ වෙද්දි අපේ රටේ පාසල් පද්ධතිය තුළ මොනතරම් අඩුපාඩු තියෙනවද? දරුවෙකුට වාඩිවෙන්න ඩෙස්ක්, පුටු නැහැ. පන්ති කාමර ගරා වැටිලා. වියළි කලාපවල ඉන්න දරුවන්ට තිබහට බොන්න වතුර ටිකක් පාසල ඇතුළෙ නැහැ. වැසිකිළි යන්නේ කැලෑවට. ඉගෙනගන්න පොත පත නෑ. ඒවායේ අහස උසට මිල නැගලා. කඩදාසි මිල ඉහළ ගිහින් නිසා අමතර පොතක් පත්තරයක් කියවන්න නිකමටවත් ලැබෙන්නෙ නැති පාසල් මොන තරම් තියෙනවද? හොඳ මිනිස්සු බිහිවෙන්න නම් හොඳ අධ්‍යාපනයක් දරුවන්ට ලබාදිය යුතුයි. මේ වෙද්දි ඒ සියල්ල පැත්තකට දාලා ඇඳුමක් අල්ලගෙන බොරුවට දඟලනවා.
මේ වෙලාවෙ අපි හැමෝම සිතිය යුත්තේ දරුවාට අධ්‍යාපනය, පෝෂණය ලබා දෙන වැඩපිළිවෙළවල් පමණයි. එහෙම නොවුණොත් අනාගතයක් ගැන සිතන්නවත් බෑ.
හැමදේටම කලින් ළමයින්ගේ බඩ පුරවන්න ඕනෑ
විශ්‍රාමික ආචාරිනී ලක්ෂ්මී විජේවර්ධන
මේ කාරණා තුන එකිනෙක විමසා බැලුවොත් මගේ නම් අංක එක දරුවන්ගේ කෑම ප්‍රශ්නයයි. බුදු හාමුදුරුවෝ වුණත් කිසිම වෙලාවක බඩගින්නේ හිටපු කෙනෙකුට කන්න නොදී ධර්මය දේශණා කළේ නැහැනෙ. ඉතින් ගුරුවරු කොහොමද බඩගින්නේ ඉන්න දරුවකුට උගන්වන්නෙ. දරුවෙකුගෙ මුලින්ම පුරවන්න ඕනෑ බඩ. ඒක කරන්නේ නැතිව අධ්‍යාපනය ලබාදෙන්න බෑ. මොකද මන්ද පෝෂණය වැලඳුනොත් දරුවන්ගේ මොළය පවා දුර්වල වෙනවා. එහෙම වුණොත් අනාගතයේ බිහිවෙන්නෙ බුද්ධියෙන් අඩු මිනිසුන් පිරිසක්
ඒ නිසා මුලින්ම කරන්න ඕනෑ පාසල් කමිටු, සංවර්ධන සමිති, වෙනත් ආධාර හරහා දරුවන්ට කෑම වේලක් දෙන ක්‍රමවේදයක් සකස් කිරීමයි. ඒ වගේම තමයි අධ්‍යාපනය. අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තට අද ඒක සීමිතයි. මේ වෙද්දි පාසල් උපකරණ මිල අසීමිත ලෙස ඉහළ ගිහින්. මේ මිල මවුපියන්ට දරාගන්න අමාරුයි. එක ගෙදර දෙන්නා තුන්දෙනා පාසල් යනවා. අපේ රටේ අම්මා, තාත්තා නැති දරුවො ඉන්නවා. ඒ අය අකුරක් ඉගෙනගන්න ඕනැ නැද්ද? බොහෝ දක්ෂ දරුවො ඉන්නවා දුෂ්කර පාසල්වල. ඒ පිරිස් කිසිම බාහිර වැඩකට සම්බන්ධ වෙන්නෙ නැත්තෙ සල්ලි නැති නිසා. මෙහෙම ගියොත් අනාගතයේ ඉතිරි වන්නේ මෝඩයො ටිකක්. ඒ අස්සේ සාරිය එපා කියලත් කියනවා. මම නම් හිතන්නෙ ගුරුවරියට වෘත්තීය ගරුත්වයක් තියෙන්න ඕනෑ. සාරි මිල වැඩියි, කරදරයි කියන එකට මම එකඟ නෑ. මොකද අපේ කාලයේ මොනතරම් දුෂ්කරතා තිබුණද? සාරි දුන්නේ දිනුම් ඇදලා. අනෙක ඉහළ පන්තිවල ඉන්න සමහර ළමයි මෙල්ල කරන්න අමාරුයි. ළමයි නරකයි කියනවා නොවෙයි. දඟයි. ඔවුන් හරි පාරට ගන්න ගුරුවරයා ආදර්ශමත් විය යුතුයි. ගුරුවරියකට සාරිය අනිවාර්ය විය යුතුයි. අනිත් එක මේ ඒ ගැන කතා කළ යුතු වෙලාවක් නෙමෙයි. දරුවන්ට පොත්පත් ටික අරගන්න විදියක්, කන්න වේලක් දෙන විදියක් බැලිය යුතුයි.
මුල්තැන දෙන්න ඕනෑ දරුවන්ගේ පෝෂණයට සහ අධ්‍යාපනයට
හිටපු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා ප්‍රියාණි එස්. විජේසිංහ
ගුරුවරුන් සහ දරුවන් අතර තියෙන බැඳීම මෙතෙකැයි කියන්න බැහැ. ඕනෑම දරුවෙක් මවකගෙන් පසු ඉස්සෙල්ලම ළංවෙන්නේ ගුරුවරියට. ඒ නිසා තමයි ඇයට ගුරු මව කියන්නෙ. ඒ ගෞරවය තියාගන්න නම් ගුරුවරියකට සුදුසු ඇඳුම තමයි සාරිය හෝ ඔසරිය. නමුත් මේ වෙලාවෙ අපි කටයුතු කරන්න ඕනෑ දරුවන්ට උගන්වන්න. හොඳ පෝෂණයක් දෙන්න. ඒ දෙක හරියට ලැබුණෙ නැත්නම් අපේ රටේ දරුවන්ගෙ අනාගතයට මොනවා වේදැයි හිතාගන්න බෑ. අපේ රටේ තාම තියෙන්නෙ පාරක ගුරුවරයෙක් දැක්කත් දුවගෙන ඇවිත් වඳින සම්ප්‍රදායක්. ඒ ගෞරවය අදටත් එහෙමමයි. මෙතැනදි වෙනත් ඇඳුම් හෙළා දකිනවා නෙමෙයි. සමහර වෙලාවට ක්‍රීඩා කටයුතු වගේ දේවල්වලදි ගුරුවරිය පිට්ටනියට සුදුසු ඇඳුම් අඳිනවා අප දැක තියෙනවා.
ඇඳුම තෝරාගත යුත්තේ අවස්ථාව අනුවයි. ඒ නිසා මම පෞද්ගලිකවම ගුරුවරිය සාරියෙන්, ඔසරියෙන් සැරසෙනවාට කැමතියි. මේ වෙලාවෙ සෑම පාර්ශ්වයක්ම ක්‍රියා කළ යුත්තේ දරුවන්ගේ අධ්‍යාපනය, පෝෂණය නංවන්න තමන්ට හැකි ආකාරයෙන් යම් වැඩපිළිවෙළක් සකස් කරදීමටයි.
ඇඳුමේ ප්‍රමිතියක් තිබිය යුතුයි
මීරිගම ඩී.එස්. සේනානායක ජාතික පාසලේ විශ්‍රාමලත් විදුහල්පති ලෙස්ලි තිලකවර්ධන
ගුරු වෘත්තියේ අනෙක් වෘත්තීන්වලට වඩා වෙනස්ම අනන්‍යතාවක් තිබෙනවා.එ තැනදී ඇඳුමත් වැදගත්. ගුරු ඇඳුම වුණත් කාලයෙන් කාලයට වෙනස් වෙලා යම් ප්‍රමිතියකට සකස් වී තිබෙනවා. එය නිර්මාණය වී තිබෙන්නෙත් දකින කෙනාගෙ ගෞරවයට ලක්වන විදියටයි කියා මට සිතෙන්නෙ. දරුවකුගේ පාසල් නිල ඇඳුමේ වුණත් ප්‍රමිතියක් තියෙනවා. ගුරුවරියක් සාරිය, ඔසරියට පිටින් ගිහින් වෙන ඇඳුමක් අඳිනවා නම් එහි ප්‍රමිතියක් හදාගන්නෙ කොහොමද? තම තමන්ගේ වත්කම් අනුව ඒවා වෙනස් වේවි. ඇත්තටම මේවා ගැටලු නෙමෙයි. අද ගැටලුව තියෙන්නෙ දරුවෙක් පාසල් යවන්නෙ කොහොමද කියන එක. පොත පත, කෑම බීම, බස් වියදම් එක්ක පාසලෙන් ඉල්ලන විවිධ ආධාර එක්ක අද මවුපියන්ට ඔළුව උස්සගන්නවත් බෑ. මේ දේවල්වලට තමයි රජයෙන් විසඳුම් ලබා දිය යුත්තේ. මුද්‍රණ සංස්ථාව හරහා දරුවන්ට සහන මිලකටවත් පොත් පත් ලබාදිය යුතුයි. අතීතයේ කිරි, බනිස් දුන්නා වගේ පෝෂ්‍යදායී ආහාර වේලක් දරුවන්ට දෙන්න ක්‍රම සෑදිය යුතුයි. විසඳුම් සෙවිය යුත්තේ මේ දේවල්වලට මිසක් ඇඳුම් පැලඳුම්වලට නෙමෙයි.
ඇඳුමට වඩා කතා කරන්න මොනතරම් දේවල් තියෙනවද?
ජාතික තරුණ සේවා සභාවේ කොළොන්නාව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය භාර නිලධාරිනී, කොළඹ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරිනී වසන්තා ගොඩගේ
මේ දවස්වල පත්තරයක් ගත්තත් ටී.වී.එක දැම්මත් බලන්න අහන්න තියෙන්නෙ සාරි ප්‍රශ්නයම තමයි. ඇත්තටම ඒක මේ තරම් කතා කළ යුතු දෙයක් නෙමෙයි. මොකද අපේ රටට අනුව සාරිය, ඔසරිය අලුත් දෙයක් නෙමෙයි. එය අනාදිමත් කාලයක සිටම එන දෙයක්. ඒ තුළ අභිමානයක් තියෙනවා. ආකර්ෂණයක් තියෙනවා. ඒ නිසා ගුරු භූමිකාවට ඔබින්නෙම සාරිය, ඔසරිය කියලයි මට හිතෙන්නෙ. අපිටත් තියෙන්නෙ අධ්‍යාපනික පරිසරයක්. අපේ දරුවන්ටත් ප්‍රශ්න තියෙනවා. පාඨමාලා ගාස්තු ගෙවාගන්න බෑ. බස් ගාස්තු නෑ. උදේ රැස්වීමෙදි දරුවො කලන්තෙ හැදෙනවා. මේ වගේ වාතාවරණයක් තමයි අපිටත් තියෙන්නෙ. ඒ නිසා මේ වගේ කාලයකදි අපි කතා කරන්න ඕනෑ ඇඳුමක් ගැන නෙමෙයි .මොකද අපිත් අම්මලා. රජයේ සේවිකාවො. අපේ දරුවන්ටත් පොතපත අරන්දෙන එක විශාල අභියෝගයක්. අපේ අධ්‍යාපන ආයතනවල ඉන්නේ නව යොවුන්වියේ දරුවො. ඒ දරුවන්ට විවිධ අඟහිඟකම් තිබුණත් ඒවා කියන්න ලැජ්ජයි. අධ්‍යාපන ආයතනවල අඩුපාඩු පිරිලා තියෙද්දි ඇඳුමක් ගැන ඕනෑවට වඩා කතා කරනවා. මේ දේවල්වලට රජයෙන් වැඩපිළිවෙළක් හදන්න ඕනෑ. එහෙම නැතිවුණොත් අනාගත දරු පරපුරට යන එනමං නැතිවෙනවා.
සුජිත් ප්‍රසංග
Leave a comment