අපරාධයට ගෑනු පිරිමි භේදයක් නෑ

 

පොලිස් සංඛ්‍යාලේඛනවලට අනුව දිවයිනේ ලියාපදිංචි (අයි.ආර්.සී) කාන්තා අපරධකාරිනියන්ගේ සංඛ්‍යාව 46000 කි. ලියාපදිංචි අපරාධකාරිනියන්ගේ (ආර්.සී) සංඛ්‍යාව 1200 කි. 

අපරාධමය වරදකට දෙවරක් වැරදිකරු වූ පසු අයි.ආර්.සී ලේඛනයට ඇතුළත් වේ.


පාතාලයට සම්බන්ධ බව කියන කාන්තාවක් චීනයේ නිෂ්පාදිත පිස්තෝලයක් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් විසින් කොටුකර ගත්තේ ගම්පහ යක්කලමුල්ල නගරයේදී බස් රථයක් සෝදිසි කිරීමෙනි.
මෙම කාන්තාව පාතාල නායකයෙක් ලෙස සැලකෙන දැනට ඉන්දියාවට පලාගොස් සැඟව සිටින ‘වැල්ලේ සාරංග’ නමැත්තාගේ කල්ලියේ ප්‍රබල සාමාජිකාවක් බවට පොලිස් පරීක්ෂණවලින් හෙළිව ඇත.


පාතාල කල්ලිවලට සම්බන්ධ වී සිටි බව කියන කාන්තාවන් කිහිප දෙනකු පසුගිය කාලයේ වරින් වර ප්‍රතිවාදී පාතාල කල්ලි වෙඩික්කරුවන්ගේ ගොදුරු බවට පත්වූහ.


ගම්පහ අකරවිට ප්‍රදේශයේ අතුරු මාර්ගයක් ඔස්සේ ඇඟලුම් කම්හල් සේවිකාවන් දෙදෙනෙකු නිවෙස් බලා යමින් සිටියදී පිරිමි පුද්ගලයෙකු විසින් පදවාගෙන ආ යතුරු පැදියේ පිටිපස අසුනේ වාඩිවී සිටි කාන්තාවක් එක් ඇඟලුම් සේවිකාවකගේ අත්බෑගය පැහැර ගැනීමට උත්සහ කර ඇත.


මෙම උත්සාහයේදී යතුරුපැදියත් සමග ඔවුන් දෙදෙනා මාර්ගයේ පෙරළී ගිය අතර, ඒ අසල පදිංචිව සිටි බැංකු නිලධාරියෙකු හා ඔහුගේ මාමණ්ඩිය පැමිණ අත් බෑගය පැහැරගත් කාන්තාව අල්ලාගත් පසු කොල්ලකාරිය සමග සිටි පුද්ගලයා දෙදෙනාටම පිහියකින් ඇණ ඔවුන්ගේ ග්‍රහණයේ සිටි කොල්ලකාරිය මුදාගෙන පලාගියේ යතුරුපැදියද අතහැර දමාය.


පිහි පාර කෑ බැංකු නිලධාරියා වූ රසික විනෝද් මියගිය අතර, තුවාල ලැබූ ඔහුගේ මාමණ්ඩිය රෝහල්ගත කරනු ලැබීය.


මෙම සිද්ධිය වූ ස්ථානයේ කාන්තා අත්බෑග් තුනක් වැටී තිබියදී පොලීසිය සොයාගත් අතර, මේවා කාන්තාවන්ගෙන් පැහැරගත් ඒවා බවට පොලිස් පරීක්ෂණවලින් හෙළිවිය.


මෙම අපරාධය කළ කාන්තාව සහ පිරිමි පුද්ගලයා පොලිස් ඇසට වැලි ගසමින් තවමත් සිටින්නේ නිදැල්ලේය.


නාරාහේන්පිට යුද හමුදා රෝහලේ රාජකාරී කරන සෙබළෙකු රාජකාරියට වාර්තා කිරීමට ඔහුට අයත් ත්‍රිරෝද රථයෙන් පැමිණෙමින් සිටි අතරවාරයේ කොස්වත්ත ප්‍රදේශයේදී කලබලයට පත්වූ පුද්ගලයෙකු විසින් අත දමා ත්‍රිරෝද රථය නතර කරගෙන ඇත.


“අනේ මහත්තයෝ මගේ අම්මාට හොඳටම අමාරුයි. ඉස්පිරිතාලෙකට ගෙනියන්න උදව් කරන්න. පරක්කු වුණොත් අම්මා මැරෙයි.” යැයි ත්‍රිරෝද රථය නතර කරගත් පුද්ගලයා සෙබළා ඉදිරියේ බැගෑපත් වෙමින් පවසා ඇත.
රාජකාරියට වාර්තා කිරීමට යාම පසෙක තැබූ සෙබළා අසරණ ජීවිතයක් බේරාගැනීමට යාමට ඉදිරිපත් විය. ඒ පුද්ගලයාද නංවාගත් සෙබළා රෝගී කාන්තාව රැගෙන ඒමට ත්‍රිරෝද රථය පදවාගෙන යන අතරවාරයේ කඩු හා පිහිවලින් සන්නද්ධව සිටි තරුණියක ඇතුළු පිරිමි පුද්ගලයින් තිදෙනෙකු පාරට පැන ත්‍රිරෝද රථය නවත්වා සෙබළාට පහරදී ඔහුගේ ගෙල මිරිකා ත්‍රිරෝද රථය පැහැරගෙන පළාගිය අතර, සෙබළා මේ බව වැලිකඩ පොලීසියට පැමිණිළි කළේය.


ත්‍රිරෝද රථයට අත දමා නතර කරගත් පුද්ගලයාද ඒ කල්ලියේ අයෙක් බව සෙබළාට ඒත්තු ගියේ ඔහුද ඔවුනට එක්වී පහරදුන් නිසාය.


බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් ත්‍රිරෝද රථ පැහැරගන්නා කල්ලියක පස් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූහ.


මෙම පස්දෙනා අතර 18 හැවිරිදි තරුණියක හා ඇයගේ පෙම්වතා බව කියන 22 හැවිරිදි තරුණයෙකුද සිටි අතර, සෙබළාට පහරදී ත්‍රිරෝද රථය පැහැරගෙන ඇත්තේ පස්දෙනාගේ මෙම කල්ලිය විසිනි.


සෙබළාගෙන් පැහැරගත් ත්‍රිරෝද රථය ඇතුළු ඔවුන් පැහැරගත් තවත් ත්‍රිරෝද රථ 4ක් පොලීසිය සොයාගනු ලැබුවේ සැකකාර තරුණිය ඇතුළු පස්දෙනාගෙන් හෙළිකරගත් තොරතුරු මතය.
ඇය මහරගම ප්‍රදේශයේ ජීවත්වන මාධ්‍යවේදිනියකි. 


ජැන්ඩියට ඇඳපැළඳගත් රූමත් තරුණියක හා කඩවසම් තරුණයෙකු යතුරු පැදියකින් පැමිණ මාධ්‍යවේදිනියගෙන් කිසියම් අයෙකු ගැන තොරතුරු විමසා ඇත. යතුරු පැදියේ පසුපස අසුනේ වාඩිවී සිටි තරුණිය මාධ්‍යවේදිනිය පැලඳ සිටි රන් මාලය කඩාගෙන තරුණයාද සමග පළාගිය අතර, මාධ්‍යවේදිනිය මේ බව මහරගම පොලීසියට පැමිණිලි කළාය. 


යතුරු පැදියකින් ගොස් රන් මාල කැඩීමෙහි නිරතව සිටි තරුණියක හා තරුණයෙකු මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු අතර, ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී කාන්තාවන්ගේ රන් මාල කඩා ගැනීමේ සිද්ධි ගණනාවක් අනාවරණය විය.


මාධ්‍යවේදිනියගේ රන් මාලය කඩාගෙන ගොස් තිබුණේද මෙම දෙදෙනාබව පොලිස් පරීක්ෂණවලින් හෙළි විය.


යතුරු පැදියකින් ගොස් කාන්තාවන්ගේ රන් මාල කඩාගන්නා බව කියන තරුණියක් අත්අඩංගුවට ගනු ලැබුවේ ඇයගේ තරුණ පෙම්වතාද සමග හලාවත මූලස්ථාන පොලීසිය විසිනි.


ඇයගේ පෙම්වතා හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටින අතර, ඔහුට මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයාගැනීමට රන් මාල කැඩූබව පෙම්වතිය පොලීසියට පාපොච්චාරණය කළාය.
ඇය රන් මාලය කඩා ඇත්තේ ආදරයේ නාමයෙන් වුවත් අවසානයේ ඔවුන්ට සිදුවූයේ සිර කූඩුවේ ලැගීමටය.


සෑම අපරාධයකම කෙළවර දඬුවමක් තිබෙන බව කොයි කවුරුත් සිතිය යුතුය.


අපරාධයක් කර සැමදා සැඟව සිටිය නොහැකිය.


කාන්තා ලාලිත්‍යය කවියන් හා ගේය පද රචකයින් වර්ණනා කර ඇත්තේ ඇයගේ සුකොමලබව හා සියුමැලිබව ගැන පුන පුනා කියමිනි. සුකුමාල හා සියුමැලි ලලනාවන් මේ විදිහට පාතාල හා අපරාධ කල්ලිවල අතකොළුබවට පත්වී දරුණු අපරාධ කිරීමට පෙලඹුණේ කෙසේද?


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


 

අනෙකාගේ විශ්වාසය රකින්න Read Previous

අනෙකාගේ විශ්වාසය රකින්න

අම්මාගේ ආදරය  මම ඇයගෙන්  හොයනවා   Chanuka Read Next

අම්මාගේ ආදරය මම ඇයගෙන් හොයනවා Chanuka

Realted Post

Leave a comment