සාහිත්‍ය මාසය හැදුණේ මෙහෙමයි

 

පොතපතට ආදරය කරන, සාහිත්‍ය කෘතිවලට පෙම් බඳින අලුත් දැනුම සොයා යන කාටත් සැප්තැම්බරය යනු සුවිශේෂී මාසයකි. දැනුම බෙදාගන්නා, නිර්මාණ ඇගයීමට පාත්‍රවන, විශිෂ්ට නිර්මාණකරුවන්ගේ හැකියාවන් කරළියට රැගෙන එන සාහිත්‍ය මාසය ආරම්භ වී තිබේ. මේ කාලයේ දී සාහිත්‍ය හා සම්බන්ධ ක්‍රියාකාරකම් රැසක් සිදු වේ. ඒ නිසාම පෞද්ගලික අංශයේ වගේම රාජ්‍ය අංශයේ මැදිහත් වීමෙන් මේ නිර්මාණ විවිධාකාරයෙන් ඇගයීමට ලක්වීම මේ මාසයේදී සිදු වේ. රාජ්‍යය සාහිත්‍ය උලෙළ, විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළ, ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළ, ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ සහ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඒ අතර කැපී පෙනේ. කොහොමද මේ සාහිත්‍ය මාසය නිර්මාණය වෙන්නේ? එහි ඉදිරි සාර්ථකත්වය අනාගතයට බලපාන්නේ කොහොමද? මේ ගැන මේ සාහිත්‍ය මාසයේ කතා කළ යුතුමයි. ඒ ගැන සිරිකත අප හා අදහස් දැක්වූයේ ප්‍රවීණ සාහිත්‍යධර, සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතායි.


සාහිත්‍ය මාසයක් නිර්මාණය වුණේ කොහොමද?
1957, 1958 වර්ෂවලදී ශ්‍රී ලංකා රජයේ සංස්කෘතික අමාත්‍යාංශයක් පිහිටවූවා. පිහිටෙව්වා විතරක්ම නොවෙයි එහි ක්‍රියාකලාපය මහජනතාවට දැනගන්න ඉඩ හැරියා. කලා මණ්ඩලය කියලා අනුමණ්ඩලයක්, සාහිත්‍ය මණ්ඩලය, සංගීත, සහ ජනශ්‍රැති පර්යේෂණ මණ්ඩලය වශයෙන් මණ්ඩල කිහිපයක් ආරම්භ කළා. මේවට දැන් කියන්නේ උපදේශක මණ්ඩල කියලා. මේ කාලයේ ආනන්ද කුමාරස්වාමී මහත්තයා දිවංගත එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයාට කියලා තිබෙනවා පංචමහා බලවේගයක් වන සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන බලවේගය වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙන්න නම් රටක සාහිත්‍ය, කලා පිළිබඳ මනා සාකච්ඡාවක් ඇතිවිය යුතුයි කියලා. ඒ කාලයේ  කැබිනට් මණ්ඩලයේ හිටපු පිරිසෙන් ප්‍රමුඛව කටයුතු කළ මැති ඇමතිවරුන්ට මේ කාරණය වැටහුණා. ඉන්පසු භික්ෂූන් වහන්සේලා, වෛද්‍යවරු, ගොවීන්, කම්කරුවන්, ගුරුවරුන් එකතු කරගෙන ඔවුන්ගෙන් මෙතෙක් මේ රටට සිදු වී ඇති කාර්යභාරයත් අනාගතයේදී සිදුවිය යුතු දේවල් මොනවද කියන එකත් සාකච්ඡා කරන්න කථිකාවතක් ආරම්භ කළා. එහි ප්‍රථම පියවර වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර නමින් හඳුන්වන සිරිපැරකුම්බා පිරිවෙනේ විශාල උත්සවයක් පැවැත්වුවා. මේ උත්සවයේදී හොඳ පොත්පත් සහ පුවත්පත් ලිපි ලියූ ලේඛකයින්, ඒ වගේම කෝට්ටේ යුගයේ බිහි වූ සාහිත්‍ය මොනවාද? යන කාර්ණා ගැන සාකච්ඡා කිරීමට වැඩිහිටි උදවියට ආරාධනා කෙරුණා. 


මෙහිදී මුලින්ම වගේ සාකච්ඡා කළේ මහාචාර්ය ගුණපාල මලලසේකර. ඒ වගේම මහා පුවත්පත් කලාවේදියකු වූ චන්ද්‍රරත්න මානවසිංහ මහතාත් මේ කාර්යයට එකතුකරගෙන තිබෙනවා. විද්‍යෝදය පිරිවෙනත්, විද්‍යාලංකාර පිරිවෙනත් යන පිරිවෙන් දෙකේ හිටපු උගත් ස්වාමීන් වහන්සේලාටත් එම කටයුත්තට ආරාධනා කර තිබෙනවා. ඒ අතර ‘සාහිත්‍ය සඟරා’ කියන නමින් සඟරාවකුත් නිකුත් කළා. කලා මණ්ඩලයෙන් කලා සඟරාව කියලා සඟරාවකුත් නිකුත් කළා. දැන් මේ හැමදෙයක්ම සාර්ථකවෙන ලකුණු පෙනෙන්න තිබුණා. ඒ වගේම ගුරුවරු මේවා ඉගෙන ගැනීිමට දැඩි ආශාවක්  දැක්වුවා. ඒ සමග ආගමික භේදයකින් තොරව සාහිත්‍ය පිළිබඳ රටපුරා උද්යෝගයක් ඇතිවුණා.


ඒ නිසා ගුරුවරු සාහිත්‍ය දිනයට ඒ උත්සව පැවැත්වෙන ස්ථානයට දරුවන් කැඳවාගෙන ආවා. ඒ ආවාම ගුරුවරුන්ට වගේම දරුවන්ටත් පැරණි වටිනා පොතපත දැකගන්න ලැබුණා. ඒ සමග ජනතාව අතර සාහිත්‍ය පුනර්ජීවයක් ඇතිවුණා. ඒ පුනර්ජීවනය මාසෙකින් අවුරුද්දකින් අවසන් නොකර මු`ඵ රටේම හැමදාම පවතින ලෙස පවත්වාගෙන යන්නේ කොහොමද කියලා කථිකා කරද්දි, සංස්කෘතික අමාත්‍යාංශයේ සාහිත්‍ය මණ්ඩලය, හිටපු නිලධාරීන් පොත් පිළිබඳ නව උනන්දුවක් ඇතිවිය යුතු යැයි කියා සිටියා. මේ උනන්දුව විශ්වවිද්‍යාලවල සිංහල අධ්‍යයනය අංශවලට, ඉතිහාස අංශවලට, පුරාවිද්‍යා අංශවලට ඇතු`ඵ වුණා. ඒ නිසා තුලනාත්මක සාහිත්‍ය අධ්‍යයනය කියලා විෂයක් නිර්මාණය වුණා. ඒ අනුව පරිවර්තන බිහිවුණා. උදාහරණයක් ලෙස බැද්දේගම, වනසරණ, වානරයා, රෂමෝන්, වැනි ග්‍රන්ථ බිහිවෙන්න පටන්ගත්තා. සිංහල පොත් අන්‍ය භාෂාවලට පරිවර්තනය වුණා. ඒවා විදේශ රටවල පවා මුද්‍රණය වුණා. දිනපතා පුවත්පත් අතිරේක පළවුණා. මේ ඇතිවුණු සාහිත්‍ය පුනරුදය නිසා සැප්තැම්බර් මාසය සෑම වසරකම සාහිත්‍ය මාසය ලෙස ප්‍රකාශ වෙමින් වටිනා නිර්මාණ ඇගයිමට ලක්කළා. එහිදී පොතපත අඩු මිලට ලබාගැනීමේ අවස්ථාව උදා කළා. ඒ අනුව අද වනවිට විශාල සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති වී තිබෙනවා. 


තරුණ පරපුර පොතපත කියවීමේ අඩුබවක් තිබෙනවා. ඒක රටේ අනාගතයට බලපාන්නේ කොහොමද?
සමාජ මාධ්‍ය නිසා පොතපත කියවීමට ඇස යොමුවීම අඩුබව මනෝ වෛද්‍යවරු ප්‍රකාශ කරනවා. එහෙත් සමාජ මාධ්‍යවලින් වුනත් පොතපත කියවීමේ හැකියාව තිබෙන නිසා, ඒ සම්බන්ධයෙන් ඇති වෙබ් අඩවිවලින් වෙනත් රටවල පොතපත, පත්තර කියවීමට අවස්ථාව යොදාගන්න පු`ඵවන්. ඒ නිසා මුද්‍රිත පොතපත කියවීමට අපහසු නම් මේ ක්‍රමයට හරි තරුණ පරපුර පොතපත කියවීමට හුරුවිය යුතුයි. බුද්ධිමත් වගේම විනයගරුක හික්මීමක් ඇති පරපුරක් බිහිවෙන්න පොතපතට යොමුවිය යුතුමයි.


නව නිර්මාණවලට නිසි ඇගයීමක් ලැබෙනවා කියා හිතනවද?
ප්‍රධානම දේ තමයි අපේ රටේ නිර්මාණය කියන එක විෂයක් බවට පත්වෙලා නැහැ. මගේ නම් අවංක විශ්වාසය අපේ රටේ නිර්මාණකරුවන් සිටින්නේ හුදකලාවුණු කෙනෙක් වාගේ. අපි ලියන හැමදේකටම සම්මාන ලැබෙන්න ඕනැ කියලා මම කියන්නේ නැහැ. නමුත් මම ලියපු පොත්වලින් ඇගයුමට ලක්විය යුතු යැයි සිතපු ඒවා ඇගයීමට ලක්වෙලා නැහැ. එසේ නොවිය යුතුයි කියලා හිතපු ඒවට සම්මාන ලැබිලා තියනවා. අපේ රටේ සාහිත්‍ය රස විඳීම ගැන උගන්වනවා මිසක් සාහිත්‍ය විචාරයේ පෙරදිග අපරදිග ගැන අවබෝධයක් ඇතිබව සිතීම අසීරුයි. ඒ නිසා ළමයි හුදකලා වෙලා. ගුරුවරුත් එහෙමයි. ඒ අවබෝධය ගුරුවරුන්ටත් හරියටම තියනවද කියලා ගැටලුවක් තිබෙනවා. ඒ නිසා මට විටෙකදි හිතනවා සමහර අවස්ථාවල අපේ රටේ සාර්ථක හොඳ නිර්මාණ යටපත්වෙලා වැරදි සහගත ප්‍රමිති නැති නිර්මාණ උඩට ඇවිත් කියලා. මම එහෙම කියන්නේ විවිධ අවස්ථාවල නොයෙකුත් පොතපත සම්මානවලට පාත්‍ර කළාට ඒවට සම්මාන දෙන්න නිර්දේශිත හේතුවක් සඳහන් කරන්නේ නැහැ. ඒ නිසා ආධුනික ලේඛකයින්ටත් යම්කිසි අපහසුතාවකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. සමහර දේවල් ව්‍යාජ ඇගයිම්වලට ලක්වෙනවා. එහෙම බලද්දි ඒක හරියට කොසොල් රජතුමා දැකපු සිහිනවලින් එකක් වගේ. එතුමා එක් සිහිනයකදී දකිනවා ගල් කබල් ජලයේ පාවෙනවා සහ ලබු කබල් යටයනවා. ඒකේ තේරුම හිස් දේවල් රජකරනවා කියන එක. ඉතින් ඒ නිසා මම හිතනවා රටේ අනාගතය වෙනුවෙන් ඒ ගැන කථිකාවතක් ඇතිවිය යුතුයි කියලා.


සටහන - නයනා උදයංගනී   


 

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න   - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන් Read Previous

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන්

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න   - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන් Read Next

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන්

Realted Post