ජීවිතේ දිනන්න හොඳම Motivation එක ප්‍රතික්ෂේපවීම
තමන්ව ප්‍රතික්ෂේප කිරීම, අනෙක් පුද්ගලයාගේ තීරණයක් මිස තමාගේ අඩුපාඩුවක් මත සිදු වූවක් ලෙස නොසිතන්න. තමාට ඒ පුද්ගලයා අහිමි වූවා නොව එම පුද්ගලයාට ‘තමාව අහිමි’ වූ බව පසක් කරගන්න. එයින් තම වටිනාකම, ආත්ම විශ්වාසය නොබිඳී පවත්වාගත හැකියි. සමහර විට එය වෙස්වළාගත් ආශීර්වාදයක් ද විය හැකියි.
ඔබට සමාජයේ විවිධ පුද්ගලයින් මුණගැසේවි. විවිධ සිද්ධීන්ට මුහුණ දීමට සිදුවේවි. මේ සිද්ධීන් සමහර විට ඔබගේ සිතට සතුටක් ගෙනදිය හැකියි. තවත් විටෙක දුකක් ගෙන දිය හැකියි. අදත් අපි කතා කරන්නේ එවැනි සිද්ධියකි. ‘ප්‍රතික්ෂේප කිරීම’ එදිනෙදා ජීවිතයේ යම් යම් අවස්ථාවලදී අපට මුහුණ දෙන්නට සිදුවන තත්ත්වයකි.
අදහස් දැක්වීම: -සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාලයේ, |
‘ප්‍රතික්ෂේප කිරීම’ කියන්නේ මොකක්ද? ඔබට එවැනි අවස්ථාවකට මුහුණ දෙන්නට සිදුවුවහොත් ඔබ ඊට මුහුණ දෙන්නේ කෙසේද?
ප්‍රතික්ෂේප කිරීම කියන්නේ තවත් කෙනෙකු ඔබව මඟ හැරීම නැත්නම් නොසලකා හැරීමයි. ආදර සබඳතාවලදී, යහළුවන් අතර, පවුලේ සාමාජිකයින් හෝ ඥාතීන් අතර මෙන්ම රැකියා ස්ථානයේ අය අතර ප්‍රතික්ෂේපවීම්වලට ඔබට මුහුණ දීමට සිදුවෙයි. මෙවැනි තත්ත්වයකට ඔබට මුහුණ දෙන්නට සිදු වුවහොත් ඔබ තුළ ලැජ්ජාවක් වගේම දුකක් ඇති විය හැකියි. ඕනෑම ආකාරයකින් සිදුවන ප්‍රතික්ෂේපවීම් වේදනාකාරී වන අතර මනසට විශාල බලපෑමක් සිදු කළ හැකියි. මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් අප තුළ අපව තව දුරටත් අවශ්‍ය නැති බව, අපගේ වටිනාකමක් නැති බව හෝ අපව පිළිනොගන්නා බව දැනේ. අප සියලුදෙනාම පාහේ ජීවිතයේ යම්කිසි අවස්ථාවලදී ප්‍රතික්ෂේපවීම්වලට මුහුණ දී තිබෙන්නට පුළුවන.
සමහර ප්‍රතික්ෂේපවීම් තාවකාලික ය. මවුපියන්ගේ කාර්යබහුලබව නිසා දරුවාට තමන් ප්‍රතික්ෂේප වී ඇති බවක් හැඟේ. මෙය තාවකාලිකව සිදුවන්නකි. එහෙත් නිරතුරුවම සිදුවන හෝ දිගුකාලීන ප්රතික්ෂේපවීම්වලටද අපට මුහුණ දීමට සිදු වේ. මෙවැනි අවස්ථාවකට මුහුණ දීමට සිදු වීමෙන් තදබල හෝ කල්පවතින මානසික බලපෑම් ඇතිවිය හැකියි. ඒවාගේම අධ්‍යාපන කටයුතු, රැකියාවේ වැඩ හෝ සබඳතා ඇතිකර ගැනීමේද අපහසුතා පැන නගී. ඉන් විෂාදය, කාංසාව, මානසික ආතතිය වැනි මානසික ගැටලුද ඇති විය හැකියි.
ඔබ මුහුණ දෙන සියලුම ආකාරයේ ප්‍රතික්ෂේපවීම් වේදනා ගෙන දුන්නද, ආදර සබඳතාවලදී ඇතිවෙන ප්‍රතික්ෂේපවීම් ඉතා අභියෝගාත්මක විය හැකියි. මෙහිදී ඇතිවෙන වියෝ දුක සති, මාස ගණන් පමණක් නොව වසර ගණනාවක් යනතුරුද දැනිය හැකියි.
සමහර අය ප්‍රතික්ෂේපවීම නිසා ඇතිවෙන වේදනාවට ප්‍රතිචාර දක්වන්නේ ආවේගශීලීවීමෙනි. ආවේගශීලීව හා අහිතකර ලෙස හැසිරීම නිසා සමාජයේ පිළිගැනීමට ලක්විය නොහැකි බවද අප තේරුම් ගත යුතුය.
ප්‍රතික්ෂේපවීම මේ තරම් වේදනාකාරී වෙන්නේ ඇයි?
අපගේ මොළය ඕනෑම වේදනාකාරී සිදුවීමකට ප්‍රතිචාර දක්වයි. වෛද්‍ය පර්යේෂකයින් පෙන්වා දෙන ආකාරයට ශාරීරික වේදනා මානසිකව ප්‍රතික්ෂේපවීම් යන අවස්ථා දෙකෙහිදීම මොළයේ එකම ප්‍රදේශයක වෙනස්කම් සිදුවෙයි.
ප්රතික්ෂේපවීමෙහි ඇති තවත් මානසික බලපෑමක් වන්නේ ශාරීරික වේදනාවකින් මෙන් නොව එය සිදු වී වසර ගණනාවක් ගත වුවද නැවත එම සිද්ධිය මතක් කළ විට මුලින් ඇති වූ ආකාරයටම වේදනාකාරී හැඟීම් ඇතිවීමයි. උදා : කලකිරීම, පළිගැනීමේ සිතුවිලි, තරහාව වැනි දෑ
ප්‍රතික්ෂේපවීම නිසා ආත්මාභිමානයට හානි සිදු වේ. ආත්මගරුත්වය, තම වටිනාකම අඩු වූ ලෙසට දැනේ. තමන්ව විවේචනය කිරීම, තමන් පිට වරද පටවා ගැනීම වැනි දෙයින් වේදනාව වඩාත් වැඩිවෙන අතර යථා තත්ත්වයට පත්වීමට ගත වන කාලයද වැඩිවේ. එම නිසා සෞඛ්‍යමත් ලෙස ප්‍රතික්ෂේපවීම්වලට මුහුණ දීමට, ප්‍රතිචාර දැක්වීමට හැකිවීම ඉතා වැදගත් වෙයි.
ප්‍රතික්ෂේපවීම පිළිගන්න
ඔබ ප්‍රතික්ෂේපවීමට ලක්වුවහොත් ඉන් ඇතිවෙන වේදනාව විඳගන්න. එසේ නොමැතිව එය සඟවාගෙන සිටීම මගින් සිදුවන්නේ ඔබගේ මනස තවත් ව්‍යාකූලතාවයට පත්වීමයි. එසේ වූ බව පිළිගැනීම ඔබ ඒ වේදනාවෙන් මිදී යළි ප්‍රකෘති තත්ත්වයට පත්වීමේ ආරම්භයයි.
ඔබටම දොස් පවරා නොගන්න
කෙනෙකු ඔබව ප්‍රතික්ෂේප කළ විට, එසේ වූයේ ඔබගේම වරදක් නිසා යැයි හැඟීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එසේ නමුත් වරද පටවාගෙන ඔබ යන්නේ හරි මග නොවේ. එහිදී වන්නේ ඔබේ හිතේ තුවාලය තවත් පෑරීමකි.
ඔබට දොස් පවරා නොගැනීමෙන් ඔබ්බට ගොස් ඔබට ආදරය, දයාව, අනුකම්පාව දක්වන්න. එය ඊළඟ පියවරයි. මේ සඳහා හොඳම දේ නම් ඔබව අගය කරන හා ඔබට ගරු කරන පුද්ගලයින් සමග වැඩිපුර කාලය ගත කිරීමයි. ඔවුන් ඔබව විනිශ්චය කිරීමකින් තොරව පිළිගන්නා බැවින් එය ඔබට ඇති වූ මානසික ආතතිය අඩු කිරීමටද ඉවහල් වෙයි.
ප්‍රතික්ෂේපවීම දිහා ධනාත්මකව බලන්න
තමන්ව ප්‍රතික්ෂේප කිරීම, අනෙක් පුද්ගලයාගේ තීරණයක් මිස තමාගේ අඩුපාඩුවක් මත සිදු වූවක් ලෙස නොසිතන්න. තමාට ඒ පුද්ගලයා අහිමි වූවා නොව එම පුද්ගලයාට ‘තමාව අහිමි’ වූ බව පසක් කරගන්න. එයින් තම වටිනාකම, ආත්ම විශ්වාසය නොබිඳී පවත්වා ගත හැකියි. සමහර විට එය වෙස්වළාගත් ආශීර්වාදයක් විය හැකියි. එසේත් නැත්නම් ඔබට ජීවිතය පිළිබඳ ඉගෙන ගැනීමට ලැබුණු අවස්ථාවක් විය හැකි බව හිතන්න. ඒ නිසා ප්‍රතික්ෂේපවීම ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්කර ගන්න.
සුබෝධිනී පෙරේරා
Leave a comment