ජීවිතේ වෙනස් කරන සම වයසේ මිතුරු ඇසුර

 

සම වයස් කණ්ඩායම් ගැන කතා කරද්දී අපගේ මනසට එන්නේ කුඩාවියේ දරුවන් ගැනය, නැත්නම් යොවුන් වියේ දරුවන්ය. එහෙත්  අද අප කතා කරන්නේ ළමා හා යොවුන්වියට පමණක් සීමා වූ සම වයස් කණ්ඩායම් ගැන නොවේ. අපේ ජීවිතයේ ඕනෑම වයසක දී සම වයස් කණ්ඩායම් අපට හමුවෙයි. ඔවුන් අප හා සමාන කැමැත්තක් සහ අත්දැකීම් ඇති යහළුවන් විය හැකිය.


සමහර විට සම වයසේ පසුවෙන, ඔබ සමග විවිධ ක්‍රියාකාරකම්වල (ක්‍රීඩා ආදී) යෙදෙන ළමයින් හෝ ඔබ අයත් සමාජයේ කොටස්කරුවන් විය හැකිය. මේ සියලුදෙනා ඔබේ යහළුවන් සේ ඔබ නොසැලකුවත් ඔවුන් ඔබට බලපෑම් කළ හැකි, නම්මවා ගත හැකි අය වේ.

 


සම වයස් කාණ්ඩයන්ගේ පීඩනය
ඔබගේ වයසට ආසන්න වයසේ පසුවෙන කෙනෙකුගෙන් ඔබට ඇතිවෙන බලපෑම් ඔබගේ ක්‍රියාවන්ට, සිතුවිලිවලට හෝ ආකල්පවලට බලපෑම් ඇති කළ හැකිය. 

 


සම වයස් කාණ්ඩයේ පීඩනයට වැඩිපුර ලක්වන අය

අදහස් දැක්වීම:  -සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය 
අධ්‍යක්ෂ කාර්යාලයේ, 
ප්‍රජා වෛද්‍ය විශේෂඥ 
යමුනා එල්ලාවල


ජීවිත කාලය තුළ සියලුදෙනාම යම් යම් අවස්ථාවලදී සම වයස් කාණ්ඩවල පීඩනයට බඳුන් වුවත්, නව යෞවන විය මෙහිදී වඩාත්ම අවදානම් කාලය වෙයි. ඊට හේතුව නම් මේ වයසේ අය විශ්වාස කරන්නේ වැඩිහිටියන්ට වඩා තම හැඟීම් හා අවශ්‍යතා වැඩිපුර අවබෝධ කර ගන්නේ සමවයස් අය බවයි. නව යෞවනයේදී අප සැවොම පාහේ මෙය විඳ ඇතත් සමහරු මෙය ජයගන්නා අතර තවත් සමහරු එහි අතරමං වෙති. එහෙත් බොහෝ දෙනෙක් මේ බව නොදනී. එහෙත් මේ පීඩනය අප අවබෝධ කර ගත යුතුය. ඊට හේතුව එයින් වන බලපෑම සහ අවසානයේ අපට මුහුණ දීමට සිදුවන ප්‍රතිවිපාක තීරණය වන නිසාය. 


නව යෞවන වයසේදී අපේ දරුවන් දවසින් වැඩි කලක් සමහර විට ගත කරන්නේ නිවෙසින් බැහැරව යහළුවන් සමගය. ඒ නිසා මේ සම වයස් කාණ්ඩයේ අයගෙන් පීඩනයට ලක්වීමට ඇති ඉඩකඩ බොහෝය. එසේ වුවත් එල්ලවන සියලුම ආකාරයේ පීඩනයන් අයහපත් යැයි කීමට නොහැකිය. මක්නිසාදයත් ඒ අතර ධනාත්මක පීඩනයන්ද ඇති නිසාය. 


එහෙත් අප මෙහිදී වඩාත් අවධානය යොමු කළ යුත්තේ සම වයස් කාණ්ඩයන්ගෙන් එල්ල වන සෘණාත්මක බලපෑම් සම්බන්ධවය. මේ සෘණාත්මක පීඩනය හැමවිටම නීති විරෝධී නොවන්නට පුළුවන. එහෙත් එය ඔබට හානිකර, අයහපත් සහ පාසලේ හෝ නිවසේ නීතිරීතිවලට හා ඔබගේ අගයන්ට පටහැනි විය හැකිය.

 


මේ සෘණාත්මක සමවයස් පීඩන මොනවාද?
* සමාජ සම්මතයන්ට නොගැළපෙන ලෙස ඇඳුම් ඇඳීම
* මවුපියන් වැඩිහිටියන් රැවටීම
* සමහර ළමයින් කොන් කිරීම, වෙනස් කොට සැලකීම
* ජීවිත අවදානම නොතකා යම් යම් ක්‍රියාවල යෙදීම (අවදානම් ලෙස රිය පැදවීම, ගංගා, ඇළදොළවල නෑමට යාම)
* මත්පැන්, මත්ද්‍රව්‍ය පානය කිරීම
* සොරකම් කිරීම
* ප්‍රචණ්ඩ ක්‍රීයාවල යෙදීම

 


සෘණාත්මක පීඩනයන්ට නතුවෙන්නේ ඇයි?
* තමා වෙත අන් අයගේ අවධානය වැඩිපුර දිනා ගැනීමට
* අවදානම් ක්‍රියාවලින් ලැබෙන උද්වේගකරබව විඳ ගැනීමට
* මවුපිය රැකවරණයෙන් මිදී තම අනන්‍යතාව සොයා යාමට පහසු මඟක් ලෙස සැලකීම
* තමන් තුළ ඇති අඩු ආත්මාභිමානය, ආත්ම ශක්තිය නංවා ගැනීමට
* නිවසේදී, පාසලේදී තමන්ට ලැබෙන අඩු වටිනාකම 
සම වයස් සෘණාත්මක පීඩනය නිසා ඇති වෙන බලපෑම
* අයහපත් පුරුදු ඇතිවීම
* අධ්‍යාපනික කටයුතු දුර්වලවීම
* ආත්ම විශ්වාසය අඩුවීම
* පවුලේ අයගෙන් ඈත්වීම
* තමා තුළ සෘණාත්මක හැඟීම් ඇති වීම හා තමාටම හානිකර ගැනීමට පෙලඹීම

 


සම වයස් කාණ්ඩ සෘණාත්මක පීඩනය කළමනාකරණය කරගන්නේ කොහොමද?
මුලින්ම අවධාරණය කළ යුත්තේ ඔබට යහළුවන් ඇති කර ගැනීම සදහා ඔබ අකැමැති දේ කිරීමට අවශ්‍ය නොවන බවයි. ඒ සදහා අනුගමනය කළ හැකි උපායන් කිපයක් මෙහිදී ඉදිරිපත් කරමු.
* සමවයස් කාණ්ඩයෙන් අහිතකර පීඩන එල්ල විය හැකි අවස්ථා ගැන දැනුවත් වීම හා ඒවාට හොඳින් මුහුණ දීමට කල් ඇතුවම සූදානම් වෙන්න.
* එවැනි පීඩන එල්ල කරන අය සමග හොඳින් කතා කර ඔබට දැනෙන ආකාරය, ඔබේ මතය පිළිබඳව කතා කරන්න. මෙහිදී ආත්ම ශක්තිය,ආත්ම විශ්වාසය ඇති කර ගැනීම ඉතා වැදගත් වෙයි.
* එවැනි අවස්ථාවකදී මවුපායන් හෝ විශ්වාසවන්ත වැඩිහිටියෙකුට දැනුම් දී සහාය පතන්න.
* අයහපත් ක්‍රියාකාරකමක යෙදීමට පෙර ඉන් ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵල ගැන සිතන්නට හැකි මානසිකත්වයක් ගොඩනගා ගන්න.
* ඔබගේ අගයන්, විශ්වාස හා වටිනාකම්වලට හානි විය හැකි අවස්ථාවලදීි නොබියව ‘නැහැ’ ‘බැහැ’ කීමට පුරුදු වෙන්න.
* ඔබ ඔබම වන්න. ඔබවම අපහසුතාවයට පත් කරමින් අන් අයගේ රාමුව තුළට ගැළපීමට නොයන්න.
සෑම දරුවෙකුටම යම් මොහොතකදී සමවයස් කාණ්ඩ පීඩන විඳ ගැනීමට සිදුවෙයි. මවුපිය වැඩිහිටියන්ට එය සම්පූර්ණයෙන් වළක්වා ගත නොහැකි වුවත් එහි බලපෑම අවම කිරීමට කළ හැකි දේ ඇත.
* දරුවන් සමග  ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වා ගන්න.
* සම වයස් කාණ්ඩ පීඩනය ගැන දරුවාට තේරුම් ගත හැකි අයුරින් අවබෝධ කරදෙන්න.
* යහපත් ධනාත්මක යහළුවන් ඇසුරට උනන්දු කරවන්න.
* දරුවන් ඇසුරු කරන යහළුවන්, ඔවුන්ගේ වැඩිහිටියන් ගැන අවබෝධයෙන් ඉන්න.
* නිවෙසේදී මෙන්ම නිවෙසින් බැහැරව ඔබේ දරුවා යෙදෙන ක්‍රියා පිළිබඳව අවධානයෙන් ඉන්න.
* විවිධ යහළුවන් ආශ්‍රයට මඟ හදා දෙන්න. එවිට දරුවාට එකම යහළු කණ්ඩායමකට වඩා තමාගේ අදහස් හා අගයන්ට ගැළපෙන යහළුවන් තෝරා ගැනීමට අවස්ථාව ලැබේ. 
* නිවස තුළ විනයක් පවත්වා ගන්න. එහෙත් ඒ සඳහා දරදඬු ක්‍රම යොදා නොගන්න.

 

 සුබෝධිනී පෙරේරා


 

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ Read Previous

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න   - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන් Read Next

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන්

Realted Post

Leave a comment