ළාවට නොසැලකිය යුතු ලාදුරු යළි හිස ඔසවන ලකුණු
වසර 1995 ලෝක ලාදුරු තුරන් කළ රටක් ලෙස සහතික කළත් වසරකට ලාදුරු රෝගීන් 2000 ක් පමණ මේ වන විට ලංකාවෙන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. 2022 වසරේදී තව ලාදුරු රෝගීන් 1325 ක් අපේ රටින් වාර්තා වූ අතර එයින් බහුතරයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි.
මෙම තොරතුරුවලට අනුව පෙනී යන්නේ තවමත් අප අතර ලාදුරු රෝගය පවතින බවයි. එසේ නම් මේ රෝගය ඇතිවෙන ආකාරය, පැතිරෙන ආකාරය ගැන නිසි අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම වැදගත් වෙයි.
රෝග කාරකය
අදහස් දැක්වීම : වැලිසර ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ, විශේෂඥ
වෛද්‍ය ප්‍රසාද් රණවීර කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක |
ලාදුරු යනු මයික්‍රොබැක්ටීරියම් ලෙප්රේ නැමැති බැක්ටීරියාව මගින් බෝවෙන සමට හා ස්නායුවලට බලපාන රෝගයකි. සාමාන්‍යයෙන් මිනිසුන්ට පමණක් වැලඳෙන රෝගයක් වන මෙය දීර්ඝ කාලයක් තිස්සේ ශරීරයට හානි සිදු කරයි. මෙම බැක්ටීරියාව මුලින්ම මිනිස් ශරීරයට පැමිණියේ කෙසේද යන්න තවමත් සොයාගෙන නැත. කෙසේ නමුත් මෙය බැක්ටීරියාවක් මගින් ඇතිවන නිදන්ගත රෝගයක් ලෙස දැක්වේ. ඒවාගේම බෝවන ලාදුරු, බෝ නොවන ලාදුරු වශයෙන්ද මෙය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකියි. දැනීම් නොමැති ලප පහකට වැඩි ගණනක් ශරීරයේ තැනින් තැන ඇතිවීම, පර්යන්ත ස්නායු දෙකක් හෝ ඊට වැඩි ගණනක් ආසාදනය වී තිබීමත්, ශරීරයේ ඕනෑම තැනක පරීක්ෂණයක් සිදු කළහොත් ඒ ඕනෑම ස්ථානයකින් බැක්ටීරියාවක් හමුවෙයි නම් එය බෝ වන ලාදුරු තත්ත්වයයි. බෝ නොවන ලාදුරු තත්ත්වයේදී සමේ කිසිදු ස්ථානයකින් බැක්ටීරියාව හමු නොවෙයි. පර්යන්ත ස්නායු එකක් පමණක් ආසාදනයට ලක් විය හැකියි. දැනීම් නොමැති ලප 1-5 සීමාවේ පවතින්නට හැකිය.
ජානගත රෝගයක්ද?
බොහෝ දෙනා සිතන්නේ මේ රෝගය ප්‍රවේණිගත රෝගයක් ලෙසය. එහෙත් ලාදුරු යනු ප්‍රවේණිගත රෝගයක් නොවේ. රෝගය වැලඳුනහොත් ඊට ප්‍රතිකාර නිසි ලෙස ගත් අයෙකුගෙන් ඔවුන්ගේ දරුවන්ට පසුකලෙක මෙම රෝගය ජානගතව සම්ප්‍රේෂණය වීමක් සිදු නොවේ. එහෙත් රෝගයෙන් පෙළෙන්නෙකු සමග ජීවත්වන පවුලේ වෙනත් කෙනෙකුට රෝගය වැලඳීමේ ප්‍රවණතාවක් ඇති බව සඳහන් කළ හැකිය.
මෙයට වැඩි වශයෙන් දරුවන් ගොදුරු විය හැකි අතර එයිනුත් වැඩි ප්‍රතිශතය වයස අවුරුදු 10-14 අතර සිටින දරුවන්වීම විශේෂත්වයකි. ඒවාගේම එය ඉතා භයානක තත්ත්වයක් ලෙසද සඳහන් කළ හැකිය.
ලාදුරු ලපය නිවැරැදිව හඳුනාගන්න
ලාදුරු රෝගය හඳුනා ගැනීමට ඇති ප්‍රධානම ලක්ෂණය වන්නේ ශරීරයේ ඇතිවෙන හැඟීම් දැනීම් නැති ලපයක් හෝ ලප කීපයකි. මේ ලපය අළුහම් ලපයේ ස්වභාවයක් ගනී. සමේ පාටට වඩා අඩු පැහැයක් හෝ තද පැහැයක් ගත හැකියි. මුහුණේ එක් පැත්තක හෝ දෙපැත්තේම, වැළමිට පිටුපස, පාදවල හෝ පිට ප්‍රදේශයේ හෝ ශරීරයේ වෙනත් ඕනෑම ස්ථානයක මේ ලප ඇති විය හැකිය. ඒ ලපය මත දැනීමක් ඇති නොවෙයි. ඊට හේතුව වන්නේ ලාදුරු ඇති කරන බැක්ටීරියාවෙන් ඒ ලපය මැද ඇති ස්නායු මරා දැමීමයි. ඒවාගේම එම ලපය හෝ ලප ඇති ස්ථානවල රෝමකූප වර්ධනය නොවෙයි.
රෝගය බෝවෙන්නේ මෙහෙමයි
බෝවෙන වර්ගයේ ලාදුරු රෝගියෙකුගේ ශ්වසන මාර්ගයේ ඇති විෂබීජ සහිත බිඳිති කැස්ස, කිවිසුම් ආදියෙන් ඉවතට විසි වී තවත් නිරෝගී අයෙකුට බෝ විය හැකියි. එහෙත් ලාදුරු රෝගියෙක් ස්පර්ශ කිරීමෙන් රෝගය බෝ නොවේ. ඒවාගේම නිසි ලෙස ප්‍රතිකාර ගන්නා බෝවෙන වර්ගයේ ලාදුරු රෝගියෙකුගෙන් වුවත් තවත් කෙනෙකුට රෝගය බෝ වීමට හැකියාවක් නැත. මෙහිදී මතක තබා ගත යුතු වැදගත්ම කාරණය වන්නේ මේ බැක්ටීරියාව යම් විදියකින් ශරීර ගත වුවත් රෝග ලක්ෂණ ඇතිවීමට අඩුම වශයෙන් වසර දෙකක පමණ කාලයක් ගතවන බවයි. ඒවාගේම ජනගහනයෙන් බහුතරයකට විෂබීජ ශරීරගත වී තිබුණත් රෝගයට ගොදුරු වන්නේ ඔවුන්ගෙන් 10%ක පමණ ප්‍රමාණයකටය.
මූලිකම රෝග ලක්ෂණය වන්නේ ශරීරයේ ඇතිවෙන ලපය පමණයි. ඒ ලපය වුවත් හඳුනා ගන්නට හැකියාවක් නොලැබුණහොත් වසර තුනකින් පමණ පසුව ස්නායු ආබාධ ඇති විය හැකියි. මේ තත්ත්වයේදී මුලින්ම ඇඟිලි හිරිවැටීමක් සිදුවෙයි. වයසට යාමත් සමග හෝ වෙනත් රෝගාබාධවලින් පෙළෙන අයෙක් නම් මේ රෝග ලක්ෂණය ගැන වැඩි තැකීමක් ඇති නොකරයි. ඒ නිසා ඉතා වැදගත් වන්නේ මේ රෝගය නිවැරැදිව හඳුනා ගැනීමයි.
රෝග ලක්ෂණ
* හැඟීම් දැනීම් නොමැති වියළි බවක් සහිත ලප, සමේ පැහැයෙන් හෝ රතු පැහැයෙන් ඇතිවෙන පලු හෝ ගැටිති
* මුහුණේ සම ගනවීම, කන්පෙතිවල ගැටිති ඇතිවීම
* නාසය අවහිරවීම
* ඇස් බැමිවල රෝම ගැලවී යාම
* කටහඬ වෙනස්වීම,
* නිතර නාසයෙන් සොටු දියර ගැලීම
* එක් අතක හෝ පාදයක හිරි ගතිය හෝ මස්පිඬු දුර්වල වීම.
ප්‍රතිකාර මොනවාද?
මෙම රෝගය සඳහා රජයේ රෝහල්වලින් ඖෂධ ප්‍රතිකාර ලබා ගත හැකියි. ඒ නිසා ඉහත සඳහන් කළ ආකාරයේ රෝග ලක්ෂණ පහළ වුවහොත් පමා නොකර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. මුල් කාලයේදීම රෝගය හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා ගතහොත් රෝගය සුවකර ගත හැකියි. මේ ප්‍රතිකාරවල අතුරු ආබාධ ඇත්තේ ඉතාම අවම මට්ටමකිනි. ඒවාගේම සායනවලදී රුධිර පරීක්ෂණ මගින් අතුරු ආබාධ කල් තබා හඳුනා ගනී. ගැබිනි මවුවරුන්ට, කිරිදෙන මවුවරුන්ට වුවත් මේ ඖෂධ ලබා ගැනීම ආරක්ෂා සහිත වන අතර ලාදුරු රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේ. එනිසා වෛද්‍ය උපදෙස් මත නිසි කාලය තුළ ප්‍රතිකාර ලබා ගැනීිම ඉතා වැදගත් වෙයි.
ලාදුරු යනු බියවිය යුතු රෝගයක් නොවේ. ඒවාගේම ලාදුරු රෝගීන් කොන් කිරීමක් හෝ වෙන් කිරීමක් අවශ්‍ය නොවේ. ප්‍රතිකාරවලින් නිට්ටාවටම සුව වෙයි. හැඟීම් දැනීම් නොදැනෙන, සමේ පාටට වඩා අඩු පාටින් යුත් ලප දැකගත හැකි වුවහොත් පමා නොකර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවෙන්න.
(සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති සාකච්ඡාවක් ඇසුරිනි)
සුබෝධිනී පෙරේරා
Leave a comment