ආදරේ වෙනුවට සමහර පුංචි හිත්වල වෛරය තැවරුණේ කොහොමද?

“මට අම්මව පේන්න බෑ.....”

“ඇයි පුතේ ඔයා එහෙම කියන්නේ?”

“නෑ ඔයා හැමවෙලේම කරන්නේ මට වද දෙන එකනේ? මට කිසිම නිදහසක් නෑ. මම මොකක් කළත් ඔයාට ඒකේ පේන්නෙම වැරැද්දක්නේ.” 


“එහෙම කියන්න එපා අම්මලා එහෙම තමයි. අම්මලා එහෙම හැම දෙයක්ම හොයන්නේ එපා කියන්නේ දරුවන්ට තියෙන ආදරේටනේ.”


“ඒ වුණාට මට එහෙම දැනෙන්නේ නැහැනේ....”


හුඟක් වෙලාවට තාත්තලාගේ ආදරේ නිහඬව තේරුම්ගත් ආදරයක් වුණාට අම්මලාගේ ආදරේ නම් නිහඬ වෙන්නෙ බොහොම කලාතුරකින්. ඒ නිසා අපේ අම්මලා දරුවන්ට වැඩිපුර උපදෙස් දෙන්න, හැමවෙලේම ඒ අය කරන වැඩවල හොඳ නරක විවේචනය කරන්න, ළමයගේ කැමති අකමැතිබව විමසන්නේ නැතිවම ඒ අය විවිධ ඉගෙනුම්, ක්‍රීඩා අංශවලට යොමුකරන්න උත්සහ කරනවා. ඒක ඉතින් හුඟක් මවුවරුන් තමන්ගේ දරුවන් යහමඟට ගන්න, ආදරේට කරන දෙයක්. ඒත් ඉතින් සමහර වෙලාවට පුංචි මනසට ඒ උපදෙස්, විවේචන බර වැඩි වෙන්නත් බැරි නැහැ. මොකද අම්මා තාත්තා දරුවන්ගේ අනාගතේ ගැන දරුවෝ පුංචි කාලේ ඉඳලම සැලසුම් කළාට දරුවන්ගේ ලෝකේ ඊට වඩා වෙනස්.  වැඩිහිටියන්ට නීති රීති අදාළ වුණත් ඒ පුංචි සුරංගනා ලෝකවලට සීමා මායිම් එකතු කරන්න ඕනෑ හරිම පරෙස්සමෙන්. එහෙම නොවුනොත් ඒ අය වැඩිපුරම විශ්වාස කරන, ආදරය කරන තමන්ගේ මවුපියන් ඒ අයට පේන්නේ ඒ අයගේ ජීවිතවලට කරදරකාරයෝ විදියට. එපා කියන දේම දරුවෝ වැඩිපුර කරන්න උත්සහ කරන්නෙත් ඒ නිසයි. මවුවරුන්ට පමණක් නොවෙයි දරුවන් පියවරුන් සමගත් විවිධ හේතු නිසා උරණ වෙන්නේ ඒ නිසයි.  


තමන්ගේ මව ඝාතනය කරන්න සැලසුම් කරන පුංචි දරුවෝ ගැනත් පසුගිය දිනවල විවිධ මාධ්‍ය තුළින් දැනගන්න ලැබුණා. මේ විදියට මවට පියාට සමහර පුංචි දරුවෝ වෛර කරන්න පෙලඹෙන්න හේතුව කුමක්ද? අම්මා තාත්තා විදියට මේ ගැන දැනුවත්වීම මවුපියන්ට වගේම දරුවන්ටත් එයාලගේ ලෝකය ලස්සනට ගොඩනඟා ගන්න හේතුවෙනවා. 

 


මතීෂ හොයපු විසඳුම 

අදහස් දැක්වීම: ආචාර්ය 
අනූෂා එදිරිසිංහ,
අධ්‍යක්ෂක, ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රය,
කැලණිය විශ්වවිද්‍යාලය.

 


මේ සත්‍ය සිදුවීමක්. අපි ඔහුව හඳුන්වමු මතීෂ කියලා. මතීෂ කියන්නේ අවුරුදු අටක් පමණ වෙන පාසල් යන පුංචි පුතෙක්. පුංචි කාලේ හුඟක් දරුවෝ තාත්තටත් වඩා සමීප වෙන්නේ අම්මට. ඉතින් එයාලගේ ලෝකේ වීරයා තාත්ත වෙනකොට අම්මා තමයි එයාලගේ මුළු ලෝකයම වෙන්නේ. මතීෂත් ඒ වගේම අම්මට හුඟක් ආදරේ කරපු දරුවෙක්. ඒ වුණත් මතීෂගේ පුංචි හිතට දවසින් දවස අම්මගේ ජීවිතේ ගැන ඇති වුණේ බයක්. ඒ බය මතීෂට දැනුණේ වෙන කවුරුත් නිසා නෙවෙයි එයාගෙම තාත්තා නිසා.


තාත්තා බීලා ඇවිත් අම්මට හිරිහැර කරන විදිය, අසභ්‍ය වචනවලින් බණින හැටි හැම දවසකම මතීෂ දකිනවා. සමහර වෙලාවට කරන්න දෙයක් නැති නිසා මේ කොලු පැටියා තාත්තා එන වෙලාවට කොහේහරි මුල්ලකට වෙලා හැංගිලා ඉන්න පුරුදු වුණා.


“අම්මේ තාත්තා එන වෙලාවට ඔයත් කොහේහරි හැංගෙන්න...” මතීෂ අම්මට එහෙම කියපු වාර අනන්තවත් තිබුණා. දවසින් දවස තාත්තගේ මේ කරදරේ වැඩි වෙද්දි මේ පුංචි හිතට නරක අදහසක් එනවා. 
තාත්තා මැරුවොත් නම් අම්මට ආයේ කරදර කරන්න කෙනෙක් නැහැ. මට බයකුත් නැහැ. 


මතීෂ එහෙම හිතලා ගෙදර තිබුණු පුංචි පිහියක් හංගල තියාගෙන තාත්තව මරන්න සැලසුම් කරනවා..... 


මවුපියන්ගේ හැසිරීම නිසා මේ දරුවන් පීඩා විඳින එක් පැත්තක්. 


මේ කතාව ඇතුළෙ මවුපියන්ට තමන්ගේ දරුවන්ගේ ජීවිත ගැන හිතන්න දේවල් හුඟක් තියෙනවා. දරුවන් මවුපියන්ට වෛර කරන තැනට පත්වෙන්න හේතු ගණනාවක් ඔවුන්ගේ ජීවිත ඇතුළෙ මේ විදියට නිර්මාණය වෙන්නේ මවුපියන් නොසිතන විදියට. 

 


දරුවො ඉන්නේ පීඩනයෙන් 
ඒ කෙසේ වුවත් මේ ගෙවන කාලය දරුවන්ගේ ජීවිතවලට සතුටු දායක නිදහස් කාලයක් නොවෙන බව මුලින්ම මවුපියන් තේරුම්ගන්න ඕනෑ. දරුවන් සිටින්නේ විශාල පීඩනයකින්. ඉතින් ඒ පීඩනය ඇතුළෙ ඔවුන් මනසින් කඩාවැටෙන විට මවුපියනුත් ඔවුන්ට වැඩිපුර මනසට වදයක් වෙන විදියට හැසිරෙනවා නම්, කතා කරනවා නම්, එයත් දරුවන්ගේ මානසික මට්ටම වෙනස් කරන්න බලපානවා. එයාලා හිතන පතන විදිය රළු වෙනවා. 
උදාහරණයක් විදියට ඒ ගැන කියනවා නම් මේ දිනවල දරාගන්න අපහසු ආර්ථික ගැටලු ඉදිරියේ මවුපියන් වගේම දරුවනුත් අසරණයි. සමහර වෙලාවට ගෙදර අම්මා, තාත්තට කන්න හරියට කෑමක් බීමක් නැති වුණත් දරුවන්ට මොනවහරි දෙයක් කන්න හදල දීලා ඔවුන් ඉස්කෝලේ යවනවා. එහෙත් පාසල ඇතුළට ආවාම විවිධ මට්ටම්වල දරුවෝ පන්තිය ඇතුළෙ එකතුවෙනවා. ඒ අතරේ යමක් කමක් තියන පවුලක දරුවෙක් අරගෙන එන කෑම එක, දාගෙන එන සපත්තු දෙක, අරන් එන පොත් බෑග් එක, තමන්ගේ ළඟ නැතිවුණත් යාළුවා ළඟ තියන සල්ලි ආදී සියල්ල දිහා අඩුපාඩු නැති බැරිකම් තියන දරුවෝ බලා සිටිනවා. සමහර වෙලාවට පන්තියේ යාළුවෝ කීයක්හරි අරන් ගිහින් කැන්ටිමෙන් මොනව හරි කඩචෝරුවක් එහෙම කන වෙලාවට, අමතර වියදමක් කරන්න හැකියාවක් නැති පවුලක දරුවෙක් තමන්ට එහෙම වියදම් කරන්න හැකියාව නොමැතිකම ගැන හිත යටින් දුක්වෙනවා. ඒ වගේම අම්මා තාත්තා තමන්ට ඒ පහසුකම් ලබා නොදීම ගැන හිත්තැවුල් ඇතිකර ගන්නවා. 


ඉන්පසු ඔවුනුත් තමන්ගේ අම්මා තාත්තගෙන් ඒ පහසුකම් බලාපොරොත්තු වෙනවා. එහෙම වෙලාවට මොනතරම් නැති බැරිකම් තිබුණත් ඒ පුංචි හිත්වලට අම්ම තාත්තගේ අසරණකම් තේරුම් ගන්න අමාරුයි. එවැනි අවස්ථාවලදී දරුවෝ මවුපියන් කෙරෙහි කෝපයක් ඇතිකර ගන්නවා. තමන්ට අවශ්‍ය දේවල් ඉල්ලා හඬන අවස්ථා තිබෙනවා. ඒ තරහ හිත් ඇතුළෙ තියාගෙන මුරණ්ඩුකම් පෙන්වනවා. මේ වගේ වෙලාවට මවුපියන් විදියට ඔබ කටයුතු කරන්න ඕනෑ ඉතාමත් පරිස්සමෙන් සහ තමන්ගේ දරුවා ගැන හොඳ අවබෝධයකින්.

 


ඔබේ මානසික පීඩනය දරුවො පිටින් යවන්න එපා 
සමහර විට දරුවෙකුගේ කුඩා මනසට ඕනෑ කරන දේ වැඩිහිටියෙක් විදියට ඔබට අනවශ්‍ය දෙයක් විදියට හැඟෙන්නට පු`ඵවන්. කෙසේ නමුත් මවුපියන්ට එය අනවශ්‍ය විදියට දැනුණත් ළමයගේ ලෝකයේ ඔහු ඉන්නේ කැමති දේවල් නොලැබීම හේතුවෙන්, යම් පීඩාකාරී මනසක. එහෙම අවස්ථාවක විශේෂයෙන් මවුපියන් ලෙස ඔබ නිතරම දරුවට උපදෙස් දෙනවා නම්, නිදහසක් නැතිව නිතරම කෑගසනවා නම්, අණ කරනවා නම්, බිය ගන්වනවා නම්, ඔහුගේ අදහස්වලට ඇහුම්කන් නොදෙනවා නම්, ඔවුන්ට ඔබ කොතරම් ආදරය කළත් ඒ ආදරය දැනෙන්නේ නැහැ. නිතරම මවුපියන් කෙරෙහි වෛරයෙන් කටයුතු කරන්න පෙලඹෙනවා. ඒ නිසා මේ දිනවල මවුපියන් තමන්ගේ කුඩා දරුවන් සමග හැකි තරම් ආදරණීය ලෙස ගනුදෙනු කරන්න ඕනෑ. දරුවන්ගේ ලෝකයේ ඔවුන්ට දැනෙන්න ආදරය කරන ක්‍රමය සොයාගැනීමත් මවුපියන් මේ මොහොතේ ලබන ජයග්‍රහණයක් බවත්, එය ඉතා හොඳ අනාගත ආයෝජනයක්බවත් මතක තබාගන්න. 

 

නයනා උදයංගනී 


 

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’ Read Previous

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’

සියල්ල අහිමි වුවත්  ‘හැර නොයා රකින’ ප්‍රේමය Read Next

සියල්ල අහිමි වුවත් ‘හැර නොයා රකින’ ප්‍රේමය

Realted Post

Leave a comment