ආතතියෙන් මිදෙන්න සතුටින් ඉන්න නටන්න
චලනය කියන්නේ භාෂාවක්. ඇයි එහෙම කියන්නේ? චලනයෙන් අපගේ හැඟීම්, දැනීම් සන්නිවේදනය කළ හැකි නිසයි. හැම කෙනෙක්ම කතාබහ කරද්දී නොදැනීම අංගචලන යොදාගන්නේ ඒ නිසයි.
අපේ ශරීර අංගචලන යම්කිසි රිද්මයකට අනුව, නිර්මාණශීලී ලෙස චලනය වන්නේ නම් එය නර්තනය යනුවෙන් අපි හඳුන්වමු. නර්තනය අවුරුදු දහස් ගණනක සිට පැවත එන්නකි.
‘නර්තනය’ අපගේ හදවතේ ගැස්ම වැඩි කරන හා අපගේ මස්පිඬු ක්‍රියාකාරී තත්ත්වයෙන් පවත්වා ගැනීමට ප්‍රයෝජනවත් වන ව්‍යායාමයකි. නර්තනයෙන් අපගේ සිරුරට ලැබෙන ප්‍රයෝජන මොනවාද යන්න දැනුවත්ව සිටියත් මානසික යහපැවැත්මට උදව්වෙන ආකාරය බොහෝදෙනා දන්නේ නැත. ඒ නිසා නර්තනය හුදෙක් සංගීත ඛණ්ඩයකට කරන අංග චලන පමණක්ම නොව මොළයේ යහපත් ක්‍රියාකාරිත්වයට වැදගත් වන්නක් ලෙසද අවබෝධ කර ගත යුතුය.
නර්තනයේ යෙදෙන විට සිතට සුවදායකබවක් ඇතිවෙයි. ශරීරයට ප්‍රාණවත් බවක් ඇතිවෙයි. පර්යේෂණ මගින් පවා පෙන්වා දී ඇත්තේ ඕනෑම වයසක පසුවෙන කෙනෙකුට නර්තනය තුළින් මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කර යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගත හැකි බවයි. ඒ නිසා මේ නිර්මාණශීලී විනෝදජනක ක්‍රියාකාරකමෙන් මනසට ලැබෙන ප්‍රයෝජන මොනවාදැයි දැනගැනීම වැදගත් වෙයි.
සිත සතුටු කරන ‘සතුටු හෝමෝන’
නර්තනයේ යෙදීමෙන් ගතට මෙන්ම සිතට පහසුවක්, සැහැල්ලුවක්, සන්සුන්බවක් දැනෙන නිසා ‘සතුටු හෝමෝන’ ශ්‍රාවය වීමට පටන් ගනී. එවිට සිතේ තිබෙන නොසන්සුන්කාරී හා ආතති තත්ත්වය අඩු වේ. අනෙක් කාරණය අවධානය පසුබිම් සංගීතයට, පාද චලනයන්ට යොමු වන නිසා දුක්, කරදර හා වෙනත් ප්‍රශ්න සිතෙන් ඈත් කරයි.
ආත්ම විශ්වාසය ඇති කරයි
ඔබගේ නර්තනය ගැන ඔබට ඇතිවන්නේ අභිමානයකි. නර්තනයත් සමගම සිතට දැනෙන සැහැල්ලුව නිසා තමන්ට තමන් ගැනම යහපත් හැඟීමක් ඇතිවෙයි. එසේම ඔබ ගැන විශ්වාසයක් ගොඩ නැගේ. බොහෝවිට උත්සවයකදී හෝ වෙනත් විශේෂ අවස්ථාවකදී දිගටම නර්තනයේ යෙදෙන්නට පොලඹවන්නේ මේ ආත්ම විශ්වාසයයි.
මතකය ශක්තිමත් කරයි
මොළයේ සෛලවල ක්‍රියාකාරිත්වය හොඳින් පවත්වාගෙන යාමට පිටිවහලක් ලැබෙන නිසා මතක ශක්තිය මෙන්ම අවධානය රඳවා තබා ගැනීමේ හැකියාවද වැඩි දියුණු කරයි. පර්යේෂණවලින් පෙන්වා දී ඇත්තේ වයසට යාමත් සමග ඇති විය හැකි ‘ඩිමෙන්ෂියා’ වැනි තත්ත්ව වළක්වා ගැනීමටද නර්තනයෙන් උදව්වක් ලැබෙනබවයි.
අලුත් සමාජ සබඳතා
අන් අයත් සමග එකට නර්තනයේ යෙදීමේදී එකිනෙකා අතර සබඳතා ඇතිවෙයි. අන් අයත් සමග කතා කරමින් නර්තනයේ යෙදීමේදී සිතට සතුටක් ඇතිවෙයි. අලුත් පුද්ගලයින් හඳුනා ගැනීමට අවස්ථාව සැලසෙයි.
මානසික රෝග ඇතිවීමේ හැකියාව අඩු කරයි
මොළයේ සෛල අතර සබඳතා ශක්තිමත් කර, ඒවා හොඳින් ක්‍රියාකිරීමට මග සලසන නිසා සමහර මානසික රෝගාබාධ ඇතිවීම ද වළක්වයි.
හොඳ ප්‍රතිකාර ක්‍රමයක්
විසාදය, කාංසාව වැනි රෝගාබාධවලදී නර්තනයෙන් ලැබෙන ප්‍රයෝජන ඉතා ප්‍රතිඵලදායක ය. එසේ වන්නේ එමගින් හිතේ ඇතිවෙන සෘණාත්මක හැඟීම් පිට කිරීමට හා මනස ප්‍රබෝධමත් කිරීමට ඉඩ ලැබෙන නිසාය.
ඒවාගේම සමාජය ඉදිරියේ නොසන්සුන්බවක් දක්වන අයට නර්තනය මගින් නොදැනුවත්වම අන් අයත් සමග බැඳීම් හා සන්නිවේදනය ඇති වෙන නිසා විශාල සහනයක් දැනේ.
අද සැම කෙනෙකුම ගත කරන්නේ කාර්ය බහුල ජීවිතයකි. ඒ නිසාම ඇතැම් විට නර්තනයට කාලයක් වෙන් කිරීමට ඔබ මැළිවෙනු ඇත. එහෙත් නර්තනය කයටත් මනසටත් ව්‍යායාමයක් ගෙන දෙන්නක් බව අමතක නොකළ යුතුය.
සුබෝධිනී පෙරේරා
Leave a comment