සුනාමියෙන් බේරුණු මාස 11 සිඟිත්තිය අද කඩු හරඹ පාසල් ශූරියක්

‘සුනාමියට’  වසර 18 යි 

 

සුනාමි රළ පහරට මැදි වී ජීවිතය බේරා ගත් එවකට මාස 11ක වයසේ පසු වූ කුලියාපිටියේ ධනංජලී උපේක්ෂා ජයවීර මේ වන විට කඩු හරඹ ක්‍රීඩිකාවක ලෙස දස්කම් පාන පාසල් සිසුවියකි.


සමස්ත ලංකා පාසල් කඩු හරඹ තරගාවලියෙන් උපේක්ෂා සිසුවිය රන් පදක්කම් එකක්  හා ලෝකඩ පදක්කම් තුනක් දිනා මේ වන විට කුලියාපිටිය සාරනාත් ජාතික පාසලට කීර්තියක් ලබා දී ඇත. සුනාමියෙන් ජීවිතය බේරාගත් උපේක්ෂාට කඩු හරඹ ශිල්පය උගන්වන්නේ මායන් අනුර මහතාය.


ඇය ලබන වසරේ වාණිජ විද්‍යා අංශයෙන් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය.


“අපේ ගෙදර අය ගමේ පිරිසක් එක්ක බස් එකකින් කතරගම වන්දනාවේ යන කොට මාවත් එක්කගෙන ගිහින් තියෙනවා. ඒ වෙනකොට මගේ වයස මාස 11 ක් වෙනවා.


මුහුදු රළ පහරකට අහුවෙලා දික්වැල්ල ප්‍රදේශයේදී අපේ බස් එක පෙරළිලා. බස් එක රළ පහරට ගසාගෙන යද්දී තාප්පෙක සහ තැඹිලි ගසක සිර වෙලා නතර වෙලා තියෙනවා. බස් එක ඇතුළට මුහුදු වතුර ඇවිත් පිරිලා. තාත්තා ඉක්මනට මාව ඔසවලා අරගෙන අඹ ගහ උඩ හිටිය අපේ බස් එකේම ගිය ඉන්දික මාමට මාව දීලා තියෙනවා. ඉන්දික මාමා මාව අඹ ගහ උඩ තියාගෙන මුහුදු වතුර බැස යන තෙක් ආරක්ෂා කරගෙන තිබෙනවා. පසුකලෙක මේ තොරතුරු අම්මාගෙන් සහ තාත්තාගෙන්  මම දැන ගත්තා. මේකට කියන්නේ සුනාමිය බවත් මම පසුව දැන ගත්තා” මේ යැයි උපේක්ෂා සිසුවිය පවසන්නීය.


කුලියාපිටිය ජයකොඩි වත්ත ගම්මානයේ සිට කතරගම බලා ගිය මෙම වන්දනා නඩේට 28 දෙනෙක් ඇතුළත්ව සිට ඇත.


 නඩේ ගුරා වූයේ උපේක්ෂාගේ තාත්තාය. ඒ නිහාල් චන්දන ජයවීර ය. 


මේ වන විට ඔහු 46 හැවිරිදි වියෙහි පසුවෙයි.


මීට වසර දහ අටකට පෙර එනම් 2004 දෙසැම්බර් මස 26 වැනි දා චණ්ඩ මුහුදු රළ ගොඩබිමට ගලා ඇවිත් දහස් ගණනකගේ ජීවිත මුහුදු රළ අතරේ සැඟව ගිය අඳුරු දිනයයි.


චන්දන ජයවීර ලා ගමන් ගත්  බස් රථයේ සිටි හත්දෙනෙකු ද  මුහුදු රළ  අතරේ සැඟව ගියේ මුළු කුලියාපිටියම හඬවමිනි.


චන්දනගේ නැන්දා, පුංචි අම්මා, සහෝදරියගේ 15 හැවිරිදි දියණිය සහ සහෝදරයාගේ 16 හැවිරිදි දියණිය ද ඒ අතර විය.


අවුරුද්දයි මාස හතරක් වයස චන්දනගේ බිරිඳගේ අක්කගේ පුතා ද මුහුදු රළ අතරේ සැඟව ගිය අතර ඔහුගේ සිරුර සොයා ගැනීමට නොහැකි විය.


ඒ සිඟිත්තා සිටින්නේ සුනාමියට හසුවී අතුරුදහන්වූවන්ගේ ලැයිස්තුවේ ය.


මීට වසර දහ අටකට පෙර සිදු වූ සුනාමි ඛේදවාචකයේ ඒ අඳුරු මතකය හාරා අවුස්සමින් චන්දන මෙසේ පැවසීය.


“කතරගම වන්දනාවේ ගිය අපේ නඩේ 28 දෙනෙක් සිටියා. අතරමග තියෙන සිද්ධස්ථාන වැඳපුදා ගෙන අපි 26 වෙනිදා උදේ දික්වැල්ලට ආවා. ලොකු වාහන තදබදයක් ඒ වෙලාවේ පාරේ තිබුණා. ඒකට හේතුව ඒ වෙනකොට අප දැන සිටියේ නැහැ. වාහන තදබදය නිසා අපට ඉදිරියට යෑමට නොහැකිව එක තැන සෑහෙන වෙලාවක් රැඳී සිටීමට සිද්ධ වුණා. ඒ වෙනකොට අපි හිටියේ දික්වැල්ල පොලිසිය අසල තිබෙන පාලම ආසන්නයේ.


එක පාරටම මහ විශාල මුහුදු රැල්ලක් ගොඩ බිම කරා ඇදී ආවා. මේ මොකද වුණේ කියා අපිට හිතාගන්නවත් බැරිව ගියා. ඒ මුහුදු රැල්ල කළුම කළු පාටයි. හරියටම කියනවා නම් කළු පැහැති ඉටි රෙද්දක් වගේ. ඒ මහා රළ පහරට බස් එක එක පැත්තකට පෙරළි ටික දුරක් ඇදීගෙන ගියා. මුහුදු රළ පහරට ඇදී ගිය බස් එක නිවසක තාප්පයකට සහ අඹ ගසක් අතර හිරවී නැවතුණා. බස් එකේ වීදුරු කැඩිලා බිඳිලා බස් එක ඇතුළට මුහුදු වතුර ගලාගෙන ආවා බස් එකේ හිටිය කට්ටිය මරළතෝනි දෙන්න පටන් ගත්තා.


ඒ වෙනකොට දුව හිටියේ මගේ ඔඩොක්කුවේ. අපේ බෙල්ල ළඟටම මුහුදු වතුර ආවා. පුංචි දෝණිට  වතුර පෙවෙයි කියල මම ඉක්මනට බස් එකේ සීට් එකක්  උඩට නැග්ගා
බස් එකේ හිටිය කිහිප දෙනෙක් ඒ වෙනකොටත් ජීවිතය බේරා ගන්න පෙරළී ගිය බස් එකේ වහලට නැගලා අඹ ගස අල්ලාගෙන සිටියා. තවත් කිහිපදෙනෙක් අඹ ගස උඩට නැගලා සිටියා. මම දුව ඔසවා දුන්නහම කෙනෙක් දුවව ගත්තා. පසුව තමයි දැනගත්තේ අපේ බස් එකේ හිටිය ඉන්දික තමා දරුවාව අරගෙන තිබුණේ කියා.


වේගයෙන්  ගලා ගිය මුහුදු රළට  අසූ වී මිනිස්සු වගේම වාහනත් ගසාගෙන යනවා දැක්කා. එහෙම ගසාගෙන යමින් සිටි හත්දෙනෙක් මම බොහොම අමාරුවෙන් බේරාගෙන බස් එකේ වහලය මතට ගොඩ කර ගත්තා. ගැබිනි කාන්තාවක් ද රළ පහරට හසුවී ගසාගෙන යද්දී  අල්ලා ගැනීමට මං උත්සහ කළත් ඇය අල්ලාගන්න බැරිවුණා. ඇය බේරා ගැනීමට නොහැකිවීම ගැන අදටත් මට ඇත්තේ ලොකු දුකක් යැයිද ඔහු පැවසීය.


ටික වේලාවකට පස්සේ මුහුදු ජලය බැස ගියා. අපි කට්ටිය දිග වාලුකාරාම පන්සලට ආවා. අපේ බස් එකේ හිටිය හය දෙනෙක් මියගොස් තිබුණා. අපේ හයදෙනාගේ සිරුරු බතියගම රෝහලට ගෙනැවිත් තිබුණා. රෝහලේදී ඒ  මළ සිරුරු හයම හඳුනාගත්තා පසුව එම මළ සිරුරු සුනාමියෙන් මියගිය රෝහලේ තිබූ අනෙක් අයගේ සිරුරු ද සමග සමූහ මිනී වළක මිහිදන් කළා. යැයද ඔහු පැවසුවේ ය. 

සටහන - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය 
ඡායාරූප - නිමල රාජා තිලකනායක 


 

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ Read Previous

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’ Read Next

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’

Realted Post