ඔයා ඉන්නේ මොකක්හරි ප‍්‍රශ්නෙකද? විසඳගන්න 1926 ට කතා කරන්න
සතුටින් සිටින සෑමවිටම සිතනවා අපේ ජීවිතය නිත්‍යයි, අපිට පාලනය කරන්න පුළුවන්බව. එහෙත් යම් අවස්ථාවක රැකියාව අහිමි වී ආර්ථික ගැටලූ රැසකට ඔබට මුහුණ දීමට සිදු වුවහොත් ඇතැම් විට ඔබ මානසික පීඩනයට ලක් වී සිය දිවි නසා ගැනීමේ සිතුවිලි ඇතිවිය හැකියි. එය මනුෂ්‍ය ස්වභාවයයි. අපි ඇතැම් වෙලාවට එවැනි සියදිවි නසාගන්නා පුද්ගලයෙකුගේ ජීවිත කතාව දන්නවා වගේ ඔහු පිළිබඳව යම් තීරණයකට එළඹෙනවා. ඔහු සිය දිවි නසාගත්තේ මේ කාරණය මත යැයි අපි පිටින් බලා තීරණය කරනු ලබනවා. එහෙත් අපි කිසිම විටෙක අනෙක් අයගේ ජීවිත කතාව දන්නවා කියන නිගමනයට එළඹෙන්න හොඳ නෑ. ඒ හැමෝටම තමන්ට ආවේණික වූ ජීවිත කතාවක්, අත්දැකීම් සමූහයක් වෙනමම තිබිය හැකියි.
ඇති වී නැති වී යන සිතිවිල්ලක්ද?
විශේෂයෙන්ම නව යොවුන්වියේ සහ යොවුන්වියේ සිටින අයට සියදිවි නසා ගැනීමේ සිතුවිල්ල ඇතිවිය හැකියි. ඔවුන් බොහෝ දෙනෙක් එය සිතුවිල්ලකින් පමණක් සිය දිවි නසා ගැනීමට අදහස් කරන අතර එය ක‍්‍රියාවක් ලෙස සිදුකිරීමට නොයයි. එම අදහස දින කිහිපයක් තිබී නැති වී යයි. එවැන්නෙකුට මානසික රෝගියෙක් කියන ලේබලය ගැසීමට අවශ්‍ය නැහැ. ඕනෑම කෙනෙකුට හිතේ පීඩනයක් තිබෙනවා නම් සියදිවි නසා ගැනීමේ අදහස හිතට ඇතුළු වී නැවත එය ඉවත් විය හැකියි.
ඇතැමුන් සියදිවි නසා ගැනීමම අපේක්ෂා කරමින් ජීවිතය අහිමි කරගන්නවා. මෙම කොට්ඨාසය බොහෝ විට මානසික රෝගී තත්ත්වයකින් පෙළිය හැකියි. නමුත් මේ කොට්ඨාස තුනට බලපාන සාධක එකිනෙකට වෙනස්.
වැඩිපුරම දිවි නසාගන්නෙ කාන්තාවන්
සියදිවි නසා ගැනීමෙන් ජීවිතය කෙළවර කර ගන්නා කාන්තාවන් වෙනත් රටවල්වලට සාපේක්ෂව ලංකාවේ වැඩියි. එයට බොහෝවිට සමාජ විද්‍යාත්මක කරුණු බොහොමයක් බලපානවා. උදාහරණයක් ලෙස මේ වන විට විශ්වවිද්‍යාල සඳහා බහුතරයක් කාන්තා නියෝජනය වැඩි වී තිබෙනවා. කාන්තාවන් උගත් මෙන්ම ඉතා බුද්ධිමත්වුවත් සමතැන ලබාදෙන බවට කීවත් ඔවුන් සැමවිටම මුළුතැන්ගෙට සිර වී සිටින්නට සිදුවෙනවා. එයින් ඔවුන්ගේ දක්ෂතාවට වඩා පහළ මට්ටමකට කොටු විය හැකියි. ලංකාවේ කළ සමීක්ෂණවලින් ද සොයාගෙන තිබෙන කරුණක් වන්නේ එකම සුදුසුකම් සපුරා ඇති කාන්තාවක් හා පිරිමින් අතරින් ආයතනයක හෝ ලබා දෙන තනතුරු වෙනස්වීම් දක්නට ලැබෙන බවයි. පීතෘ මූලික සමාජයක කාන්තාවට ලැබිය යුතු තැන නොලැබෙන විටත් ඔවුන්ගේ හැඟීම් ප‍්‍රකාශයට ඉඩක් නොලැබෙන විට එපාවීම, කනස්සල්ල ඇතිවෙන්න පුළුවන්. මෙම සාධක මත කාන්තාවගේ සියදිවි නසා ගැනීමේ ප‍්‍රවණතාවක් දක්නට ලැබෙනවා. කාන්තාවන් දිගුකාලීන ප‍්‍රචණ්ඩත්වයට ලක්වීම මතකද සිය දිවි නසා ගැනීමේ තත්ත්වයන්ට පත්විය හැකියි. ශ්‍රී ලාංකීය සමාජය තුළ කාන්තාවගේ දරාගැනීමේ මට්ටම ඉතාම ඉහළ බව එක් මතයක් වුවත් දරා ගැනීම එක් සීමාවකින් නතර විය හැකියි.
හොඳ ඇහුම්කම් දෙන්නෙක් වෙන්න
පුද්ගලයෙක් තුළ මානසික පීඩනය ජීවිත කාලය පුරාවට තිබෙනවා නම් වටපිටාවේ අනෙක් අයට දැන ගැනීම සඳහා එම පුද්ගලයාගේ චර්යා නිරීක්ෂණය කළ හැකියි. කෙනෙකු ඔබට ඇවිත් කිව්වොත් මට මැරෙන්න හිතෙනවා කියා අපි ඔහුට උදව්වක් වශයෙන් එය අහගෙන සිටිනවා. ජීවිතය එපා වී සිය දිවි නසා ගැනීමට අවශ්‍යබව කියන පුද්ගලයෙකු සිටියොත් අප කළ යුත්තේ පළමු දේ ඔහු සමග වාඩි වී ඔහු කියන දෙයට හොඳින් ඇහුම්කන්දීමයි. ඔහුගේ හැඟීම් ප‍්‍රකාශයට අප ඉඩක් දිය යුතුයි. ඔහුගේ සිතෙහි තිබෙන හැඟීම් සියල්ල මුදා හැරීමට ඉඩ දිය යුතුයි. බොහෝ කාලයක් හිතේ හිරකරගෙන තිබූ ගැටලූ ඔබ සමග කීමෙන් හිතේ සහනයක් එවිට ඇයට හෝ ඔහුට ලැබෙයි. එහෙත් ඒ වෙලාවේ ඔබ ලෝකයේ නැති ලොකු විසඳුම් දෙන්න හොඳ නෑ. මොකද ඔහුගේ කතාවෙන් ඔබ දන්නේ ඉතාම සීමිත කොටසක් පමණක් බැවින්. පළමුව ඔහුට හොඳින් ඇහුම්කන් දීමයි. දෙවනුව ඔහුට කීමට අවශ්‍ය යි අපි එකතුවෙලා මේ ගැටලූව විසඳගමු කියන කාරණය. එලෙස කියූ පමණින් එම පුද්ගලයාට සිතෙනවා ඔහු තනිවෙලා නෑ කියන හැඟීම.
ප‍්‍රශ්නයක් කතා කරන්න හොඳම කෙනා කවුද?
ඔබ සැම විටම ඔබට ඇති ගැටලූ කීම සඳහා සුදුසුම පුද්ගලයකු තෝරාගත යුතුයි. එනම් මනෝමීය පරිණත භාවයකින් යුත් එනම්, කෙනෙකු ගැටලූවක් කී විට එම ගැටලූව ඇති පුද්ගලයාටත් වඩා කලබල වන පුද්ගලයකු නොවිය යුතුයි. ඔහු හොඳ සවන් දෙන්නෙකු විය යුතුයි. ඔහු බොහොම සමතුලිත පුද්ගලයෙකු එසේත් නොමැති නම් අදහස් සමබරව සිතා කටයුතු කරන පුද්ගලයකු විය යුතුයි. පුද්ගලිකත්වය රකින පුද්ගලයෙක් විය යුතුයි. කෙනෙකු ඔහුගේ ප‍්‍රශ්න කියූ විට ඔහු හැමතැනම එය කියමින් යනවා නම් එය ප‍්‍රශ්න වැඩිවීමට හේතුවක් වෙනවා. එමෙන්ම ඔහු හෝ ඇය ඔබට තිබෙන ගැටලූවට ප‍්‍රායෝගික විසඳුමක් දකින්න හැකි පුද්ගලයෙකු විය යුතුයි.
ඔබට එලෙස කතා කරන්න කෙනෙක් නැතිනම් ඔබට කතා කළ හැකි දුරකථන අංකයක් තිබෙනවා. ඒ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (National Institute of Mental Health) වැනි පැය 24 පුරාම හදිසි ඇමතුම් (hotline) ඒකකයක් තිබෙනවා. ඔබට සියදිවි නසාගැනීමේ සිතුවිල්ලක්, මානසික පීඩනයක් තිබෙනවා නම් ඕනෑම මොහොතක ඔබට අවශ්‍ය උපදේශනයක් 1926 දුරකථන අංකයට කතා කිරීමෙන් පුහුණු හෙද නිලධාරීන් මගින් ලබා ගැනීමේ අවස්ථාව හිමිවෙනවා.
වෙනස හඳුනාගන්න මුහුණු පොත හොඳ කැඩපතක්
යම් පුද්ගලයෙක් සමාජය තුළ දීර්ඝ කාලයක් පුරාවට ඉතාම සරලව සතුටින් ඉන්නවා නම් කාලයක සිට වෙනදා මෙන් සිනාවෙන්නේ නැතිනම්, මුහුණ බලා කතා නොකරනවා නම්, අනෙක් අයට එය වටහාගත හැකියි. ඔහුගේ බොහෝ සමීපතමයින් ‘‘ඔයාට මොකක් හෝ ගැටලූවක් ද?’’ කියා විමසන්න පුළුවන්. එහෙත් ඔහු ගැටලූව බෙදා ගැනීමට අකමැත්තෙන් එම ප‍්‍රශ්නය සිතෙහි තබාගෙන විඳවන්න පුළුවන්. එහිදී සමීපතමයින් එය වටහා ගැනීමට හැකියාව ඇති පුද්ගලයින් විය යුතුයි. මෙලෙස සියදිවි නසාගැනීම දක්වා ගැටලූු දුරදිග ගිය පුද්ගලයින්ගෙන් ඇතැම් අයට නින්ද ලැබීමේ බාධා ඇතිවිය හැකියි. මානසික පීඩනයක් ඇතිවූ විට නින්ද නොයෑම තදින් ඇතිවෙන්න පුළුවන්. කෑම කෑවත් ඇඟට අල්ලන්නේ නෑ, කෙට්ටු වීම, නිතරම තරහ යෑම වගේ සිදුවීම් ඇතිවෙන්න පුලූවන් මෙවැනි වෙනස්කම් ඇතිවීමෙන් පසු ටිකෙන් ටික මෙයට අවශ්‍ය විසඳුමක් ගැනීමට නොහැකි වුවවොත් ඔහුගේ ජීවිතයට හානිකර ගැනීමේ සිතුවිලි ඇති විය හැකියි. මුලින්ම මෙම සිතුවිලි ඇතිවන්නේ මුහුදේ රළ මෙන්. එම සිතුවිලි එනවා යනවා. ඇතිවෙනවා නැතිවෙනවා. කාලයක් යන විට සියදිවි නසාගැනීමේ සිතුවිලි වේගයෙන් ඇතිවෙනවා. කාලයක් යනවිට ප‍්‍රශ්නය විසඳුණේ නැතිනම් සිය දිවි නසා ගැනීමට සැලසුමක් නිර්මාණය කරනවා. ඇතැම් වෙලාවට තමන්ට තිබෙන පීඩනය ලියනවා. ඇතැම් වෙලාවට මුහුණුපොතේ තම කලකිරීම ලියා තබනවා. එලෙස මුහුණු පොතේ යම් මිතුරෙකුගේ කලකිරීමක් පිළිබඳව සටහනක් තිබුණත් ඒ පිළිබඳව සැහැල්ලූවෙන් නොසිතා ඒ පිළිබඳව අවධානයෙන් ඔහු හෝ ඇය සමග කතා කිරීම ඉතාම වැදගත්.
සටහන - පියුමිකා වීරසූරිය
Leave a comment