ඔහු සනීප වී නැවත නිවසට පැමිණේවි කියා මම ලොකු බලාපොරොත්තුවකින් සිටියා. - කුමාරි මුණසිංහ

ඇය ප්‍රවීණ චිත්‍රපට ටෙලි නාට්‍ය හා වේදිකා රංගන ශිල්පිනියක්. කලා පවුලක මවක් බිරිඳක් වගේම ඇය ගායන ශිල්පිනියක්. මේ සුන්දර කුමාරි මුණසිංහයි.  ඇයගේ සොඳුරු කැදැල්ල  ගැන සිරිකත සමග දොඩමලු වුණේ මෙලෙසින්.

  • මේ දවස් වල වැඩිය පේන්න නැත්තේ කලා ක්ෂේත්‍රයෙන් අයින් වෙලාද?

ජැක්සන් අසනීපෙන් ඉන්න කාලේ කලා කටයුතු වලින් ඈත් වෙලා හිටියා. මම වෘත්තියෙන් රංගන ශිල්පිනියක්නෙ.  ඒ නිසා ආපහු  වැඩකටයුතු ටික ආරම්භ කරලා තියෙන්නේ.

  • ඔබ රැකියාවෙන් විශ්‍රාම ගිහින්ද?

ඔව් මම දැන් විශ්‍රාමිකයි. රංගනය සහ ගායනය දැනට මගේ රැකියාව ලෙස  කරගෙන යනවා.

  • මේ දවස්වල කොහොමද ජීවිතේ?

නැවත රංගන කටයුතු  වලට සහභාගි වෙමින් සිටිනවා. ඒ වගේම නිවසේ කටයුතුවලදී දැන් මගේ පැත්තට තිබෙන වගකීම් වැඩියි. ඒ නිසා හැම දෙයක්ම සමබරව කරගෙන යනවා. ඒ වගේම කාලය විසින් අපේ ප්‍රශ්න ටිකෙන් ටික විසඳනවා.

  •  සැමියා නැතිව මේ ගත කරන කාලය කොහොමද?

මගේ සැමියා අසනීප වුණ දවසේ සිට මගේ මානසිකත්වය හොඳඅ වුණෙ නැහැ. ඒ මම නෙමෙයි හිටියෙ කියලා හිතෙනවා. ඔහු සනීප වී නැවත නිවසට පැමිණේවි කියා මම ලොකු බලාපොරොත්තුවකින් සිටියා. ඒ බලාපොරොත්තුව නැති වුණාම දරා ගත නොහැකි වේදනාවක් ඇති වුණා.ගොඩාක් ප්‍රශ්න කම්කටලු වලට මුහුණ දුන්නා. දැන් හැම දෙයක්ම ටිකෙන් ටික  යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා.මේ ජීවිතයේ  යන්නට තිබෙන ඉතිරි දුර මම යායුතුමයි.

  • ඔබගේ දරුවන්  දැන් සිටින තත්ත්වය ගැන ඔබට මොකද හිතෙන්නේ?

දැන් එයාලා ඉන්න තැන ගැන  මට ගොඩක් සතුටුයි. දැන් එයාල විවාහ වෙලා පුතාලා දෙන්නට දැනටමත් දරුවෝ ඉන්නවා. දුවත් ළඟදිම අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ. ඉතිං මම දැන් මිත්තණියක්.  මම හැම අතින්ම සම්පූර්ණ කාන්තාවක්.

  • දරුවන් රංගන ක්ෂේත්‍රයේ සිටින එක ගැන ඔබට මොකද හිතෙන්නේ?

මගේ දරුවන් තිදෙනාම ඉතාම දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන්. දරුවන් ඉපදෙන්නත් කලින්ම මමයි ජැක්සනුයි තීරණය කරපු දෙයක් තමයි මේ සමාජයට බුද්ධිමත් කලාකරුවන් බිහි කරන්න ඕනි කියන මතය. මේ සෑම දෙයක්ම සැලසුම් සහගතව තමයි අපි සිදු කළේ.
දැනට සමාජයේ සිටින සමහර කලාකරුවන්ගේ දරුවන් කිසිම කලඑළියක් නැහැ. සමහර පුද්ගලයින් කලාවට සම්බන්ධ වෙන්නේ වෙනත් රැකියාවක් නොමැති කමට. එහෙම කිරීම සුදුසු නැහැ. කලා නිර්මාණයකට පුළුවන් කෙනෙකුගෙ  මානසිකත්වය වෙනස් කරන්න. කලාව බුද්ධිමත්ව කළ යුතු කටයුත්තක්.
මගේ දරුවන් තිදෙනාම හොඳ බුද්ධිමත් උගත් දරුවන්. කලා ක්ෂේත්‍රයේ සෑම  අංශයකටම ඉතාමත් දක්ෂයි. ඉතින් ජැක්සන්ගේ මගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙලා කියලා මට හිතෙනවා.

  • අද සමාජයේ කාන්තාවකට ලැබෙන තැන ගැන මොකද හිතෙන්නේ?

අද සමාජයේ කාන්තාවකට ලැබෙන තැන ගැන මට කිසිම සතුටක් නැහැ. ඒ දේවල් සිදුවුණේ මේ මෑතකදී. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය ඇති වූවයින්  පසුවයි මේ දේවල් සිදුවුණේ.  ඉස්සර කාලේ කාන්තාවන්ට කටකතා පැතිරුණත් අද වන විට එය ලෙහෙසියෙන්ම සමාජගත කරන්න සමාජ මාධ්‍යවලට හැකියාව තිබෙනවා. මේ තුළින් ඇත්ත බොරුව නොදැන සමාජගත කරන දේවල් නිසා කාන්තාවන්ගේ ආත්ම ගෞරවයට දරුවන්ගෙ ආත්ම ගෞරවයට පවුල් ජීවිතවලට  හානි පැමිණෙනවා.ජැක්සන් අසනීප වෙච්ච දවස්වල අපිටත් එවැනි මඩ ප්‍රහාරවල් චෝදනා එල්ල වුණා.

  • සමාජයේ දරුවන් ගැන මොකද හිතන්නේ?

දරුවන් හරිම පව්. අධ්‍යාපනය කෙසේ වෙතත් නිවැරදි මාර්ගය කියාදෙන්න පුද්ගලයින් හෝ ආයතන හෝ කිසිවක් නැහැ. ඒකාලේ අපේ වටේ බොහෝ දැන උගත් පුද්ගලයින් සිටියා. ඒ අයගෙන් අපිට ගුරුහරුකම් ලැබුණා. එහෙම අය දැන් නැහැ. දැන් බොහෝ දුරට සිදුවන්නේ සමාජමාධ්‍යවල තිබෙන දේවල් වලට අනුගත වීමයි. ගැහැනු දරුවෝ හෝ වේවා පිරිමි දරුවෝ හෝ වේවා ඔවුන්ට නිසියාකාර ගුරුහරුකම් ලැබිය යුතුමයි. ඒ දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ වගකීමක්.

  • සමාජයේ දෙමව්පියන්ට මොනවද කියන්න තියෙන්නේ

අවවාදයට වඩා ආදර්ශය උතුම්. දෙමව්පියන් විදියට නිවැරදි දේවල් කරමින් දරුවන්ට ආදර්ශමත් විය යුතුයි. අපි වැරදි දේවල් කරමින් දරුවන්ට නිවැරදි දේවල් කරන්න කිව්වට දරුවන් හරි මාර්ගයේ යන්නේ නැහැ. දරුවන් ගැන සිතමින් ස්වයං පාලනයක් ඇති කරගෙන දෙමාපියන් විදියට අපි හරි දේ කළ යුතුයි.

  • මේ ගෙවාගෙන ආපු දුර ගැන මොකද හිතෙන්නේ?

ඒ ගැන මට ගොඩක් සතුටුයි.  මගේ වටා ගොඩනැගිච්ච බලාපොරොත්තුවලට වඩා දෙයක් මේ වෙනකොට මම උපයාගෙන තිබෙනවා. මිල මුදල් අතින් නොවෙයි. මගේ අරමුණු සාර්ථක කරගෙන තිබෙනවා. ගෑනු දරුවෙක් ලෙස ඉපදිලා දුවෙක් බිරිඳක් මවක් දැන් මම මිත්තණියක්.  ඉතින් මගේ ජීවිතය සම්පූර්ණයි.  දරුවනුත් මගේ බලාපොරොත්තු ඉෂ්ට කරලා දීලා තිබෙනවා. ඒ පැත්තෙනුත් මම සම්පූර්ණයි. ආඩම්බරින් සමාජයේ එක්කරගෙන යන්න පුළුවන් දරුවන් මට ඉන්නවා. දරුවන්ගේ යුතුකම් ටික ඉෂ්ට කරලා දුන්නා. ඒ සෑම දෙයකින්ම  මම සම්පූර්ණයි. ජීවිතයෙන් මට අඩුවක් වුණේ නැහැ.

  • ඔබගේ ජීවිතයේ ඉදිරි ගමන ගැන මොනවද කියන්න තියෙන්නේ

ජීවිතයේ ඉදිරියට පුණ්‍ය කටයුතුවලට සම්බන්ධ වෙමින්, ඒ වගේම ඉදිරියේදී මගේ නිර්මාණ විකාශනය වෙන්න තිබෙනවා. තව නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබී තිබෙනවා. ඒ වගේම  සංගීත ක්ෂේත්‍රය තුළින්  දරු නැළවිලි ගීත සම්බන්ධව නිර්මාණයකට දායකත්වය ලබාදීමට බලාපොරොත්තුවක් තිබෙනවා.එහෙම අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම මම ඒ දේ සඳහා සහභාගී වෙනවා. ඒ අතර ලොකු බලාපොරොත්තු නැහැ

යුද්ධ හමුදා 9 වන අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය සාර්ථකව අවසන් Read Previous

යුද්ධ හමුදා 9 වන අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය සාර්ථකව අවසන්

රටට වැඩ කළ සතුට හැමදාම හිතේ තියේවි - ශ්‍යාමනී පෙරියප්පෙරුම Read Next

රටට වැඩ කළ සතුට හැමදාම හිතේ තියේවි - ශ්‍යාමනී පෙරියප්පෙරුම

Realted Post

Leave a comment