ඇයත් එක්ක ජීවිතේ හරිම ලේසියි - Amila karunanayake

මේ දවස්වල තිරගත වන ‘කම්බිලි’ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් අතරට එන  අමිල කරුණානායක එහි පණදෙන්නේ ප්‍රධාන චරිතයට. මෝස්තර නිරූපණ හා නිර්මාණ ක්ෂේත්‍රයෙන් කලාවට පිවිසි ඔහු මේ වනවිට ව්‍යාපාරයක්ද පවත්වාගෙන යනවා. මේ පිළිසඳර කඩවසම්, දක්‍ෂ රංගන ශිල්පී අමිල කරුණානායක සමගයි. 

  • මේ දවස්වල මොකද කරන්නේ?

මේ දවස්වල කම්බිලි චිත්‍රපටිය තිරගත වෙනවා. එහි ප්‍රචාරක වැඩකටයුතු සමග කාර්යබහුලයි. ඒ වගේම තව අලුත් චිත්‍රපටයක වැඩ කරනවා.

  •  ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමහර අය  චිත්‍රපටිය දෙවරක් නරඹා තිබෙනවා. මෙවැනි ප්‍රතිචාර ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. මෙවැනි කතාබහට ලක්වෙන නිර්මාණයක් ලැබීම මට ලොකු සතුටක්. ඒ වගේම නිර්මාණයකට රංගනයෙන් දායකත්වය ලබාදෙන්න  කරන කැපවීම්  වලට  මෙවැනි ප්‍රතිචාර ලැබීම ඉතාමත් සතුටුදායකයි. චිත්‍රපටයේ  අධ්‍යක්ෂක  ප්‍රසාද් කළුපහනගෙන්  ලැබුණු ආරාධනාවකට අනුවයි මම මෙහි රංගනයට එකතු වෙන්නෙ.  

  • විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රයෙන් ඔබ ඉවත් වෙලාද?

රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න අවශ්‍ය නිසා නිරූපණ කටයුතුවලින් ඉවත් වුණා. මගේම සන්නාමයකින් යුත් ව්‍යාපාරයක් පවත්වාගෙන යන නිසා විලාසිතා නිර්මාණය නම්  නැවතිලා නැහැ. 

  • ටෙලිනාට්‍යය කලාවට එන්න අදහසක් නැද්ද?

මට වැඩිපුරම ආරාධනා ලැ​ෙබන්නෙ සිනමා නිර්මාණවලට. ඒ වගේම කෙටි නාට්‍යවලට සම්බන්ධ වී තිබෙනවා. නමුත් මෙගා නාට්‍යවලට සම්බන්ධවෙන්න අදහසක් නැහැ. සිනමා නිර්මාණවලින් ඉදිරියට යෑමට අදහසක් තිබෙන නිසා මෙගා ටෙලි නාට්‍ය ඒ සඳහා බාධාවක්  වෙයි කියලා හිතනවා. 

  • මේ කාර්යබහුලත්වයත් සමග විවාහ ජීවිතය සමබර කරගන්නේ කොහොමද?

මගේ බිරිඳ ඉංජිනේරුවරියක්.  විවාහයෙන් පසුවයි මම නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඉන්පසුවයි රංගනය සඳහා යොමුවන්නේ. ඉතින් මගේ වැඩකටයුතු පිළිබඳව බිරිඳ ලොකු අවබෝධයකින් ඉන්නේ. මගේ සතුට වෙනුවෙන් බිරිඳක් විදියට ඇය  ලොකූ කැපකිරීමක් කරනවා. ඒ වගේම මට ලොකු සහයෝගයක් දෙනවා. 

  • ඔබේ කාර්යබහුලත්වය දරුවන්ට දැනෙන්නෙ කොහොමද?

මේ කාර්යබහුලත්වයත් එක්ක වෙලාව වෙන් කරගන්න එක තමයි ප්‍රශ්නය. ඒ වුණත්‍් දරුවෝ දෙන්නත් මගේ වැඩ කටයුතු ගැන දැනුවත්.  පුතයි දුවයි දෙන්නම කලාවට කැමතියි. දුවට අවුරුදු 4යි. දැනටත් ඩාන්ස් කරනවා. 

  • බිරිඳ වෙනුවෙන් කාලය වෙන් කර ගන්නේ කොහොමද?

අපි දෙන්නගේ ආදර කතාව පටන් ගත්තේ  උසස් පෙළ අවසාන වෙනවත් සමගමයි. ඒ වගේම  මේ ජනප්‍රියත්වය ලැබෙන්නට පෙරයි අපි දෙදෙනා විවාහ වුණේ. ඉතින් මගේ වැඩ කටයුතු ගැන ඇය අවබෝධයෙන් ඉන්නේ. මගේ බිරිඳව සතුටු කරන්න මහා ලොකු දේවල් කරන්න ඕන නැහැ. මම ඇය වෙනුවෙන් කරන පොඩි දෙයකින් පවා  ඇය සතුට වෙනවා.  වැඩ අතරතුර එක දුරකථන ඇමතුමකින් ඇය ගැන හොයලා බැලීමෙන්  ඒ වගේම  නිවසට එන විට ඇයව වැලඳ ගැනීමෙන්, වැනි  පොඩි පොඩි දේවලින්  ඇය සතුටු වෙනවා. ඒ වගේම මගේ නිවාඩු දවසට Outing  වගේ යන්න, එකට එකතුවෙලා චිත්‍රපටි බලන්න ඒ වගේ දේවලිනුත් ඇය සතුටු වෙනවා. මම බොහෝම පුංචි පුංචි දේවල් ඇය  වෙනුවෙන් කරන්නේ. නමුත්  මගේ බිරිඳ මං වෙනුවෙන් විශාල කැප කිරීමක් කරනවා.

  • කලාවට අමතරව  ඔබ දක්ෂ මොනවටද?

පාසල් කාලයේ  මම ක්‍රීඩකයෙක්. ඒ කාලයේ  දුර පැනීම තරගයෙන් සමස්ත ලංකා වාර්තාවක් තැබුවා. ඒ වගේම ඇඳුම් මෝස්තර නිර්මාණය සඳහාද  මට හැකියාවක් තිබෙනවා.

  • චරිත තෝරා ගැනීමේදී එකම රාමුවකට කොටුවෙලා ඉන්නද බලාපොරොත්තුව?

නැහැ. චරිතාංග රංගන ශිල්පියෙක් ලෙස ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තිබෙනවා.  

පුංචි පැටවුන්ගේ සිනහව ගින්නෙන් දවාලූ තායිලන්තයේ කඳුලු කතාව.... Read Previous

පුංචි පැටවුන්ගේ සිනහව ගින්නෙන් දවාලූ තායිලන්තයේ කඳුලු කතාව....

අප්පච්චිගේ නම රකින්නේ මමලු - Chathu  Rajapaksha Read Next

අප්පච්චිගේ නම රකින්නේ මමලු - Chathu Rajapaksha

Realted Post

Leave a comment