අම්මාගේ ආදරය මම ඇයගෙන් හොයනවා Chanuka

වර්තමානයේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ  රංගන ශිල්පීන් අතර ඉදිරියෙන් සිටින ඔහු කඩවසම් තරුණයෙක්. මේ දිනවල ටෙලි තිරයේ  දිගහැරෙන මීමැස්සා සහ මායාවී ටෙලිනාට්‍යවලට  රංගනයෙන් දායක වන ඔහු චානුක ප්‍රබුද්ධ. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු ක්‍රීඩාවට උපන් හපන්කම් දැක්වූවෙකි.   මිතූ ටෙලි නාට්‍යය හරහා  රංගනයට පිවිසි චානක ඉන්පසු ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක ප්‍රියන්ත කොළඹගේ  ගේ සකුගේ කතාවෙන් ප්‍රේක්ෂක ආදරය දිනා ගන්නට  ඔහුට භාග්‍යය හිමි විය. අද වන විට ටෙලි  තිරය  බබළවන  තරුවක් බවට පත්වී සිටින ප්‍රබුද්ධ සමග කළ සුන්දර  පිළිසඳරක සටහනයි මේ,

  • පවුලේ විස්තර?

මගේ අම්මයි තාත්තයි ජීවතුන් අතර නැහැ. මට සහෝදරියෝ දෙදෙනෙක් සිටිනවා.  දැනට ඔවුන් විදේශගත වී සිටිනවා. මට තිබෙන්නේ බොහොම කුඩා ලෝකයක්. 

  • මේ දවස්වල මොකද කරන්නේ?

මායාවි,  විසේකාරී සහ සින්ටෝ ටෙලිනාට්‍ය  සමග කාර්යබහුල වී සිටිනවා. ඒ වගේම  මගේ ප්‍රථම සිනමා නිර්මාණ දායකත්වය වන  මන්දාරා චිත්‍රපටිය ද මේ දවස්වල තිරගත වෙනවා.

  • නිරූපණ කටයුතු අත්හැරලද?

රංගන කටයුතුත් සමග ඒ සඳහා කාල වේලාව වෙන් කරගන්න හැකියාවක් නැහැ. නමුත් අවස්ථාවක් ලැබුණොත්  නිරූපණයට සම්බන්ධ වෙන්න අදහසක් තිබෙනවා.

  • චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විවිධ අය  විවිධ මත ඉදිරිපත් කරනවා. 

  • ඔයාගෙ Passion එක මොකක්ද?

රංගනය

  • වෘත්තියෙන් රංගන ශිල්පියෙක්ද?

දැනට නැහැ. මගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මූලික කටයුතු කරමින් සිටිනවා.  

  • ප්‍රබුද්ධගේ රෝල් මොඩ්ල්  කවුද?

මගේ තාත්තා. ඔහු අද ජීවතුන් අතර නැහැ. මගේ තාත්තා යුද හමුදාවේ හිටපු බ්‍රිගේඩියර් කෙනෙක්. බ්‍රිගේඩියර්  සිරිල් පියරත්න. මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මගේ තාත්තා වගේ චරිතයක් වෙන්න.

  • ජීවිතය ආදරය විවාහය ගැන ඔබ මොකද හිතන්නෙ? 

ජීවිතයට ආදරය අවශ්‍යයි. ආදරේදී ලැබීම නොලැබීම  මත  අපේ ජීවිතය හැඩගසා ගත යුතුයි.  ආදරය ඇති විට හෝ නැති විට  තමන්ව සතුටින් තබාගන්න පුළුවන් නම්  ජීවිතයේ ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දීමට හැකියාවක් ලැබෙනවා. විවාහය ගැන මගේ විශ්වාසයක් නැහැ.  අද සමාජයේ  බොහෝ විවාහක පුද්ගලයන්  වෙන වෙන ආදර සම්බන්ධතා සොයාගෙන යනවා.  ඉතින් මොකටද විවාහයක්.  මේකයි අද සමාජයේ තිත්ත ඇත්ත. 

  • ඔබේ ජීවිතයට   එන  යුවතියකගෙන්   බලාපොරොත්තු වෙන්නේ මොනවද?

මට ඇයගෙන්  අම්මගෙන් ලැබෙනවා හා සමාන ආදරයක් ලැබෙනවා නම්  එතැනින් එහාට  මම වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.  මගේ ජීවිතයේ මට ලැබුණෙම නැත්තෙ අම්මගේ ආදරය.  ඒ වගේම  මගෙන් ඇයට  ලැබෙන්න තිබෙන ආදරය රැකවරණය  සීමාවක් නැතිවම  ලබාදෙනවා.

  • ඔබ තනියම ජීවත්වෙන කෙනෙක්, එතැනදි පැමිණෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්නෙ කොහොමද?

මට වයස අවුරුදු තුනේදී  මගේ අම්මා නැතිවෙනවා.  ඒ වගේම තාත්තා  අපි තුන්දෙනා සමග රැඳුණු කාලය  අඩුයි.  ඒ තාත්තගෙ යුද හමුදා සේවය නිසා. අපි හැදී වැඩුණේ අපේ ආච්චි අම්ම ළඟ. ඉතින් කුඩා කාලයේ සිටම  මට පැමිණෙන ප්‍රශ්න අභියෝගවලට  තනියම මුහුණ දුන්නා.  විසඳාගන්න බැරිම අවස්ථාවක්  පැමිණියොත්   අක්කලා දෙන්නා ළඟට  යනවා. එයාලගෙන් ඒ සඳහා විසඳුම් ලැබෙනවා. ඉතින් අද වෙනකම්  පැමිණි ප්‍රශ්නවලට  විසඳුම් ලැබුණා. කුඩා කාලයේ සිටම  ප්‍රශ්න අභියෝගවලට  මුහුණ දෙමින් එයින් ලැබුණු පන්නරය නිසා  අද වන විට තරුණයෙක් ලෙස  මේ වගේ ලොකු ගමනක් එන්නට  හැකියාව ලැබිලා තියෙනවා. 

  • මොනවද අලුත් බලාපොරොත්තු?

විවිධ චරිතවලින් හොඳ නිර්මාණවලට  සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවා.  ඒ වගේම   සියයට සීයක්ම ප්‍රේක්ෂකයන්ගේ  මානසික සුවයට බලපාන චරිතවලට  දායක වීමට  උපරිම  උත්සාහයක් දරනවා.

  • පැමිණි ගමන ගැන මොකද හිතෙන්නේ?

මට මං ගැනම ලොකු ගෞරවයක් තිබෙනවා. අද මං යම්කිසි සාර්ථකත්වයක් ලබා තිබෙනවා නම්  එය දවසකින් දෙකකින්  ලැබුණු දෙයක් නොවෙයි.  අවුරුදු හයක  කලා ක්ෂේත්‍රය තුළ  පැමිණි ගමනක්.  තරුණයෙක් ලෙස  ජීවිතයේ ගොඩක් අත්දැකීම් ලබාගෙන  ඒ අත්දැකීම් තුළින්  ලොකු පන්නරයක් ලබාගෙන  පැමිණි ගමනක්.  මම හැම දෙයක්ම කරන්නෙ බොහොම පරිස්සමට. ඉතින් මේ ක්ෂේත්‍රයේ  මට යන්න තියෙන දුර තවමත් ඉතිරියි.

අනෙකාගේ විශ්වාසය රකින්න Read Previous

අනෙකාගේ විශ්වාසය රකින්න

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න   - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන් Read Next

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන්

Realted Post

Leave a comment