ඔබ කිසිදා අත් නොහරින නිහඬ ආදරවන්තයෝ
දූ දරුවන් වයසින් වැඩෙත්ම, විශේෂයෙන් යොවුන් වියේ පසුවෙද්දී මවුපියන් හා විවිධ හේතු මුල් කරගෙන ඔවුනොවුන් අතර ගැටුම් ඇති වේ. සමහර අවස්ථාවල මවුපියන් සිතන ආකාරයත් දරුවන් සිතන ආකාරයත් අතර පවතින පරස්පර විරෝධීභාවය මුල්කරගෙන මෙසේ මත ගැටුම් ඇතිවිය හැකිය. ඒවාගේම තමා දැන් ‘වැඩිහිටි’ ස්වාධීනව තීන්දු තීරණ ගැනීමේ අයිතිය හා හැකියාව තමන් සතුව ඇත යන සිතුවිල්ල මුල්කරගෙනත් මෙසේ මතගැටුම් ඇතිවිය හැකිය. මේ කුමන හේතුවක් නිසා හෝ තරුණ දූ දරුවන් හා මවුපියන් අතර ඇතිවන්නා වූ මතගැටුම් කෙතරම් දුරට සාධාරණ වේවිද? අද අපි ඒ ගැන කතා කරමු.
ඔබ ගැන හරියටම දන්නේ කවුද?
අදහස් දැක්වීම: -සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාලයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ
යමුනා එල්ලාවල |
මවුපියන්ට ඇති එකම බලාපොරොත්තුව හා මිල කළ නොහැකි වස්තුව වන්නේ තම දූ දරුවන්ය. මවුපියන් ඔබට කෙතරම් ආදරෙයිද යන්නත්, ඔවුන් හැම දෙයක්ම කරන්නේ තමන්ගේ යහපතට බවත් තරුණ දරුවන් අමතක නොකළ යුතුය. සමහර විට ඔවුන් ඔබට දැඩි බවක් දක්වන්නේද ඔබට සිදුවිය හැකි අනතුරු හා අවදානම් තත්ත්වයන්ගෙන් මුදවා ගැනීම සදහාය.
ඔබ තුළ ඇති වන තරහව හෝ නොරුස්සන සුලුබව ඔබගේ මවුපියන් මතින් යැවීම ඉතා පහසුය. එහෙත් ඔබ එසේ කිරීමට පෙර ඔබ පියවරක් පසුපසට ගෙන දැනටමත් ඔවුන් ඔබ වෙනුවෙන් කොතෙක් දෑ කර ඇත්දැයි අවබෝධ කර ගත යුතුයි. ඒ නිසයි මවුපියන්ට ඔබගේ ගෞරවය ලබා දීම හා ඔවුන් වටහා ගැනීම කළ යුත්තේ.
දරුවෙකු ලෙස ඔබට මවුපියන්ට ඇහුම්කන්දීමට, ඔවුන්ට ගරු කිරීමට, හික්මීමෙන් යුතුව කටයුතු කිරීමට, ඔවුන්ගේ කැපකිරීම්වලට - ඔබ වෙනුවෙන් වන මහන්සියට ස්තූතිවන්තවීමට මෙන්ම පෙරළා ඔවුන්ට ආදරය දැක්වීමට ඔවුන්ටත් වඩා වැඩි වගකීමක් ඇතිබව මතක තබාගන්න.
ඔබේ මවුපියන් ජීවන ගමනේ ඔබට වඩා බොහෝ දුරක් ගෙවා අවසන්ය. තාක්ෂණික ලෝකයේ දරුවන් ලෙස ඔබ විද්‍යුත් මෙවලම් භාවිතයේදී ඔවුන්ට වඩා දැනුමින් පොහොසත් යැයි ඔබට හැඟුණද අත්දැකීම් නැමැති ජීවිත පොතේ ඔවුන් සිටිනුයේ ඔබට වඩා ගව් ගණනක් ඉදිරියෙනි. ඒ නිසා ඔවුන්ගේ උපදෙස්, අවවාද, මඟපෙන්වීම් අවතක්සේරු කිරීමට, නොසලකා හැරීමට පෙලඹීම නුවණට හුරු නොවේ.
ඔබ ගැන හොඳින්ම දන්නේ ඔබගේ මවුපියන් මිස වෙන කවුරුවත් නොවේ. ඔබ කොතෙක් මැළි වුවත් ඔවුන් ඔබට වඩා ජීවත්වීමේ කලාව ප්‍රගුණ කර ඇති බවත්, ඔබට හොඳම දේ කුමක්දැයි දන්නා බවත් පිළිගැනීමට සුදුසු කාලයයි මේ. ඒ නිසා ඔබ ඔවුන්ට ඇහුම්කන් දිය යුතුවෙනවා පමණක් නොව ඔබට දෙන උපදෙස්, මඟපෙන්වීම්වලට ගෞරව කළ යුතුය. ඔබට මේ අවස්ථාවේ තේරුම් ගත නොහැකි වුවත්, ඔවුන් බොහෝ දේ ඔබට පවසන්නේ ඔබගේම යහපත වෙනුවෙනි. ඔබ හික්මීමත්, ගෞරවනීය බවක් සහිත පරිසරයක් තුළින් ගොඩනැගෙන විට ඔබටත්, ඔබගේ මවුපියන්ටත් ඉදිරි ජීවිතය ඉතා පහසුවෙන් ගත කිරීමට හැකිවනු ඇත.
මවුපියන්ට ගෞරව කිරීම වැදගත් වන්නේ ඇයි?
‘ගෞරවය අප කෙනෙකුට නිකම්ම දෙන දෙයක් නොවේ. එය අනෙක් තැනැත්තා උපයා ගත යුතු දෙයකි. මවුපියන් අප වෙනුවෙන් කර ඇති අප්‍රමාණ වූ දේ තුළින් එය නිතැතින්ම උපයාගෙන ඇත. ඔබ ඔවුන්ට ගෞරව කරන බව ඔවුන්ට දැනෙනවා නම් ඔවුන්ගේ ජීවිතය වඩා අරුත්බර හා ප්‍රීතිමත් වනු ඇත. ඔබ ඔවුන්ට ගෞරව කරන තරමට ඔවුන් සමග ඔබේ ඇති සම්බන්ධතාව ශක්තිමත් වනු ඇත. ඒ නිසා ඔබ විටින් විට ඔවුන් සමග වාද විවාද ඇති කර ගත්තද ඔබ කුමන වයසක සිටියද අවසානයේ ඔවුන්ට ගරු කිරීමට මතක තබාගන්න.
ඔබට කලින් ඔබගේ මවුපියන් මෙලොවින් සමු ගන්නට ඇති ඉඩකඩ බොහෝය. ඔවුන් කවදා ඔබගේ ජීවිතයෙන් සදහටම සමුගෙන යා දැයි ඔබවත් ඔවුන්වත් නොදනී. ඒ නිසා ඔවුන් ඔබ වෙනුවෙන් කරන දේ අගය කිරීම හා ඔවුන්ට නිසි ගරුත්වය දැක්විය යුතුය. ඔබ ඔවුන්ට ආදරය කරන බව ඔවුන්ට දැනෙන්නට සලස්වන්න. යම් විදියකින් ඔබ ප්‍රමාද වුවහොත් ඔබගේ මුළු ජීවිත කාලයේම පසුතැවෙන්නට සිදුවනු ඇති.
මවුපියන්ට ගරු කරන්නේ කොහොමද?
* මවුපියන්ව තේරුම් ගන්න. ඔවුන් පිළිබඳ ධනාත්මක යහපත් සිතුවිලි ඇති කරගන්න.
* මවුපියන් අගය කරන්න.
*ඔබ ඔවුන් ගැන සොයා බලන බව දැනෙන්නට සලස්වන්න.
* ඔවුන් සමග කටයුතු කිරීමේදී
* ඔබ ගතිගුණ, හැසිරීම් අතින් හොඳ දරුවෙකු වී ඔවුන් ‘සාඩම්බර මවුපියන්’ බවට පත් කරන්න. එය ඔබගේ මවුපියන්ට ඔබට දිය හැකි හොඳම තිළිණයයි.
ඔබ මවුපියන් සමග කතාබස් කරන ආකාරය දියුණු කරගන්න. යහපත් සන්නිවේදනයක් තුළින් ඔවුනොවුන්ගේ සිතුවිලි නිවැරැදිව අවබෝධ කර ගැනීමට ඉඩ සැලසෙයි. ඔවුන් සමග කතා කිරීමේදීි ඔබ භාවිතා කරන වචන, හඬ පාලනය, අතපය හැසිරවීම ආදිය ගැන ඉතා කල්පනාකාරී වන්න. මක්නිසාද යත් ඔවුන්ගේ හිත රිදවන යමක් ඔබගේ මුවින් ගිලිහුණහොත් එය නැවත ගත නොහැකි නිසාය.
මවට, පියාට එක සමානව සලකන්න. ඔවුන්ගේ අධ්‍යාපනය, සමාජ මට්ටම කුමක් වුවත් ඔබගේ මවුපියන් පිළිබඳව ‘ආඩම්බර’ වන්න. ඔබගේ යහළුවන්, නෑදැයින්ට වඩා ඔවුන්ට ඔබගේ ජීවිතයේ ප්රමුඛ තැනක් දෙන්න. ඔවුන් ඒ අය සමග විවේචනය නොකරන්න. සතුටකදී ඔබ වටා යහළුවන් නෑදැයින් බොහෝ දෙනෙකු රැස් වුවත් දුකේදී ඔබව අත් නොහැර සිටින්නේ මවුපියන් පමණක් බව අමතක නොකරන්න.
සුබෝධිනී පෙරේරා
Leave a comment