අද අම්මලාට මගහැරුණු අත්තම්මලාගේ පිසීමේ කලාව

මුළුතැන්ගෙය තුළ බලහත්කාරයෙන් රඳවා සිටින අකල් මාරයා පලවාහරින්නට අතීතයෙන් උපකාර පතන්නට අපට හැකිය.

 

මිනිසාගේ ජීවන පැවැත්ම සහ පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට ආහාර අත්‍යවශ්‍ය වන හෙයින් ආහාර මූලික මිනිස් අවශ්‍යතාවක් ලෙස නම් කරයි. වර්තමානයෙන් මොහොතකට මිදී අපේ අත්තම්මලාගේ කාලයට ගොස් හිත මොහොතකට නතර කළහොත් ඔවුන් සතු ආහාර සංස්කෘතිය වටා වූ අවබෝධය ඔබව පුදුමයෙන් පුදුමයට පත් කරාවි.
අතීතයේ නිවසක් තුළ ආහාර වටා බැඳුණු ප්‍රධාන පාඨශාලාව මුළුතැන්ගෙය වූ අතර එහි ප්‍රධාන ගුරුතුමිය වූයේ ගෘහිණියයි.  ඇය තම ගෘහය තුළ සිටින සියලුම සාමාජිකයින්ගේ පෝෂණ අවශ්‍යතා කළමනාකරණය කර ගනිමින් සියල්ලන්ටම සමබල ආහාර වේලක් රසවත්ව පිළියෙල කර දීමට තරම් දක්ෂ වූ සහ කම්මැළි නොවූවාය. 

 


අදහස් දැක්වීම - බිංගිරිය ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය එස්.ආර්.ඒ ප්‍රියන්ත

හැමකෙනෙකුගේ රුචි අරුචිකම්වලට තැනක් 
තම ගෘහයට උචිත පරිදි ආහාර පිළියෙල කිරීමට අතීතයේ ගෘහිණියන් සතුව තිබූ ස්වයං දැනුම සහ අවබෝධය වර්තමාන අපිට නම් සිතාගන්නටවත් නොහැකි තරම්ය. නිවසක් තුළ ළදරු, මැදි විය, වයෝවෘද්ධ ආදී ලෙසින් විවිධ මට්ටම්වල සාමාජිකයන් සිටින නිසාවෙන් එදා ගෘහිණියෝ ආහාර තෝරා ගැනීමට ප්‍රථම නිවසේ සාමාජිකයන්ගේ වයස් මට්ටම් සලකා බැලීිය. නිවසක් තුළ දියවැඩියාව, අධික රුධිර පීඩනය, හතිය, සෙම් රෝග ආදී විවිධ ලෙසින් රෝගී තත්ත්වයන්ට ගොදුරු වූ සාමාජිකයින් සිටිය හැකි නිසා ඔවුන්ට අහිතකර නොවන ලෙසින් ආහාර පිළියෙල කිරීමට පෙර සෞඛ්‍ය තත්ත්වය සලකා බැලීම සිදු කළහ.

ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේ ජීවන යහපැවැත්ම සඳහා ලැබිය යුතු පෝෂණ අවශ්‍යතා සහ ශරීර ශක්තීන් වෙනස් මට්ටම්වල පවතින නිසාවෙන් ඒ පිළිබඳව සලකා බැලීය.
ගෘහය තුළ සාමාජිකයින් විවිධ වූ රැකියාවල නිරත වී ඇති බැවින් ඔවුන්ගේ ක්‍රියාකාරී මට්ටම් සලකා ක්ෂය වෙන ශක්ති මට්ටම පිළිබඳව මනා අවබෝධයකින් යුතුව ආහාර තෝරා ගැනීම සහ පිළියෙල කිරීම සිදු කළහ.
නිවස තුළ ගර්භිණී මවුවරුන්, කිරි දෙන මවුවරුන්, ආබාධිත පුද්ගලයින් වැනි විශේෂ අවස්ථා සහ වර්ධන අවධි පසු කරමින් සිටින්නන්ගේ පෝෂණ මට්ටම් සහ වරකට ගත හැකි ආහාර ප්‍රමාණය පිළිබඳව විශේෂයෙන් සලකා බැලීය.

 


කෑම පිඟාන අලංකාර කරපු හැටි 
එදා ගෘහිණියන් තම කෑම පිඟාන අලංකාරවත් කිරීම, අන් අය කෙරෙහි ආහාරයට ප්‍රියතාවක් ඇති කරවීම, ඉන්ද්‍රියයන් පිනවීමට සමත්වන ආහාරයක ලස්සන වර්ණය, රස, සුවඳ, ආදී කරුණු කෙරෙහිද විශේෂ සැලකිල්ලක් දැක්වූහ.

එකිනෙකට විරුද්ධ ආහාර පිළිබඳව ඔවුන්ට මනා අවබෝධයක් තිබූ අතර මඤ්ඤොක්කා, ඉඟුරු වැනි ආහාර එකට නොගැනීම, මඤ්ඤොක්කා ආහාරයට ගත් පසු එදින තේ පානය සඳහා ඉඟුරු එකතු කර නොගැනීම වැනි පුරුදු අනුගමනය කළහ.

සමහර ආහාර වර්ග ගැනීමේදී අසාත්මිකතා ඇති වන බැවින් දෙල්, ඉස්සන්, වැනි සැර සහිත ආහාර සඳහා මුරුංගා කොළ එකතු කිරීම, වැඩිපුර රතුලූනු එකතු කිරීම වැනි උපක්‍රම පවා ඇය දැන සිටියාය. 
ඔව්හු උදරාබාධ, ආහාර අරුචිය, ආහාර ජීර්ණ ගැටලු වැනි ආහාර ජීර්ණ පද්ධතිය තුළ හට ගන්නා විවිධ රෝගාබාධ සමනය කර ගැනීමට සහ එවන් ආබාධවලට ගොදුරු නොවී සිටීමේ උපක්‍රමයක් ලෙස දෛනික ආහාර රටාවට වරින් වර රසවත්, ගුණවත් තැම්බුම් හොද්දක් ද පෝෂණ ඌනතා සපුරා ගැනීමට හත් මාළුවද එක් කර ගැනීමට යුහුසුලු වූහ.

 


කැඳ, මැල්ලුමට වැඩි තැනක් 
ගෙවත්තෙන් ලබා ගන්නා නැවුම් කොළ වර්ගවලින් සාදා ගන්නා ලද කොළ කැඳ වර්ග, පිටි කැඳ වර්ග සහ සහල් කැඳ වර්ග තම නිවැසියන්ට රසවත් අයුරින් පිළියෙල කර දීමට එදා ගෘහිණියෝ කම්මැළි නොවූහ.

 


රස ගුණ රකින ආහාර වේලක් 
අපේ පැරැන්නන්ගේ නිරෝගී බවේ රහස මෙයම නොවේද? එදා අපේ අත්තම්මලාගේ ආහාර පිඟාන කුසගින්න නිවාලන ආහාරයක් පමණක්ම නොවූ අතර එය නිරෝගීකම රැකදෙන රෝගී බවින් මුදවාලමින් සහනය ගෙන දෙන ඖෂධ පිඟානක් ද විය.  ඔවුන්ගේ කායික මෙන්ම මානසික ශක්තිය නැවුම්ව ශක්තිමත්ව තබා ගන්නට ද මූලික පන්නරය වූයේ රස ගුණ සියල්ල රැකගෙන පිසගන්නා ලද ආහාරය.

 


ලෙඩ දුක් මාරයා මුළුතැන්ගෙට ඇවිත් 
එහෙත් අද වන විට මෙම තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. අතීතයේ නිරෝගී බවේ රහස් සැඟව තිබූ ප්‍රධාන මූලස්ථානය මුළුතැන්ගෙය වුවත් වර්තමානයේ සිරුරට රෝගීබව ආරූඪ කරන හේතු සොයාගත්, හේතු සොයා නොගත් සහ කිසිසේත්ම හේතු සොයා ගැනීමට නොහැකි සියලු රෝග මූලයන්ගේ රහස් සැඟව තිබෙන ප්‍රධාන මූලස්ථානය වන්නේද අපගේ මුළුතැන්ගෙය යි. එපමණක් නොව විටෙක අපගේ මාරයා සැඟව සිටින්නේද මුළුතැන්ගෙය තුළමය.


අතීතයේ ගෘහිණියන් අවබෝධයෙන් යුතුව කටයුතු කළ නිරෝගීකම රැක දුන් ආහාර  පිළිවෙත් වර්තමාන ගෘහිණියන් විසින් මුළුතැන්ගෙයි පිටුපස දොරින් පිටමං කරන්නට උත්සුක වී ඇත. ඔවුන් කෘත්‍රිම රස මුසුවුණු ආහාර රටාවන්ට හුරු වී ඇති අතර පෝෂණ ගුණය පසෙකලා පහසුවට පමණක් අවධානය යොමු කිරීමට හුරුව ඇත. එහෙයින් අප සතුව තිබූ සෞඛ්‍යමත් ආහාර සම්ප්‍රදායන් සියල්ල අපෙන් ගිලිහී යමින් පවතින අතර වෛවර්ණ රෝගයන්ගෙන් පිරි රෝග මල්ලක් අපගේ සිරුරට ආරෝපණය වී අවසානය.


නිරෝගීමත් දරු පරපුරක් යහපත් නිරෝගීමත් මුළුතැන්ගෙයකට හිමිකම් කියූ අතීතයක් තුළින් වර්තමානයට සංක්‍රමණය වුවද වර්මානය වන විට දේශීයත්වයෙන් පිරි නිරෝගීමත් ආහාර පිළිවෙත් මඟහැරෙන්නට සහ මඟහරින්නට කටයුතු කරමින් අකල් මාරයාට අප විසින්ම ආරාධනා කරන්නට පෙලඹෙන නිසාවෙන් මාරයාගේ සෙවණැල්ල මුළුතැන්ගෙය තුළට වැටී අවසානය. එහෙත් මුළුතැන්ගෙය තුළ බලහත්කාරයෙන් රඳවා සිටින අකල් මාරයා පලවාහරින්නට අතීතයෙන් උපකාර පතන්නට අපට හැකිය.  කෙසේ හෝ නිවසේ මුළුතැන්ගෙයින් රෝගකාරක මාරයා පලවා හැර නිරෝගීත්වයේ දේවතාවිය කැන්දන්නට තරම් වර්තමාන ගෘහිණියන් දක්ෂවන්නේ නම් ඒ තුළින් නිරෝගිමත් දරු පරම්පරාවක් අනාගතයට දායාද කරන්නට සියලුම මවුවරුන්ට හැකිවේවි. 

නුවන්ති හංසිනී  


 

අනු කනූගෙ හුටපටේ Read Previous

අනු කනූගෙ හුටපටේ

අනු කනූගෙ හුටපටේ Read Next

අනු කනූගෙ හුටපටේ

Realted Post