ගුරු නැටුමෙන් හදවත් බිඳුණාදෝ

ඔක්තෝබර් මස 1 සහ 6 වැනි දින පිළිවෙළින් ලෝක ළමා දිනය සහ ලෝක ගුරු දිනය ඉතා උත්කර්ෂවත් ව සැමරුණි. දරුවන් වෙනුවෙන් ගුරුවරුන්ද ගුරුවරුන් වෙනුවෙන් දරුවන්ද ඇප කැප වී කටයුතු කළ බොහෝ සොඳුරු නිර්මාණ මේ වෙනුවෙන් නිර්මාණය වී තිබීම පැසසුමට ලක් විය යුතු කාරණාවකි.
ගුරුවරයා යනු පෙර රජ දවස සිටම සියල්ලන්ගෙන්ම වැඳුම් පිඳුම් ලබන සමාජයේ ඉහළම තලයක පසුවන අභිමානවත් චරිතයකි. ගුරු ගෞරවය පිළිබඳව අතීතය දෙස විපරම් කරද්දී බොහෝ නිදසුන් අපට හමුවන අතර මෙලොව ජීවත්වන සෑම පුද්ගලයකුටම ⁣කුමන හෝ ගුරුවරයකු ඇත.
 
වේවැල් කෝටු නාරං සියඹලා    අතූ
කිතුල් පොල් ඉරටු වැල් කසඹිලිය අතූ
මේ හැම ඉපල් මගෙ දෑතට නොපෑ යුතූ
පමා නොවී එමි අකුරට මෙයින්  මතූ
 
වදන් කවි පොතේ එන මෙම කවිය මෙන්ම සිඟාලෝවාද සූත්‍රය ඇතුළු ඉතිහාසය, සාහිත්‍යය ජන ජීවිතය තුළ ගුරු - සිසු සබඳතාව පිළිබඳව විවිධ කරුණු කාරණා සඳහන් වේ.
 
අතීතයේ සිට ඉමහත් ගෞරවාදරයට පත් ගුරු භූමිකාව කොතැනකවත් ලඝු කොට තැකිය නොහැකි අතර දරු පරපුරකට ඔවුන්ගෙන් සිදුවන සේවාව අති මහත්ය.
 
තාක්ෂණයේ දියුණුවත් සමග අලුත් සමාජ සංස්ථාවක මං පෙත් තැනීමේදී ඒ මග යන්නට ගුරුවරයාට ද සිදු වේ. එම සංකල්ප මත කරළියට බට ළමා දින, ගුරු දින සැමරුම් ගම සහ නගරය අතර වෙනසක් නොවී සමරන්නේ එකී අවශ්‍යතාව මත බවද පැහැදිලිය.
 
ළමා දිනය සහ ගුරු දිනය පාදක කරගෙන ඇතැම් පාසල්වල පැවැති විවිධ ක්‍රියාකාරකම් දරුවන්ට සුදුසු මට්ටමක නොවුණු බව සමාජ මාධ්‍ය හරහා විවිධ මත පළවද්දී බස්නාහිර පළාතේ පාසලක පැවැති උත්සවයකදී පාසලක වාදනය කිරීමට නුසුදුසු යැයි හැඟෙන ගීතයකට  සිසුවියන් සමග නර්තනයේ යෙදුණු ගුරුවරියන් පිරිසකට එරෙහිව විනය පරීක්ෂණයක් ඇරඹීමට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත.
 
සංවාදයට විවෘත මෙම කතාබහේ අරමුණ වන්නේද ඉහත සැමරුම් තුළ ගුරුවරයාගේ කාර්යභාරය කවරේද යන්නයි. 

 

ගුරුවරයා සහ දරුවා අතර හොඳ බැඳීමක් ඇතිවනවා

මොනරාගල හුලංදාව
වම මහ විදුහලේ විදුහල්පති එච්.එම්.නිශාන්ත 

අනුර බණ්ඩාර 

අතීතය දෙස නැවත හැරී බලද්දී පාසල් පද්ධතිය තුළ ගුරු - සිසු සබඳතාව අදට වඩා වෙනස් මුහුණුවරක් ගන්නේ.


දිසාපාමොක් යුගයට වඩා වර්තමානයේ පාසල් පද්ධතිය බොහොම වෙනස්. පාසල තුළ බොහෝ ක්‍රියාකාරකම් වසර පුරාම සිදුවෙනවා. ඒ අතරින් ළමා දිනය සහ ගුරු දිනය සැමරුම විශේෂයි. ඒ සඳහා ගුරුවරු, විදුහල්පතිවරයාගේ සිට අධ්‍යාපන අධ්‍යක්‍ෂවරු පවා එක්වෙනවා.


ගුරු දිනය සමරන්නේ ඇත්තටම ඔවුන් දිරිමත් කිරීමටයි. ගුරුවරයාගෙන් සිදුවන සේවාව මිල කළ නොහැකියි. ඒ දේවල් දරුවන්ට පෙන්වා දිය යුතුයි.


අතීතයට වඩා අද වෙද්දි තාක්ෂණය දියුණුයි. මෙවැනි ක්‍රියාකාරකම්වලදී ගම්බද පාසල්වල පවා ඔවුන්ට පුළුවන් පරිදි තාක්ෂණය භාවිතයෙන් විවිධ විනෝදාස්වාද දේ සිදු කරනවා. නැටුම් ගැයුම් ඉදිරිපත් කරනවා. ඒ බව හුඟක්දෙනා සමාජ මාධ්‍යවලින් දුටුවා. ඇත්තටම ඒවා සිදුකරන්නේ දරුවන් සහ ගුරුවරුන් අතර තිබෙන සුහදතාව වර්ධනය කරගන්න. ගුරුවරයා සහ ළමයා අතර හොඳ බැඳීමක් ඇතිවිය යුතුයි. මෙවැනි ක්‍රියාකාරකම් තුළින් එය වර්ධනය වනවා.


මොකද මුල් තැන දරුවන් නිසා. සමහර තැන්වල යම් නොගැළපෙන දෑ සිදුවෙන්න ඇති. නමුත් සමස්තය එහෙම නෑ.
මේ ක්‍රියාකාරකම්වල පොදු අරමුණ දරුවා සහ ගුරුවරයා අතර බැඳීම් වර්ධනය කීරීමයි. ඒ බැඳීම් තුළිනුයි පන්ති කාමරයකින් ගුණයහපත් දරුවකු බිහිවන්නේ.


දරුවන්ගේ දක්ෂතාවලට වැඩි ඉඩක්

කුරුණෑගල කටුපිටිය විදුහලේ විදුහල්පති
දීප්ති ජයරත්න

අද තියෙන්නෙ එදා අපි අධ්‍යාපනය ලැබූ කාලයට වඩා වෙනස්ම කාලයක්. මේ වෙද්දි ළමා දින සැමරුමේ සහ ගුරු දින සැමරුමේ ස්වභාවය වගේම ආකෘතියත් වෙනස් වෙලා. මේ දින දෙකම උපරිම නිදහස ලබන තැනට පත්වෙලා. මේකට ප්‍රධානම හේතුව තමයි අද වෙද්දි ළමයා වගේම ගුරුවරයාත් ඉන්නේ පීඩනයක. මුළු අවුරුද්ද පුරාම හිරවෙලා ඉඳලා මේ දවස් දෙක උපරිමයෙන් විඳින්න නිරායාසයෙන්ම පෙලඹිලා.

විවේචන එල්ල කරන හැම පාර්ශ්වයක්ම හිතන්න ඕනෑ තේරුම් ගන්න ඕනෑ දෙයක් තමයි මේ තත්ත්වයට මෙම පිරිස මේ පවතින පද්ධතිය විසින්ම ඇද දමා ඇති බව. ගුරුවරු වැඩිහිටියො තමයි. ඔවුනුත් විශාල පීඩනයක තමයි කටයුතු කරන්නේ.

මේ වෙද්දි අතීතයට වඩා ළමයා ගුරුවරයා දිහා බලන විදියත්, ගුරුවරයා ළමයා දිහා බලන විදියත් වෙනස්. දෙපාර්ශ්වයම අලුත් සංස්කෘතියකට ඇදිලා ගිහින්. මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි ඇතැම් තැන්වල නැටුම් ගැයුම්වල යම් සම්භාව්‍ය මට්ටමක් තිබුණා නම් හොඳයි කියන එක. නමුත් ඔවුනුත් කල්පනා කරනවා ඇති මේ දවස් දෙකෙත් දරුවන්ට පීඩනයක් දිය යුතු ද කියා. මොකද අපේ පාසල්වලත් වැඩිහිටි ගුරුවරු සිටිනවා. ඔවුන් වුණත් විශ්වාස කරනවා දරුවන්ට නිදහසක් දිය යුතුයි කියා. විවේචන එල්ල කරනවාට වඩා වැදගත් වන්නේ ඒ තත්ත්වයට පත් වුණේ ඇයි? දවස් දෙකක් පමණක් වෙන්වුණේ ඇයි කියා සෙවීමයි. මේ වගේ ක්‍රියාකාරකම්වලට එක දවසක් වෙන්වීම, සීමාවීම තමයි ගැටලුව. දරුවන්ගේ නිර්මාණශීලිත්වයට ප්‍රායෝගික දක්ෂතාවලට වැඩි ඉඩක් ලැබුණොත් මේ දේවල් දවසකට සීමා වෙන්නෙ නෑ. එතකොට දරුවන්ගේ පමණක් නොවෙයි ගුරුවරුන්ගේද පීඩාවට සහනයක්. 


 

ගුරුවරු මැදිහත්  නොවුණොත් දරුවො පිට පාරේ යනවා


කුලියාපිටිය කොට්ඨාස අධ්‍යාපන කලාපයේ 
හිටපු අධ්‍යාපන අධ්‍යක්‍ෂ 
පී. කුමාරරත්න


ළමා දිනය සහ ගුරු දිනය සැමරීම පෙබරවාරි 14 දා වැලන්ටයින් සමරනවා වගේ රැල්ලක් ඇතිවෙලා. මේ කාරණාව ඇතුළෙ හොඳ නරක දෙකම තියෙනවා.

මේ දේවල් තුළින් දරුවන්ගේ නිර්මාණ කුසලතා එළියට එනවා. විශේෂයෙන් නැටුම්, ගැයුම් සෞන්දර්ය පැත්තෙන්. සහජ දක්ෂතා තිබෙන දරුවන්ට ඉබේම තම කුසලතා පෙන්වන්න පුළුවන් තැනක්. අපි ක්‍රීඩා උත්සවයක් ගත්තත් පෙනෙන දේට වඩා නොපෙනෙන දේ මතුවෙනවා. ඒ තමයි සංවිධාන ශක්තිය, නායකත්වය වගේ දේවල්. මේ වගේ දේකදිත් ගුරුවරු දැනගන්න ඕනෑ නිවැරදිව මේ දේවල් සංවිධානය කරගන්න. මේකත් අධ්‍යාපන ක්‍රියාවලියේම කොටසක් කරගත යුතුයි. ගුරුවරු හරියට සංවිධානය නොකළොත් දරුවො පිට පාරේ යනවා.

ළමයින්ට නිදහස දිය යුතුයි කියා හැම තැනකදීම දීම සුදුසු නැහැ. අද ගුරුවරයාගේ සූදානම අඩුයි. හරියට සූදානම්ව වැඩ කරනවා නම් මේ දින දෙක අර්ථවත් කරගත හැකියි. ගුරුවරයා ගුරු දිනයේදී තම ගෞරවය රැකගත යුතුයි. නවීන තාක්ෂණය, සමාජය සමග කටයුතු කීරීමේදී ගුරුවරයා වගකීමෙන් කටයුතු කිරීම වැදගත්.

 

අවුරුදු ගණනක් හිරවෙලා සිටි දරුවන්ට සතුටක් ගෙනාවා 


මකුළුගස්වැව මහ විදුහලේ ආචාරිනී 
සුහර්ශනී ධර්මරත්න


මෙවර ලෝක ළමා දිනයේ ”සිනහ පිරුණු අපේ ලොවක්” සංකල්පය. ඒ සඳහා දරුවන් සතුටු කිරීම වෙනුවෙන් ගුරුවරුන් විවිධ ක්‍රියාකාරකම්වලට සහභාගී වුණා. ළමා දිනයේදී ගුරුවරුන් විසින් ළමයින් සතුටු කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. ගුරු දිනයේදී ළමයින් විසින් ගුරුවරුන් සතුටු කිරීමට සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් සහ ගුරු උපහාර වැඩසටහන්ද ක්‍රියත්මක කළා. 


අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විදුහල්පතිවරුන්ට කළ දැනුවත් කිරීමකට අනුව ⁣දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම, සෞන්දර්යාත්මක, දරුවන් දුසිරිතෙන් ගලවාගැනීම ආදී වැඩසටහන් රැසක් අපි ක්‍රියාත්මක කළා. 
මා දුටුවා සමාජ මාධ්‍යවල මේ පිළිබඳ විවිධ මතවාද, විවේචන පලවෙනවා. ඇත්තටම දරුවන්ගේ සතුට වෙනුවෙන් යමක් ක්‍රියාත්මක කරන්න බොහෝ කාලයක් අවකාශය ලැබුණේ නැහැ. දරුවො වගේම ගුරුවරුත් හිටියේ දැඩි පීඩාවෙන්. ඒ නිසා කාටත් තිබුණේ දරුවන් සතුටු කිරීමේ පරමාර්ථය පමණයි. 


දරුවන්ගේ වැඩසටහන් සඳහා යමක් තෝරා ගනිද්දී ඔවුන්ට ගැළපෙන, සුදුසු දේවල් තෝරාගැනීමට ගුරුවරුන්ට යම් වගකීමක් ඇතැයි කියා මම විශ්වාස කරනවා. හැබැයි අපි සාම්ප්‍රදායික විදියට ම කටයුතු කරන්න අවශ්‍ය  නැහැ. මොකද ලෝකය අලුත් වෙලා තියෙන්නෙ.


 

 

හුඟක්දෙනා කතා කරන්නේ නටපු එක ගැන විතරයි 


ගෙලිඔය ප්‍රඥාරතන මධ්‍ය මහා විද්‍යාලයේ ආචාරිනී චාන්දනී
 නයන කුමාරි

මේ වසරේ ගුරු දිනය සහ ළමා දිනය වෙනත් වසරවලට වඩා මතු වුණේ අවුරුදු කීපයක්ම දරුවන් වගේම ගුරුවරුන්ද පීඩනයෙන් සිටි නිසා. ඒ නිසා වෙනදාට වඩා කල එළියක් ඒ තුළ දුටුවා. හැබැයි ඒ වෙනුවෙන් පාසල්වල බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක වුණත් මතුවුණේ නටපු එක විතරයි.


අපේ පාසලේ දරුවන් වෙනුවෙන් සෞන්දර්යාත්මක වැඩසටහන් වගේම පෝෂණීය ආහාර වේලක් ලබාදීම, දැනුම කුසලතා වර්ධනය කරන වැඩසටහන්, චිත්‍ර තරග ආදිය පැවැත්වූවා. දරුවො වෙනුවෙන් කුඩා තිළිණයක් වගේම සහතික පත්‍ර ආදිය ලබා දී දරුවන් දිරි ගැන්වූවා.


මේ දින දෙක පමණක් නෙමෙයි වැඩිහිටි දිනයටත් විශේෂ වැඩසටහන් කළා. ඇත්තටම මේ ආර්ථික අමාරුකම් තියෙන කාලෙ දරුවන්ගේ කෑම ප්‍රශ්නය විසඳන්න ගුරුවරුන් විදියට බොහෝ කැපවීම් කරනවා.


සමහර තැන්වල සීමාව ඉක්මවා ගියා වෙන්න පුළුවන්. හුඟක් පාසල් අනෙක් පාසල් අභිබවා යන්න හැදුවා වගේ. දරවො විවිධත්වයට කැමතියි. අපේ පැත්තෙන් මේ වගේ වැඩක් සංවිධානය කරද්දි ආදර්ශමත්විය යුතුයි. මොකද පරම්පරාවක් පිටුපසින් එනවනෙ. බොහෝ අගය කළ යුතු තැන් අතරේ නොගැළපෙන නිර්මණ තිබුණා. ප්‍රධාන දේ තමයි ගුරුවරයා විසින් අරමුණ පැහැදිලි කර ගැනීම. ගුරුවරයා සියුම් පර්යේෂකයකු වන්නේ එහෙමයි.


 

දරුවන්ගේ හිත්වල ගුරු ගෞරවයේ අඩුවක් නෑ
 

ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලේ නි.විදුහල්පතිනී 
නිශාන්ති කැටිපෙආරච්චි


ගුරුවරයා  දරුවන්ට තමන් දන්නා ශිල්පය නිසි ලෙස අවබෝධ කර දෙන්නෙ හරියට මැණික් ගලක් ඔප දමනවා වගේ. දරුවන් දැනුමින් පෝෂණය කරන්නෙ ගුරුවරුන්. තාමත් දරුවන්ගේ හිතේ ගුරු ගෞරවය, භක්තිය තිබෙනවා. නමුත් අද බොහෝමයක් දරුවො ඉන්නෙ විභාග භීතිකාවකින්. ඒ නිසා ඔවුන්ට තමන්ගෙ ගුරුවරු මගහැරෙන අවස්ථා තිබෙනවා. ඒ නිසා ගුරුවරුන් සැමරීමට එක දිනයක් හෝ වෙන්වීම හොඳ දෙයක්.


බොහෝ ගුරුවරු පන්ති කාමරය තුළ දරුවන්ට උගන්වන්නේ තමා දන්නා උපරිමයෙන්. එනැනදි නැටුම්, ගැයුම්, රංගනය අනන්තවත් භාවිතා කරනවා. ඉතින් ඒ වගේ කැපකිරීම් කරන ගුරුවරු ළමා දිනය, ගුරු දිනය දවසේ තමන්ගෙ දරුවන් සමග විනෝදයෙන් සතුටින් සිටියාට ගැටලුවක් මම දකින්නේ නැහැ.


බොහෝ දෙනා සමාජ මාධ්‍යවලින් පොඩි දෙයක් දැකලා විවේචනය කළාට මේ දින දෙකේදි සෑම පාසලකම ගුරුවරුන් තම දරුවන් වෙනුවෙන් මහා මෙහෙවරක් කළා.


අද වෙද්දි මේ දෙකොට්ඨාසයම ඉන්නේ විෂය නිර්දේශ, විභාග තරගය අතරේ. ඒ පීඩනය අවම කරන්න බොහෝ ගුරුවරුන් කැපවුණා. අතීතයේ දරුවන්ට අධ්‍යාපනය හැදෑරීමට තිබුණේ ගුරුවරයාගෙන් ම පමණයි.


එදා සිටි ගුරුවරයාට වඩා අද ගුරුවරයාත් දරුවනුත් අතර ඇති සමීපබව යම් මට්ටමකින් අඩුවෙලා  තිබුණත් ගුරු ගෞරවය අඩු වී නැහැ. අද දරුවන්ට ඉගෙනගන්න ගුරුවරයාට පරිභාහිරව බොහෝ මාධ්‍ය තිබෙනවා. එහෙම තිබුණත් සමස්ත සමාජයේ ගුරුවරයාට තිබුණු තැන අඩුවක් නෑ. ගුරුවරයාත් තම ගුරු ගෞරවය රැකගෙන කටයුතු කළ යුතුයි.


දරුවන් වුණත් විවිධත්වයට කැමැතියි. ඒ නිසා තමයි. මේ දින දෙකේ දී උපරිම සතුටක් ලබන්නේ.


 


සුජිත් ප්‍රසංග


 

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද? Read Previous

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද?

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’ Read Next

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’

Realted Post

Leave a comment