හිතට නැගෙන ආවේග දරුවන් පිටින් යවනවද?

 

කුඩා දරුවෝ මල්වලට සමානය. එකම ඉත්තක පිපි මල් පොකුරක් ගත් කල ඒවායේ දැකිය හැක්කේ සුළු සුළු වෙනස්කම් පමණි. දරුවන්ද එසේය. දරුවන්ට විවිධ වර්ණ, හැඩ හා සුවඳ ලැබෙන්නේ ඔවුන් සතු ගතිගුණ හා හැඩ නිසාය. 


පැළයක් සරුවට හොඳින් වැඩෙන්නේ එම පැළයට හොඳින් සාත්තු කළහොත්ය. දැනුවත්ව හෝ නොදැනුවත්ව එය එසේ නොවුනොත් පැළය මැලවී යාමට පුළුවන. මෙය උදාහරණයට ගෙන මවුපියන් දරුවන් හදාවඩා ගැනීමේ කලාව ප්‍රගුණ කළ යුතු වෙයි. 


දරුවෙකු හදා වඩා ගැනීමේදී දරුවා තුළ හොඳ පුරුදු ඇති කරන්නේ කෙසේද යන්න ගැන මවුපියන් දැනුම්වත් විය යුතුය. 

 


මවුපියන් දිහා දරුවො බලාගෙන ඉන්නවා 

අදහස් දැක්වීම:
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 
මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ, 
ප්‍රජා වෛද්‍ය විශේෂඥ 
යමුනා එල්ලාවල


දරුවන් ඉගෙන ගන්නේ ඔවුන් අත්විඳින හා අත්දකින දේ ඇසුරෙනි. ඒ අනුව දරුවන් යමක් ඉගෙන ගන්නේ ඔබ තුළින් ඔවුන් එය දකින ආකාරයට බව ඔබ සිතුවාද? ඔවුන් ඔබව හොඳින් නිරීක්ෂණය කරයි. ඔබ යහපත් ආකාරයට හැසිරෙන්නේ නම්, ගැටලුවලට සාර්ථක අන්දමින් මුහුණ දෙන්නේ නම් හා ඒවා විසඳන්නේ නම් දරුවන්ද ඉබේම ඒවා අනුකරණය කිරීමට පෙලඹෙයි. ඔබ යම් ප්‍රශ්නයකදී මහත් ආතතියට පත් වන්නේ නම්, කලබල වී කෑ ගසන්නේ නම්, ඔබට තරහා පාලනය කර ගැනීමට නොහැකි නම් දරුවනුත් එසේ හැසිරෙනු ඇත. ඒ මන්ද ඔවුන් ආදර්ශයට ගන්නේ ඔබව නිසාය. ඒ නිසා ‘අවවාදයට පෙර ආදර්ශය උතුම්’ යන කියමන ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම යහපත් දරුවෙකු තැනීමේ මූලික අඩිතාලමයි.

 


ඔබේ තරහ පිට කරන්නේ දරුවටද? 
ඔබ දරුවා අමතන ආකාරය, භාවිතා කරන වචන දරුවාගේ හදවතට දැනෙයි නම් ඔවුන් ඔබ කියන ආකාරයට හැසිරෙන්නට පසුබට වන්නේ නැත. ඒ නිසා ඔබගේ තරහා, දුක, කනස්සල්ල හෝ නොසන්සුන්බව දරුවන් මතින් පිට කිරීමට නොයන්න. එවැනි හැඟීම් දරා ගැනීමේ, පිට කිරීමේ යහපත් ක්‍රමවේද අනුගමනය කිරීමට මවුපියන් පුරුදු පුහුණුවීම තුළින් හොඳ පුරුදු දරුවන් තුළ ඇතිකරවීම අපහසු නොවන බව මතක තබාගන්න. 

 


හැමතැනටම තරවටුව ගැළපෙන්නේ නෑ 
කිසිම දරුවෙකු ශාරීරික හා වාචික හිරිහැර, හිංසන තුළින් හික්මවා ගත නොහැකිය. ඔවුන් අතින් වරදක්, අතපසුවීමක්, සිදු වූ විට ක්‍රියා කළ යුතු නිවැරැදිි ආකාරය පෙන්වා දීමෙන් දරුවන් යහමඟට ගත හැකිය. දරුවන්ට තරවටු කිරීමෙන් සිදුවන්නේ ඔවුන් ඔබට ඇත්ත නොපවසා සිටින්නටත්, ඔබෙන් යම් යම් දේ වසන් කිරීමටත් පෙලඹීමයි. දරුවා ඔබව ‘රැවටීමට’ පටන් ගන්නේ එතැනිනි. දෙමවුපියන් දරුවන්ට ඉතා තදින් සිටින විට අන් අය සමග සබඳතා පවත්වන්නේ කෙසේදැයි දරුවාට අවබෝධයක් නොලැබෙන්නට පුළුවනි. 


ඔබ දරුවන්ට  දඬුවම් කිරීමේදී පහර දෙන්නේ නම් ඔවුන් බොහෝ විට පිටස්තර අයගෙන් රැකවරණය හා දයාව සොයා යන්නට පෙලඹෙයි. එයින් දරුවන්ට අයහපත්, නුසුදුසු සබඳතා ඇති කර ගැනීමේ අවදානමක්ද ඇති වෙයි. දරුවාට දඬුවම් කිරීමෙන් හෝ තරවටු කිරීමෙන් දරුවාගේ ජීවිත කාලය පුරා පවතින හික්මීමක් ඇති කළ නොහැකිය. 

 


ආදරය ලබන දරුවො වැරදි කරනවා අඩුයි 
කල්පවතින විනයක් ඇති කළ හැකි එකම දෙය නම් ‘ආදරයයි’. ඔබ දරුවාට දක්වන ආදරයේ තරම අනුව දරුවා ඔබට යහපත් දේ ලබා දෙයි. යම් නුසුදුසු, අයහපත් හෝ අවදානම් දෙයක් කිරීමට ප්‍රථම දරුවාට ඉබේම මවුපියන් ගැන සිහිවන තරමට ඔබගේ ආදරය දරුවාගේ ජීවිතයට ‘වටිනාකමක්’ ඇති කළ යුතුයි. දරුවාට දැනෙන්නට ආදරය කළ යුත්තේ ඒ නිසයි. දරුවාට නොදැනෙන ඔබේ හිතේ පමණක් තිබෙන ආදරයෙන් ඵලක් නැත. ආදරය හා රැකවරණය පිරුණු පරිසරයක හැදෙන වැඩෙන දරුවෙකු අමුතුවෙන් හික්මවීමට අවශ්‍ය නොවේ.


දරුවන් සමග ක්‍රියා කළ යුත්තේ ඔවුන්ගේ වයසට සරිලන සේ සිතීමෙනි. දරුවන් සමග යහළුවන් සේ ආශ්‍රය කිරීමෙන්, කතා කිරීමෙන් ඔවුන් ඔවුන්ගේ ගැටලු නොබියව ඔබ හා බෙදා හදා ගැනීමට පෙලඹේ. 

 


ප්‍රශංසාවට කවුරුත් කැමතියි 
මවුපියන් බොහෝ විට දරුවාගේ යහපත් හැසිරීම් අගය නොකරන අතර වැරැදි දේ ඉස්මතු කර විවේචනය කිරීමට යොමුවෙයි. ඔවුන් අතින් සිදුවන තවත් නුසුදුසු දෙයක් වන්නේ අන් අය ඉදිරියේ දරුවා අවතක්සේරුවට, ලැජ්ජාවට පත් කිරීමයි. ඒවාගේම තම එක දරුවෙකු ගැන ප්‍රසංසා සහගතව හා තවත් දරුවෙකු ගැන නොපහන් හැඟීමකින් කතා කිරීම මගින් දරුවාගේ ආත්මාභිමානයට විශාල සෘණාත්මක බලපෑමක් ඇතිවෙයි. ඒ නිසා දරුවන්ට නිසි ගරුත්වය ලබා දෙන්නට වගබලා ගන්න.


හැමවිටම ජයග්‍රහණය ලැබිය යුත්තේ, මුල් තැන ගත යුතු වන්නේ තමන්ගේ දරුවා පමණක් යන සිතුවිල්ලෙන් ඈත්වෙන්න. සෑම මවක්ම පියෙක්ම මේ ආකාරයට සිතන්නට ගියහොත් පරාජිතයෙකු සිටිය නොහැකිය. ජය - පරාජය යන දෙකම දරුවෙකු අත්විඳිය යුතුය. දරුවෙකු සාර්ථක පුද්ගලයෙකු වන්නේ එවිටය. ඒ නිසා ඔබේ දරුවා සැමවිටම ජයග්‍රාහයෙකු විය යුතුය යන මානසිකත්වයෙන් මිදීමට මවුපියන් වගබලාගත යුතුය.

 


සුබෝධිනී පෙරේරා


 

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද? Read Previous

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද?

අම්මාගේ ආදරය  මම ඇයගෙන්  හොයනවා   Chanuka Read Next

අම්මාගේ ආදරය මම ඇයගෙන් හොයනවා Chanuka

Realted Post

Leave a comment