ඔහු ගැන සතුටු වෙන්න හේතු ඕනෑ තරම් - Dulanjali Ananda
හිත පිරෙන්න ආදරය පුරවගෙන අතින්වත් නොඅල්ලා හිතෙන් හිස පිරිිමදින, හැමවෙලේම මගේ මැණික කියාගෙන හිතේ දුක නිවන එකම පිරිමි ආත්මය "තාත්තා " "අපේ ළමා කාලය ළමයින් විදිහටම ගතකරන්න අපේ තාත්තා අපිට ඉඩ සලසලා දුන්නා." තාත්තා කෙනෙක්.තරම්. තමන්ගෙ දරුවන්ට අව්‍යාජව අවංකව ආදරය කරන පුද්ගලයෙක් නැති තරම්. තමන්ගෙ කුස හිස්ව තබාගෙන දරුවන්ගෙ කුස පුරවන්න නිර්ලෝභී වන්නෙ දෙමව්පියන් පමණි. ඒ අතර තාත්තා නිහඬව විශාල වගකීම් කොටසක් ඉටුකරන්නෙ සිතු පැතු සම්පත් දෙන දෙවියන් ලෙසය. මතු බුදුවන්න පාරමිතා පුරන්නෙ මව්වරු පමණක් නොව පියවරුද එසේමය.
තවත් ආදරණීය දුවෙක් ඇයගේ ලෝකයට එළිය දුන් ආදරණීය තාත්තා ගැන කිවූ සෙනෙහෙවන්ත කතාවයි මේ. ඇය දුලංජලී ආනන්ද ය. ඇයගෙ තාත්තා කාලෙකට ඉහත අප අතරින් සමුගත් ජනප්‍රිය ගායන ශිල්පී ග්‍රේෂන් ආනන්ද මහතා ය. අපි ඇයගෙන් දැනගනිමු, ඇගේ ආදරණීය තාත්තා ගැන.
කුඩා කාලයේ සිටම තාත්තා පුරුද්දක් විදිහට මාව පල්ලියට එක්කගෙන යනවා. ඒ යන හැම දවසකම මම මල්ලියෙක් ඉල්ලලා යාඥා කරනවා. තාත්ත නිසා අපි ආගමට තිබෙන ළැදියාව වැඩි වුණ. කවදාවත් අපිට අපේ ළමා කාලය අහිමි කළේ නැහැ. තාත්තා ජනප්‍රිය ගායන ශිල්පියෙක් වුවත් අපේ ළමා කාලයේ ඒ දේවල් ඔළුවට ගත්තේ නැහැ. තාත්තා අපිට ඒ නිදහස දුන්නා. අපිට අාධ්‍යාත්මික පැත්තෙන් ශක්තිමත් කළොත් අනිත් හැම දෙයක්ම අපිටම හදාගෙන යන්න පුළුවන් වෙයි කියා තාත්තා හැම වෙලාවෙම හිතුවා. ඒ නිසයි තාත්තා අපිව පල්ලියෙ ගීතිකා කණ්ඩායමට පමණක් සහභාගි කෙරවූයෙ. තාත්තා හැමවෙලාවෙම සිතුවේ අපේ පහසුව ගැනයි.
තාත්තා කොතරම් කැපකිරීම් කරනවද ? ඒ දේවල් අපි කවදාවත් දකින්නේ නැහැ. තාත්ත කවදාවත් අපිට අමාරුකම් පෙන්වන්නෙත් නැහැ. සමහර අවස්ථාවලදී අපිට හිතෙනවා තාත්තාට හැමදාම වැඩ විතරයි, අපි ගැන කිසිම සැලකීමක් කරන්නේ නැහැ කියලා. අපි කවදාවත් සිතුවද තාත්තා ඇයි එතරම් මහන්සි වෙලා වැඩ කරන්නේ කියලා. ඒ ඔහුගේ සැපත උදෙසා නොවෙයි. දරුවන්ට පවුලට සැපෙන් සනීපෙන් ජීවත්වෙන්න.
ඒ වගේම අම්මගේ තාත්තගේ ජීවිතය නිසා අපි අපේ ජීවිත හදා ගත්තා. ඒ දෙදෙනාගේ ජීවිතයෙන් ආදරය කියන්නේ මොකක්ද සම්බන්ධතාවයක් කියන්නේ මොකක්ද විවාහය කියන්නේ මොකක්ද කියන්න අපි ඉගෙන ගත්තා. අම්මගේ තාත්තගේ ආදරයේදි අපි දැනගත්ත දෙයක් තමයි හිතින් පොරොන්දුවක් දුන්නත් ඒ දේ රැකගෙන ජීවත් වෙන්න පුළුවන් කියා. තාත්තගෙ වයස අවුරුදු 17දී අම්මව දැකලා තාත්තා හිතා ගත්තලු කවදාහරි දවසක අම්මවම තමයි විවාහ කරගන්නෙ කියලා තාත්තටම පොරොන්දු දී ගත්තලු. ඉතින් ඒ දේවල් වලින් පවුලක ආදරයක බැඳීමක වටිනාකම මමයි මල්ලියි ඉගෙන ගත්තා.
දෙමව්පියන් තමයි දරුවන්ගේ මූලික ගුරුවරු. ඔවුන් පෙන්වා දෙන මග කිසිම පැකිළීමකින් තොරව යන්න ඔවුන් පෙලඹෙනවා. මොකද දෙමව්පියන් කවදාවත් දරුවන්ට වැරදි දේවල් කියාදෙන්නේ නැහැ.
තාත්තා අපි අතරින් සමුගත්තේ තාත්තට වයස අවුරුදු 53දි. ඒ දවස අපිට කම්පනයක් ඇති කළත් අන්තිමේදී මට හිතෙනවා තාත්තා මේ ලෝකයට ආපු හේතුව වගකීම ඉෂ්ට කරලා ඉවරයි, ඒ නිසා මට දැන් ඒ ගැන දුකක් නැහැ. තාත්ත ජීවත් වෙලා ඉන්න කාලයේ සංගීතය පැත්තෙන් ගොඩක් දේවල් කළා. ඒ වගේම මිනිස්සුන්ට උදව් කළා. මට ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. මගේ තාත්තා ගැන මට හැමදාම ආඩම්බරයි සතුටුයි.
ඔහුගේ ආදරය හැමදාම අපිත් සමග තිබේවි. තාත්තගෙ අඩුවක් කාටවත් සම්පූර්ණ කරන්න බැහැ. නමුත් ඔහුගේ ආදරය, ඔහුගේ උපදෙස් , ඔහුගේ ජීවිත දැක්ම, මතක ඒ හැම දෙයක්ම සමග ජීවිතයේ අපි ඉදිරියටම යනවා. කුඩා කාලයේ සිටම තාත්තගෙන් ලැබුණු මම පෙන්වීම නිසා අද මමයි මල්ලියි ජීවිතය විඳිනවා.
Leave a comment