සිහින බිඳුණු සමාජයක හිස ඔසවන අපරාධ රැල්ල
තරුණ දරුවන්ගේ හිත හදන්න ළඟින් ඉන්න
“අංගුලිමාල පුතෙක් අම්මාගෙ ඇඟිල්ල කපලා,”
“සරසවි පෙම්වතා පිහියෙන් ඇන පෙම්වතිය මරලා”.
“විභාගයට ගිය සිසුවියට පෙම්වතා ඇසිඩ් පොවන්න හදලා”
පසුගිය සතිය පුරාම විවිධ මාධ්‍ය ඔස්සේ වැඩිපුරම ප්‍රචාරය වුණේ මෙවැනි අහස පොළොව නුහුලන අපරාධයි. මෙම අපරාධවලට වැඩිපුරම සම්බන්ධ වී තිබුණේ ජීවිතයේ අඩක් හෝ ගෙවා නැති, රටක අනාගතය වන් තරුණ පරපුරවීම කනගාටුදායක කරුණකි.
රටක, සමාජයක වගකීම් කරට ගෙන ඒ සෑම තැනකම වගකිවයුතු ලෙස කටයුතු කළ යුතු පරපුරක් මෙවැනි ඛේදවාචකවලට ගොදුරුවීම සැබැවින්ම අවාසනාවකි. එක් පැත්තකින් මත් උවදුරය. තවත් පසෙකින් විවිධ සමාජ විරෝධී කටයුතුය. මේ සියලු දේ වසාගෙන ඇත්තේ රටේ තරුණ පෙළය.
තරුණවිය කලහකාරීද?
තරුණ විය යනු ශාරීරික වශයෙන් ප්‍රචණ්ඩකාරී වයසකි. ලිංගික හෝමෝන වර්ධනය වන වයස බැවින් මෙම කාල සීමාව තුළ තරුණ පරපුර නිතැතින්ම ආක්‍රමණශීලීය. ගමේ ගොඩේ “පිත වැඩිවෙලා, තෙල වැඩිවෙලා” යැයි තරුණ, තරුණියන්ට ආමන්ත්‍රණය කරන්නේ එහෙයිනි. මොවුන්ගේ මානසික ආතතිය කළමනාකරණය කිරීමට පවුල් පසුබිමේ සිට හුරුවක් තිබිය යුතුය.
ජය පරාජය දෙකම දරාගන්න
අදහස් දැක්වීම - |
දරුවන් ළමාවියේ සිටම තරුණ විය දක්වාම පන්ති කාමර අධ්‍යාපනයට අනවශ්‍ය ලෙස ගොනුවී ඇත. ජයග්‍රහණය මිස පරාජය, බෙදා හදාගැනීම, උසුළු විසුළු, දුක් කරදර දරාගැනීමේ හැකියාව මෙම පරපුර තුළ දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. ඔවුන් බොහෝමයකගේ මානුෂික පෞරුෂ ගුණය වර්ධනය වී නොමැත. නිරන්තරයෙන් ම කටයුතු කරන්නේ පරාජය නොවන අදහසිනි. සහජීවනයෙන් ජීවිතය ගෙනයාම, සාමූහිකව බැඳී සිටීම දිනෙන් දින ගිලිහී ගොස් ඇත.
ගුරු - දෙගුරුන්ටත් වගකීමක්...
මේ සඳහා සෘජුවම වග කිව යුත්තේ මවුපියන් සහ ගුරුවරුන්ය. පෙර පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වාම අවබෝධය ලබා දෙන්නේ අනෙකා පරාජය කර ජයග්‍රහණය ලබා ගැනීමයි. සාමූහිකව කටයුතු කර ජයග්‍රහණ ලබා ගැනීම සඳහා යොමු නොකරයි. ගමේ අවුරුදු උත්සවයේ සිට, පාසලේ ක්‍රීඩාපිටිය, වෙනත් තරග ආදිය තුළින් දරුවා නිරන්තරයෙන් යොමු කරන්නේ තරගයකට ය. බොහෝ මවුපියවරු අතින් තම දරුවා ළමා වියේ සිටම ගිලිහෙන්නේ ඔවුන්ගේ රැකී රක්ෂා කටයුතුවලට යොමු වීමෙනි .ඔවුන්ට ආදරය, රැකවරණය ළමාවියේ සිටම අහිමිවීම තුළින් තරුණ වියට එළඹීමත් සමග සාමකාමී අදහස් ගිලිහෙයි. තම පවුල ඇතුළතදීම ප්‍රමුඛව සිටීමට උත්සාහ කරයි.
අධ්‍යාපනය දෙන්න
තරුණ පරපුරට තම මනස පාලනය කර ගැනීම සඳහා ක්‍රියාකාරකම්, ඒ සඳහා නිසි පුහුණුවීමක් ලබාදිය හැකි තැන් තවමත් ක්‍රියාත්මක නොවේ. අඩුම තරමේ නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා ගැනීමට නිසි වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක නොවේ. තරුණ වියට එළඹෙන යෞවන යෞවනියන් මේ සඳහා අන්තර්ජාලය භාවිතා කරයි. මේ තුළින් මතු වන්නේ ප්‍රචණ්ඩත්වයයි. එලෙසම ඔවුන්ගේ යම් වැරදි ක්‍රියාවකදී පහරදීම් තුළින් තව තවත් ප්‍රචණ්ඩකාරී වේ.
ළමාවියේදිම දරුවා හඳුනාගනිමු
ළමා විය තුළදීම දරුවා හඳුනාගත යුතුය. අධි ක්‍රියාශීලීබව, ඔටිසම් තත්ත්වය, දරුවන් තුළ ගොඩනැගෙන විෂාදය, කේන්ති යාම වැනි රෝගාබාධ හඳුනාගත්තද එය වැඩිවියට පත් වූ පසු මඟහැරී යයි සිතා එය පිළිබඳව සැලකීමක් නොදන්වයි. මෙය ඉතාමත් වැරදි ක්‍රියාවකි. ළමාවිය තුළ මෙවැනි හැසිරීම් පෙන්වන දරුවා තරුණ වියේදී ද ඊටත් වඩා ගැටලු සහගත ලෙස ක්‍රියා කිරීමට ඇති ඉඩකඩ වැඩිය.
ක්ෂණික කෑමත් ගැටලුවක්
අද වනවිට බොහෝ තරුණ තරුණියන් ක්ෂණික කෑම සඳහා යොමුවන ප්‍රවණතාව වැඩිය. මේ තුළින් සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස් වේ. ඒ වගේම බොහෝ දෙනා රාත්‍රී කාලය පුරා නිදිවරා දහවල් කාලයේ නිදා ගනියි. සමකය ආසන්න රටක් ලෙස මෙම ක්‍රියාව තරුණ පරපුරට සුදුසු නොවේ. ඒ තුළින් බිහිවන්නේ අලස, නිද්‍රාශීලි පරපුරකි.
තරුණ පරපුරම පීඩනයක
අද වනවිට රට තුළ ක්‍රියාත්මක වන දේශපාලනික, ආර්ථික ගැටලු හමුවේ තරුණ පරපුර පසුවන්නේ පීඩනයෙනි. රැකියා විරහිතබව, දරිද්‍රතාව වැනි ගැටලු හමුවේ තරුණ පරපුරේම හෙට දවස අවිනිශ්චිත ය. සුබවාදී අදහසක්, කාලයක් අහලකවත් නොවේ. බොහෝ දෙනා පසුවන්නේ බිඳුණු මානසික තත්ත්වයකිනි. බොහෝ තරුණ පිරිස් ඔවුන්ගේ අනාගතය වැනසූ වැඩිහිටියන් දෙස බලන්නේ වෛරයකිනි.
විසඳුම් අපිම සොයා ගනිමු
අතීතයේදී බොහෝ දෙනකු තුළ පැවැති අදහසක් වූයේ ලෙඩක්, දුකක් නැතිව සතුටින් ඉන්න යන්නයි. එතැනින් අදහස් වූයේ නිරෝගි ශරීරයකින් යුතුව හොඳ මානසික තත්ත්වයකින් සමාජයේ යහපත්ව ජීවත් වීමයි. අද වනවිට කායික රෝග සඳහා විවිධ රෝහල් පද්ධති තිබුණද මානසික රෝගාබාධ සඳහා යොමුවිය හැකි ස්ථාන ප්‍රමාණාත්මකව අඩුය. මේ සඳහා දරුවන්ගේ, තරුණ පරපුරේ මානසික තත්ත්වය වර්ධනය කිරීමට විවිධ තැන් නිර්මාණය කළ යුතුය.
- යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යාමට අවශ්‍ය ආහාර රටාවකට යොමු කළ යුතුය.
- රාත්‍රී 11 පාන්දර 3 අතර අවම පැය 6කවත් හොඳ නින්දකට හුරු කළ යුතුය.
- දුරකථන, ටීවී, කම්පියුටර් තිරවල රැඳී සිටින කාලය අවම කළ යුතුය.
- වීඩියෝ ගේම්, අද්භූත කතා, හිතලු කතා විඩියෝ භාවිතාව සීමා කළ යුතුය.
- දුක, කනගාටුව සේම ලිංගික ගැටලු, ප්‍රශ්න ආදිය පුළුල් ලෙස ආරක්ෂිතව, අනන්‍යතාව රැකෙන පරිදි කතාබහ කිරීමට හැකි සේවා ස්ථාපිත විය යුතුය.
- මානසික සෞඛ්‍යය පිළිබඳව සමාජය තව තවත් දැනුම්වත් කළ යුතුය.
- ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය, විවාහය, පවුල් ජීවිතය පිළිබඳව ක්‍රමානුකූලව අධ්‍යාපනය දිය යුතුය.
- සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් සඳහා අනිවාර්යයෙන් ම යොමු කළ යුතුය.
- උසස් පෙළ සඳහා කුමන විෂය හැදෑරුවත් අමතර විෂයක් ලෙස සෞන්දර්ය විෂයක් හැදෑරීමට අවස්ථාව දිය යුතුය. මෙය විශ්ව විද්‍යාලය දක්වා ක්‍රියාත්මක විය යුතු වේ.
- තරුණ තරුණියන්ට නිදහසේ කතාබහ කිරීමට සුදුසු ලෙස යොවුන් උද්‍යාන සංකල්පය ගෙන ආ යුතුය.
- බොහෝ රෝහල්වල උපදේශන සේවා, මිතුරු පියස ආදිය ක්‍රියාත්මක වූවද එය තවත් පුළුල් විය යුතුය.
සුජිත් ප්‍රසංග
Leave a comment