හොඳ පොතක් දුක සැප බෙදාගන්න මිතුරෙක්

 

 සැප්තැම්බර් මාසය සාහිත්‍ය  මාසයයි. මේ කියවීමේ මාසයේදී කියවීමේ වැදගත්කම ගැන මඳක් සිතා බැලීමද වැදගත් වනු ඇති.


‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි.’ යනු අප හොඳින් අසා ඇති කියමනකි. මෙහි තේරුම ගැන කල්පනා කරන විට එකවිටම සිහියට එන්නේ පොතපතින් ලබා ගන්නා ‘දැනුම’ පිළිබඳවයි.


දැනුමෙන් පමණක් මිනිසෙකු සම්පූර්ණ වෙයිද? එය එසේ නොවන බව අද අපට සමාජයේ, ලෝකයේ සිදුවන සිදුවීම් දෙස බලන විට පෙනී යයි. එනිසා මෙම කියමන සම්පූර්ණ වන්නේ දැනුමට අමතරව පොතපත කියවීමෙන් ලබා ගත හැකි දේ පිළිබඳව දැනුවත් වී ඒ සඳහා යොමුවීමෙනි.


පොතපත කියවීමෙන් කායික මෙන්ම මානසික සෞඛ්‍යයටද ඇති ප්‍රයෝජන බොහෝය. සමහර ඒවා මුළු ජීවිත කාලයටම වැදගත් වන ඒවා වේ. මුල් ළමාවියෙන් පටන් ගෙන වැඩිහිටි විය දක්වාම මෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බව සඳහන් කළ හැකිය.


දුක සැප දෙකෙහිම ළඟ සිටින මිතුරෙක් 

අදහස් දැක්වීම:  -සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ 
යමුනා එල්ලාවල


පොත්පත් යහළුවන් මෙනි. දුකේදීත් සැපේදීත් අත් නොහැර ළඟින්ම සිටිති. එසේම අපට සිටින යහළුවන් මෙන් කුඩා පොත්, ලොකු පොත්, පාට සහිත පොත්, කළු සුදු පොත්, රූප සහිත පොත්, රූප රහිත පොත් ආදී වශයෙන් විවිධ මාදිලියෙන් තිබේ. 


කියවීමෙන් බොහෝ වාසි ලැබෙන අතර, විශේෂයෙන්ම ළමුන්ගේ මානසික සෞඛ්‍යය නඟා සිටුවීම සඳහා මෙයින් විශාල පිටිවහලක් ලැබේ. ළමයින් යනු නිරතුරුවම විමසිල්ලෙන් පසුවෙන අයයි. ඔවුහු දකින හැම දෙයක්ම ග්‍රහණය කිරීමට පෙලඹෙන අතර ඕනෑම දෙයකින් යමක් ඉගෙනීමට කැමැත්තක් දක්වති. එහෙත් ඔවුන් ඉගෙන ගත යුත්තේ ධනාත්මක දෙයයි. දරුවන්ගේ මානසික සෞඛ්‍යයට බොහෝ අභියෝග ඇති මෙවන් කාලයක කියවීමෙන් මානසික සෞඛ්‍ය නගා සිටුවීමට මනා රුකුලක් ලැබෙනු ඇත.

 


පොත් කියවීම විනෝදයක් 
සෑම කෙනෙකුටම කියවීම විනෝදාස්වාදයක් ගෙන දෙන බව නොරහසකි. ඔබ හොඳ පොතක් කියවීමට පටන් ගත් විට එහි අවසානය දක්වාම කියවා මිස පොත වෙනතකින් තබන්නට ඔබට නොසිතෙනු ඇති. එහි කතා වස්තුව අපව කොතරම් ග්‍රහණයට හසු කරගෙන ඇත්දැයි තේරෙන්නේ පොතේ අවසානයට ළඟා වූ පසුව දැනෙන දුකෙනි. 

 


කියවීම ළමා මනස ශක්තිමත් කරයි. 
පර්යේෂණවලින් පවා ඔප්පු වී ඇත්තේ මොළයේ ස්නායු සෛල අතර අලුතින් සම්බන්ධතා ඇතිවීම හා එම සබඳතා තව දුරටත් ශක්තිමත් වන අතර දරුවාගේ ඉදිරි ඉගෙනීම් කටයුතු සඳහා මෙය ඉතාම වැදගත් බවයි. දරුවන්ගේ මතක ශක්තිය වැඩි දියුණු කරන නිසා ඔවුන්ට යම් දෙයක් ඉක්මනින් හා පහසුවෙන්  ඉගෙන ගැනිමට හැකියාව ලැබේ.


කියවීම මගින් අන් අයගේ හැඟීම් තේරුම් ගැනීමට හා සානුකම්පිතව සැලකීමට දරුවන් හුරු වේ.  මෙයින් දරුවාට අන් අය සමග යහපත් සබඳතා ඇති කර ගැනීමට කුඩා කල සිටම රුකුලක් ලැබේ. පර්යේෂකයින් පවසන්නේ කුඩා කල සිටම කියවීමට හුරු වූ දරුවන් ක්‍රම ක්‍රමයෙන් තම වාග් මාලාවේ ධාරිතාව වැඩි කරගන්නා බවයි. අපගේ වාග් මාලාවේ ධාරිතාව පාසල් අධ්‍යාපනයේ සිට රැකියා අවස්ථා ලබා ගැනීම දක්වාම බලපාන්නකි. ඵලදායී හා යහපත් ලෙස අන් අය සමග සන්නිවේදනය කරමින් කටයුතු කරන අයට ඕනෑම ක්ෂේත්‍රයකදී ප්‍රමුඛතාවක් ලැබේ.

 


සිතන විදිය වෙනස් කරන්න පුළුවන් 
එසේම දරුවාගේ කතා කිරීමේ හැකියාව, ප්‍රවීණත්වය (කටහf`ඩ් ගුණ  උස් පහත් කිරීම ආදී) මෙන්ම නිවැරැදි උච්චාරණය, වචනවල නිවැරැදිි තේරුම දැන ගැනීම ආදී බොහෝ දේ නිතර නිතර පොත් පත් කියවීමෙන් දරුවාට අමතර වෙහෙසකින් තොරව ලබා ගත හැකි වේ.


කියවීම මගින් දරුවාට ලෝකය පිළිබඳ නිවැරැදි දැක්මක් ලබා දෙයි. විවිධ මාදිලියේ පොත් සඟරා කියවීම මගින් විවිධ රටවල සංස්කෘතීන්, ජීවන රටා, අගයන් පිළිබඳ මනා දැනුමක් ලැබේ. දරුවා සෑම අතින්ම දැනුමෙන් පෝෂණය වන නිසා නිතර පොත් පත් ඇසුරු කරන දරුවා අනෙක් දරුවන්ට වඩා දැනුමක් හා තීක්ෂණ නුවණින් යුතු අයෙකු බවට පත් කරයි.


දරුවා තුළ තමා ගැන ගොඩනැගෙන විශ්වාසය නිසා ඕනෑම කෙනෙකු සමග කතාබහ කිරීමට හා චතුරව භාෂාව හැසිරවීමට ඉඩ ලබා දෙයි. 

 

නිදාගන්න පෙර පොතක් කියවන්න 
මානසික ආතති තත්ත්වය අඩු කිරිමට හොඳ පොතකට පුළුවන. පර්යේෂණවලින් සොයාගෙන ඇත්තේ විනාඩි 06 ක් තරම් සුළු වේලාවක් පොතක් කියවීම මගින් 60% කින් ආතතිය අඩු කර ගැනීමට හැකි බවයි. එයින් හදගැස්මේ වේගය සාමාන්‍ය කිරීමට, මස්පිඬුවල තද ගතිය අඩු කිරීමට හා මානසික මට්ටම යථා තත්ත්වයට ගෙන ඒමට හැකි වේ. දරුවන්ටත් එය එසේමය. ඔවුන්ගේ ආතති මට්ටම අඩු කර නැවුම් මනසකින් විවෘතව සිතීමට මග පාදයි.


සුවබර නින්දකට සූදානම් වීම සඳහාද කියවීමෙන් විශාල මෙහෙයක් සිදු වේ. මෙහිදි විද්‍යුත් මාධ්‍යවල ඇති පොත්වලට වඩා භෞතිකව පොත් කියවීම නින්දට උදව් වේ. 

 


පොත් කියවන්න උනන්දු කරන හැටි 
සමහර දරුවන් කුඩා කාලයේ සිටම පොත් කියවීමට ආසාවක් දැක්වුවද ඇතැම්  දරුවන් පොත්පත්වලට  කැමැති නැත. ඔබගේ දරුවාටත් පොත් කියවීමට ආසාවක් ඇති කරවීමට නම් පළමුව ඔබ ඔවුන් හා කියවීම අරම්භ කරන්න. දරුවන් සමග පොත් කියවී ම දින චර්යාවේ කොටසක් කර ගත් දරුවන් කතා ඇසීමට කැමැතිය. එයින් ඔවුන්ගේ කියවීමේ ආසාව ඇති කිරීමට ඔබට පුළුවනි. ඔබ දරුවන් සමග පොත් කියවන විට ඒ දේ ගැන අවධානයෙන් මෙන්ම දරුවා ගැන අවධානයෙන්ද සිටිය යුතුය. වචනවලින් පමණක් නොව මුහුණේ හැඟීම්වලින්, අංග චලනයන්ගෙන්ද පොතේ අන්තර්ගතයට එළියක් දෙන්න. මෙයින් දරුවා හා මවුපියන් අතර ඇති  බැඳීම ශක්තිමත් වෙයි. පොත් කියවන දරුවා එහි අන්තර්ගතය ගැන සිතින් මවා ගනී. දරුවා සිතින් ඒ සමග ජීවත් වෙයි. දරුවාගේ රසාස්වාදය හා පරිකල්පන හැකියාව දියුණු වෙයි.

 

 

■ සුබෝධිනී පෙරේරා

 

අනු කනූගෙ හුටපටේ Read Previous

අනු කනූගෙ හුටපටේ

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු Read Next

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු

Realted Post

Leave a comment