ඉල්ලපු එක නෙවෙයි ගෙනත් දෙන්නේ ඔන්ලයින් බඩු ගන්නේ පරෙස්සමින්

 

මේ දවස්වල අන්තර්ජාලය පුරා විනාඩි කිහිපයක් සැරිසැරුවත් හැම තැනම දකින්න ලැබෙන්නෙ ඔන්ලයින් ඇණවුම්. කතාවට කියනවා වගේ ඉදිකටුවේ සිට ඕනෑම දෙයක් ඕනෑම තැනකින් තමන්ගෙ අතටම ගෙන්නගන්න පුළුවන් විදියේ වටපිටාවක් මේ වෙද්දි ලෝකය පුරාම සැදී අවසානයි.


මේ පිළිබඳව බොහෝ දෙනෙක් වැඩි උනන්දුවක් වගේම වැඩි නැඹුරුවක් දැක්වූයේ කොරෝනා රෝගය රටපුරා ව්‍යාප්ත වූ කාලසීමාවේදි. නිවෙසින් එළියට බහින්න බැරිවුණු රටවැසියන්ට ඔන්ලයින් ඇණවුම් මහත් අස්වැසිල්ලක් වුණා.


ඇත්තටම කාර්යබහුල ජීවිතයක් ගතකරන බොහෝ දෙනකුට මෙම ඇණවුම් ක්‍රමය ඉතා වාසිසහගත වුවත් බොහෝ පාරිභෝගිකයන්ගේ චෝදනා අඩුවකුත් නැහැ.


යම් භාණ්ඩයක් ඔන්ලයින් ඇණවුම් කිරීමේදී බොහෝ දෙනකු නගන චෝදනා වන්නේ තමන් ඇණවුම් කළ භාණ්ඩය ඒ විදියටම නොලැබුණුබවයි.


උදාහරණයක් ලෙස අපි ගවුමක් ඇණවුම් කළා යැයි සිතමු. අපි ගවුමක් ඇණවුම් කරන්නේ ඒ ගවුමේ විලාසිතාව, වර්ණය, රෙදි වර්ගය, ප්‍රමාණය ආදිය පින්තූරයකින් සහ ඔවුන් සඳහන් පළ කළ තොරතුරුවලින්. එහෙත් මුදල් ගෙවූ පසු නිවෙසට ලැබෙන එම ඇඳුමේ වර්ණය, රෙදි වර්ගය, ප්‍රමාණය සියල්ල වෙනස්. මෙතැනදි පාරිභෝගිකයාට ගත හැකි පියවර කුමක්ද කියා බොහෝ දෙනෙකුට නිසි අවබෝධයක් නැහැ.

 


කොන්දේසි ගැන දැනගෙන ඉන්න 
ඔන්ලයින් හරහා භාණ්ඩයක් මිලදී ගන්නවා නම් ඔවුන් විසින් සඳහන් කරන ලද වෙනත් අයගෙන් අදහස් දැනගන්න 
කොන්දේසි නිසි පරිදි කියවා අවබෝධයක් ලබාගන්න.


තමන් මිලදී ගන්නා භාණ්ඩය නොගැළපෙනවා නම් එය නැවත මාරු කරනවාද? මුදල් ලබා දෙනවාද? ඒ පිළිබඳව යම් සහනයක් දෙනවාද? යන්න අවබෝධ කරගෙන භාණ්ඩය ඇණවුම් කරන්න.

 


අදහස් දැනගන්න
ඔන්ලයින් ඇණවුම් පිළිබඳව වැඩිපුර දකින්න ලැබෙන්නේ f්ජැඉදදන ,වට්ස්ඇප් හරහා. එම නිසා යම් භාණ්ඩයක් මිලදී ගැනීමට කලින් මිලදී ගත් අයගේ අදහස් දැනගන්න අවස්ථාව තිබෙනවා. බොහෝවිට එම අදහස් 100%ක්ම නිවැරදි නොවුණත් තමන් ඇණවුම් කරන භාණ්ඩය පිළිබඳව යම් අවබෝධයක් ලබාගත හැකියි. බොහෝ අවස්ථාවලදී භාණ්ඩය පිළිබඳව වැරදි මත එහි පළවී තිබුණොත් එම පණිවුඩ ඉවත් කරන්නත් අදාළ පිරිස් කටයුතු කරන නිසා වඩා සැලකිලිමත් විය යුතුයි.

 


පැමිණිලි කරන්නෙ කාටද?
ඇණවුම් කරන ලද භාණ්ඩය ගැටලුකාරී නම් ඒ සඳහා මිලදී ගත් ස්ථානයෙන් සහනයක් නොලැබෙන්නේ නම් ඒ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කළ හැකියි. එසේ පැමිණිලි කිරීමට භාණ්ඩ මිලදී ගැනීමට මුදල් තැන්පත් කළ ගිණුම් අංක, රිසිට්පත්, දුරකථන අංක, වට්ස්ඇප්, මැසෙන්ජර් පණිවිඩ ළඟ තබාගන්න. එහෙත් එසේ පැමිණිලි කිරීමට අදාළ ආයතනයේ ලිපිනය බොහෝ විට සඳහන් නොවීම නිසා මෙම ගැටලු විසඳීම සඳහා යම් කාලයක් ගතවෙනවා. එම නිසා බොහෝ දෙනකු මෙම පැමිණිලි ඉදිරිපත් කිරීමට මැළිකමක් දක්වනවා. අවසානයේදී අතරමගදී අලාභය විඳගෙන අතහරිනවා.

 


දෙවරකට වඩා සිතන්න
ඕන්ලයින් ඇණවුම් කිරීමට පෙර නම් දෙවරකට වඩා සිතිය යුතුයි. මන්ද මිල අධික භාණ්ඩයක් මිලදී ගෙන යම් පාඩුවක් දරන්න වුවොත් එය පසුම්බියටත් දරාගන්න බැහැ. එහෙත් විශ්වසනීයත්වය රැකගෙන එම කාර්යය නිවැරදිව සිදුකරන පිරිස් ඕනෑතරම් සමාජයේ සිටින අතර වංචනිකයන්ද නැතිවා නොවෙයි. එම නිසා ඔන්ලයින් ඇණවුම් කිරීමේදී අවධානයෙන් වගේම අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. 

සුජිත් ප්‍රසංග


 

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද? Read Previous

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද?

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු Read Next

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු

Realted Post