A paradise in the forest of Rumassala රූමස්සල කැලෑවේ සොඳුරු පාරාදීසය

 

වසර අවසන් වන දෙසැම්බර් මාසයේ බොහෝදෙනා විනෝද චාරිකා යාමට ප්‍රිය කරනවා. පවුලේ ඥාතීන් හිතමිතුරන් සහ දරුවන්ගේ සතුට විනෝදය සඳහා හැමෝටම විනෝදවීමට හැකි ස්ථානයක් තෝරා ගැනීමට මේ වනවිටත් ඔබ සොයාබලනවා විය හැකියි. 


කාලය ඉතිරි කරගනිමින් විනෝදය සඳහා වැඩි කාලයක් යොදාගත හැකි ස්ථානයක් තෝරා ගත හැකි නම් එය වඩාත් වාසිදායකයි. මුහුදු වෙරළ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයක් ඊට කදිමය.

 


වර්තමානයේ අධිවේගී මාර්ග පවතින බැවින්  ඉක්මනින් යා හැකි සංචාරක ප්‍රදේශ අතරින් දකුණු පළාතට සුවිශේෂි තැනක් හිමිවනවා. ඉන් ගාල්ල ප්‍රමුඛ සංචාරක පුරවරයක්.


ගාල්ලේ දෙස් විදෙස් ආකර්ෂණය ලබන්නේ රමණීය මුහුදු තීරයයි. ඉන් උණවටුන මුහුදු තීරය ලෝකයේ සුන්දරම මුහුදු තීර අතර ප්‍රමුඛයි.


අද අප ඔබ රැගෙන යන්නේ ගාල්ල ප්‍රදේශයේ තවත් නම ගිය සොඳුරු මුහුදු තීරයකටයි. මෙයට වසර පහ හයකට පෙර මෙම මුහුදු තීරය ප්‍රදේශයේ ජනතාව දිය නෑමට තෝරා ගත් ජනාකීර්ණ නොවූ මුහුදු තීරයක්. ඒ අවදියේ  හරි හමන් මාර්ගයක් හෝ නොතිබුණු අතර මුහුද වෙරළට ගමන් කළේ අඩි මාර්ගයකයි. 


එහෙත් කෙටි කාලයක් තුළ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වීමට මෙම මුහුදු තීරය සමත්ව තිබෙනවා. 


මෙය නමින් ජංගල් බීච් මුහුදු තීරයයි. 


මෙය ලොව ප්‍රසිද්ධ රූමස්සල කඳු පාමුල නිර්මාණය වී තිබෙන ආකර්ෂණීය මුහුදු තීරයක්. කලකට පෙර රූමස්සල කන්ද නැරඹීමට දෙස් විදෙස් සංචාරකයන් ගියේ මෙහි ඇති ඓතිහාසික පසුබිම නිසා සහ රූමස්සල සාම විහාරය වැඳ පුදා ගැනීමටය. එහෙත් අද දෙස් විදෙස් සංචාරකයන් රූමස්සල සංචාරය කරන්නේ දිය නෑමට හා විනෝදවීම සඳහාය. ඈත දුර ප්‍රදේශවලින් පවා කණ්ඩායම් ලෙසින් මෙහි පැමිණ සිටින අයුරු දැකගත හැකිය.


හනුමන්තා විසින් හිමාලයේ සිට රැගෙන ආ ඖෂධ කන්දෙන් කොටසක් මෙම ප්‍රදේශයේ වැටි රූමස්සල කන්ද නිර්මාණය වූබවට ජනප්‍රවාදයේ කියැ වේ. කෙසේ වුවද මෙය අපූරුතම නිර්මාණයකි. කඳු පාමුල නිර්මාණය වූ ජංගල් බිච් මුහුදු තීරය ඉතා අකර්ෂණීය දසුනකි. දියනෑමට සුදුසු පරිසරයක් එහි නිර්මාණය වී තිබේ. මෙම ප්‍රදේශයට ගාල්ල නගරයද ඉතා හොඳින්  දිස්වෙයි. අද වනවිට මුහුදු තීරයට යාමට මාර්ග නිර්මාණය වී තිබෙන අතර සංචාරකයන්ට ආහාර ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම කඩ සාප්පුද විවෘතව පවතී. 


ජංගල් බීච් මුහුදු තීරය දිය නෑමට, විනෝදවීමට පමණක් නොව ඉන් එහා ගිය උපන්දින සාද ඇතුළු විශේෂිත අවස්ථා සැමරීමට තෝරාගන්නා ස්ථානයක් බවටද පත්ව ඇත. තරුණ පිරිස් විවිධ  සංගීත භාණ්ඩ වාදනය කරමින් විනෝද වන අයුරු ද දැකගත හැකියි.


 ජංගල් බීච් මුහුදු තීරයේ දියනෑමේදී ඔබ භාවිතා කළ යුතු දුර ප්‍රමාණයක් ඇත. ඒ පිළිබඳ වෙරළ ආරක්ෂක අංශ විසින් දැනුවත් කරනු ඇත. එම අවවාද නොතකා විනෝද වීමට යාමේදී ඔබගේ ජීවිතයට හානිවීමටද හැකිය. ඒ නිසා පරිස්සමින් කල්පනාවෙන් අන් අයගේද ජීවිත සුරක්ෂිත වන අයුරින් විනෝද වන්න. ජංගල් බීච් සොඳුරු පාරාදීසයේ නියම සුන්දරත්වය ඔබට විඳින්නට හැකිවෙනු ඇත්තේ එවිටය. 

සටහන ශාන් බන්දු වීරසිංහ 


 

මට මගේ සැමියව පේන්න බැහැ Read Previous

මට මගේ සැමියව පේන්න බැහැ

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ Read Next

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

Realted Post

Leave a comment