“දුන්නු දඬුවම්වලට බොහොම ස්තූතියි”

 

කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ ඉදිරිපිට ඇති මැයි ගස් පේළියේ සෙවණේ ඉදිරියට ඇවිද එමින් සිටි ඒ රුවේ හුරු පුරුදු ගතියක් මට දැනෙන්නට විය. මා, ඉතා ඕනෑකමින් ඈ දෙස බලද්දී ඇය, ඉස්සර වූවාය.

‘කොහොමද? මම මේ බල බල ආවේ ඔයාව හම්බ වෙයි කියලා.” වසර එකහමාරකට පමණ පසු දුටු ඇයගෙ න් එදාට වඩා හාත්පසින්ම වෙනසක් මම දුටුවෙමි. එදා දුටු ඇයට වඩා අද සිටි ඇය සම්පූර්ණයෙන්ම නවීකරණය වී ඇති හැඩකි. සිනා මුසු මුහුණින් මට කතා කළ ඈ ‘සෙනුරි’ නමින් මෙතැන් පටන් හඳුන්වමි. කොළඹට නුදුරු ගම් පළාතක ජීවත් වූ ඕ ජීවිතය කලකිරී ඉබාගාතයේ ඇවිද යද්දී මගේ මිතුරෙකු විසින් මට ඈ හදුන්වා දෙනු ලැබුවේ ‘උඹට පුළුවන් උදව්වක් කරපං. අහිංසක ජීවිතයක්. අඩුම ගානේ හිත හැදෙන්න වචනයක් හරි කියපං’ යනුවෙන් පවසමිනි. එතරම්ම එදා ඇගේ ජීවිතය ගැන කියාදෙන්නට බොහෝ දේ තිබිණී.

මධ්‍යම ප්‍රාන්තික පවුලක වැඩිමහල් දියණියක වූ ඇයට බාල සහෝදරියක් සහ සහෝදරයෙක් සිටි අතර, පියා තරමක ධනවත් ව්‍යාපාරිකයකුව සිටියේය. උසස් පෙළ ඉහළින්ම සමත් වූ සෙනූරි, නෙරංජන් හඳුනාගත්තේ උසස් පෙළ අමතර පන්තියකදී වුවත් දෙදෙනාම ජීවත් වූයේ එකම ප්‍රදේශයේ ය. නෙරංජන්ගේ දෙමාපියන් ද ව්‍යාපාරිකයන් වශයෙන් කටයුතු කළ අතර, විවාහ නොවූ සහෝදරියක පමණක් සිටි ඔහුගේ නිවස සම්පූර්ණයෙන්ම පාලනය කළේ නෙරංජන්ගේ අම්මා විසිනි. පාසල් ප්‍රේමය ඉහටත් උඩින් පිළිගෙන තිබුණු මොවුන් දෙදෙනා වසර හයක් සිය ප්‍රේමය ඉදිරියට ගෙන ගියත් නෙරංජන්ගේ දෙමාපියන් ඇයට දැක්වූයේ දැඩි විරෝධයක.

“ඔයාට ඕන අම්ම ද මම ද? ඔයාගේ තීරණය මොකක්ද කියන්න?” අවසානයේදී සෙනුරි ඔහුගෙන් ඇසුවාය.

“සෙනු, මට අම්මලට පිටුපාන්න බෑ. ඒත් මට ඔයා නැතිව ඉන්නත් බෑ.” නෙරංජන් පොඩි දරුවකු මෙන් කියවාගෙන ගියේ ඇගේ හිතද අළු කර දවමිනි. “අම්මාට මං කිව්වා මට ඔයාව ඕනමයි කියලා. එතකොට අම්මා කිව්වා කොට්ටාවේ ගේ පොඩ්ඩක් හදාගෙන ඒකේ පදිංචියට යන්න කියලා.” ඔහු කීවේය. “ඒ ගේ හදන්න ලක්ෂ පහක් හයක් යාවි නේද? කමක් නෑ මම අපේ තාත්තට කියන්නම්.” අවසානයේදී හිතුවටත් වැඩි මුදලකින් එම නිවස පිළිසකර කළ සෙනුරි ඔහු හා අතිනත ගත්තේ දහසක් වූ බලාපොරොත්තු සිත්හි දරාග නිමිනි.

“අපි සතුටින් හිටියේ බොහෝම ටික කාලයයි. දුක් විඳගෙන අවුරුදු දෙකක් මම එයා ළඟ හිටියා. එයාගේ අම්මා අපට පවුල් කන්න දුන්නේ නැහැ. මම තට්ට තනියම ඒ ගෙදර ඉද්දි එයාගේ අම්මා එයාව එයාගේ ගෙදරට ගෙන්න ගත්තා. රෑට රෑට එයා එන්නේ නැති වුණාම මම ඇහුවා ඔයා කොහේද ඉන්නේ කියලා එතකොට එයා කිව්වා “මම නයිට් ඩියුටි’ කියලා. මම එයාව විශ්වාස කළා. ඒත් අපේ ගෙදර අය දැකලා තියෙනවා එයා අම්මලගේ ගෙදර ඉන්නවා. මම අඬලා වැළපිලා ඇහුවා ඇයි මට මෙහෙම කරන්නේ කියලා. එතකොට එයා කිව්වා උඹට ඉන්න පුළුවන් නම් ඉඳපං නැත්නම් මෙහෙන් පලයං කියලා” විවාහ වූ දා සිටම ඒ යුග දිවිය නරකාදියක් වූයේ වසර හයක ප්‍රේම මතක දෙදෙනාගේ සිත් තුළින් ඈතට ඉගිල යමින් තිබියදීය. ඔහු ඇසුවේ අම්මා කියන දේම පමණී. ඇය කළේ උදේ සිට රෑ නින්දට යන තෙක්ම ඇඬූ කඳුළින් කාලය ගත කිරීම පමණී.

“එක දවසක් එයා ගෙදර ආවේ හොඳටම බීලා.“ සෙනුරි අතීත මතකය අවදි කළාය. “සෙනූ, මට උඹ එපා. උඹ මහ කාලකණ්ණි ගෑනියෙක්. උඹ බැන්ද දවසේ ඉඳලාම මම විනාශ වෙනවා. අම්මා කියන්නෙත් ඒකමයි. උඹ ආපසු ගෙදර පලයං.” “ඇයි නේරංජන් මට මෙහෙම කරන්නේ. මම ඔයාගේ හැම වැඩක්ම කරගෙන පාඩුවේ මේ ගෙදරට වෙලාම ඉන්නවා. ඔයා තමයි මට අසාධාරණ වැඩ කරන්නේ. ඔයාගේ වෙන සම්බන්ධයක් තියෙනවා කියලා මට දැන් හිතෙනවා” ඇය හඬමින් ඔහුගෙන් ඇසුවාය. “ඔව්. මම මේක උඹට කියන්න බය නෑ. මෙන්න මං යාළුවෙලා ඉන්න ගෑනි. එයා මාලිගාවත්තේ. මං ඒකිට ආදරෙයි. මම ඒ සම්බන්ධෙ පටන් අරන් හරියටම මාස හයක් වෙනවා. උඹ පලයං ගෙදර.”

ඔහු සිය ජංගම දුරකථනයේ ගබඩා කර තිබූ ඡායාරූපයක් ඇයට පෙන්නුවාය. තම සැමියා එහෙට මෙහෙට වන අවස්ථාවක් බලා සිටි ඇය ජංගම දුරකථනය ගෙන ඔහුගේ පෙම්වතියට කතා කළාය. “තමුන් කවුරු වුණත් මට කමක් නෑ. ඇයි මගේ මිනිහා අල්ලගත්තේ? උඹත් ගෑනියෙක් නේද? ඇයි පවුලක් කඩන්නේ?” “මම නෙමෙයි උඹේ මිනිහා ළඟට එන්නේ. ඌයි මගේ ළඟට එන්නේ. උඹ ඔච්චර ඌට ආදරෙයි නම් ඌට ඕන දේවල් දීලා ළඟට කරගෙන තියාගනින්. මිනිහව හදාගන්න බැරි ගෑනි මට ආයෙත් කතා කරන්න එපා.”

නාඳුනන්නීගේ වචන සිහිනයෙන් මෙන් අසා සිටි සෙනුරි හඬමින් දොඩමින් මේ ගැන නෙරංජන්ගේ අම්මාටත් අක්කාටත් කීවාය. “ඕවා හරියයි ළමයෙක්වත් හිටියා නම්, එයාගේ තාත්තත් ඔහොමයි. ඕවා මහ දේවල් නෙමෙයි. උඹට ළමයෙක් හදාගන්න බැරි එකට ඌ පළි නැහැනේ.” නෙරංජන්ගේ මව සෙනුරිට කීවේ දැඩි තරහකිනි.

“අන්තිමට මම දරුවෙක් හදා ගත්තා. නෙරංජන්ගේ ක්‍රියාකලාපය හරි යයි කියලා හිතලා. දර ගැබට මාස දෙකක් වෙද්දිත් නෙරංජන් මට කන්න ටිකවත් හරියට දුන්නේ නැහැ. කන්න බොන්න බැරිව මම ඇඳේ වැටිලා ඉද්දි එයා ගෙදර ගිහින් අම්මගෙන් කාලා ඇවිත් මම කෑවා කියලා කියනවා. මට ජීවිතේ හොඳටම තිත්ත වුණා. අන්තිමට දැඩි මානසික ආතතියයි, කෑම ප්‍රශ්නෙයි නිසා මගේ දරු ගැබ විනාශ වුණා. දරුවා කුසේ නැතිවුණා කියලා මම එයාලගේ අම්මට අඬ අඬ කියද්දි එයා කිව්වා ‘ඕවා ගණන් ගන්න ඒවා නෙමෙයි’ කියලා.”

ජීවිතය ඇයට සරදම් කරද්දී ඇය නැවත වතාවක් ගැබ් ගත්තාය. එහෙත් නොසිතූ විලස එය දැනගත් නෙරංජන් යක්ෂාවේශ වී ඇයට බැණ වැදෙන්නට වූවාය. අවසානයේදී ඔහු ඇය කැටුව ගොස් ඒ දරු ගැබ විනාශ කළාය. “මම අඬා වැළපෙද්දි මට ඒ දේ කළා. තවත් මේ වගේ නරුමයෙක් එක්ක මං ඉන්න ඕනද? මම අපේ අම්මටයි තාත්තටයි කතා කරලා කිව්වා මාව එක්කගෙන යන්න නැත්නම් මම මැරෙනවා කියලා” ඔහුගේ නිවසෙන් ඔහුටත් නොදන්වා පැමිණි ඇය මාස කිහිපයක් ගත කළේ ඇඬූ කඳුළින් නොකා නොබීය. ජීවිතය එපා වී එය විනාශ කරගැනීමට කිහිප විටක්ම උත්සාහ කළ සෙනුරි අවසානයේ නිවස අසල ඇඟලුම් කම්හලක සේවයට යන්නට තීරණය කළේ ව්‍යාපාර සියල්ල බංකොලොත් වී සිටි පියාට පිටුවහලක් වනු පිණිසය.

“මේ ප්‍රශ්න තියෙද්දී තමයි මට දෙවියෝ කෙනෙක්ව එව්වේ. කිසිදවසක දැක නැත ඇය මට ජීවිතේ ගැන කියා දුන්නා. යන්න පාරක් පෙන්නුවා. අතරමග නතර වෙලා තිබුණු උපාධිය කරන්න ඇය මට බල කළා. ඒ අතර මට රස්සාවක් හොයලා දුන්නා.” සෙනුරි නාඳුනන හිතවතිය ගැන කීවේ ඒ අයුරිනි. “දැන් අවුරුදු තුනක් වෙනවා මම මේ රටේ ප්‍රසිද්ධ ආයතනයක ඉහළ පෙළේ රස්සාවක් කරනවා. මට හොඳ වැටුපක් හම්බවෙනවා. මං වගේ ගෑනියෙකුට ඒක ලොකු ශක්තියක්. අද මම මගේ දෙපයින් නැගී සිටගෙන ඉන්නවා. මේ අවුරුදු තුනට නෙරංජන් මට යෝජනා කිහිපයක් ම ගෙනාවා. මම දීපු එකම උත්තරේ “ඔයාව මට එපා” කියලා.”

“ඉතිං මොකද මේ උසාවියට ආවේ?” මම ඇගෙන් ඇසුවෙමි.

“දැන් අවුරුද්දක විතර ඉඳලා කෙනෙක් එක්ක මම හිතවත් වුණා. එයා ගොඩාක් හොඳ කෙනෙක්. ප්‍රයිවෙට් කම්පැනියක මැනේජර් කෙනෙක්. එයාට මම මගේ ජීවිතේ හැම දේම කිව්වා. එයා මට විවාහ යෝජනාවක් ගෙනාවා. ගිනිපෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරියාටත් බයයි කියනවා නේ. මම ගොඩාක් හිතුවා. ඒත් නෙරංජන්ට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක් එයා. මේ වගේ බෝධිසත්ත්ව චරිත සමාජේ ඉන්නවා කියලා එයා මට පෙන්නලා දුන්නා. මගේ කතාව එයාගේ ගෙදර කිසිම කෙනෙකුටවත් කියන්න එපා කිව්වා. මම දැනගත්තාම ඇති කියලා එයා කිව්වා. දන්නවද? මට ඩිවෝස් එක ලැබුණා. අද තමයි තීන්දුව ලැබුණේ. දැන් මම අවුරුදු දහයක අපලෙන් ගොඩ ගියා. මේ බලන්න.” ඇය සතුටින් ඉපිලෙමින් කීවාය.

“ඔයා දන්නවාද? මගේ හිටපු මහත්තයාගේ අම්මා, අන්න එයා දැන් මගේ ළඟට ඇවිල්ල මට කියපු එක දන්නවාද?” “මොකක්ද ?” “දුවේ මට සමාවෙන්න. මගේ පුතාව තනි කරන්න එපා” “ඉතිං ඔයා මොකද කිව්වේ?”

’මං නෙරංජන් දිහා බලලා කිව්වේ, ‘නෙරංජන් ඔයාටත් ඔයාගේ අම්මටත් පින් සිද්ධවෙනවා. මං ජීවිතයේ ජය ගත්තේ ඔයාලා මට කරපු කියපු දේවල් නිසා. අද මං ජීවත් වෙනවා. සතුටින් ජීවත් වෙනවා.” සෙනුරිගේ වදන් හමුවේ නෙරංජන් පවසා තිබුණේ එකම එක වදනක් පමණි. “මට දහස්වාරයක් සමාවෙන්න සෙනූ. මම ඔයාට ආදරෙයි. ඔයාව තේරුම් ගන්න බැරිවුණා. ඒක මගේ අවාසනාව. සමාවෙන්න”

(නම් ගම් සියල්ල මන:කල්පිතයි) 
නිමන්ති රණසිංහ

සියල්ල අහිමි වුවත්  ‘හැර නොයා රකින’ ප්‍රේමය Read Previous

සියල්ල අහිමි වුවත් ‘හැර නොයා රකින’ ප්‍රේමය

අනු කනූගෙ හුටපටේ Read Next

අනු කනූගෙ හුටපටේ

Realted Post