ජීවිතේ වෙනස්වෙන්න බය හිතෙනවද?

 

මේ ලෝකයේ වෙනස් නොවන දෙයක් වෙයි නම් ඒ ‘වෙනස් වීම’ ය. එහෙත් අපි තවමත් මේ ‘වෙනස්වීම’ දරා ගැනීමට අපොහොසත් වෙමු. සමහරු තුළ වෙනස්වීම කෙරෙහි අධික බියක් හටගන්නා නමුත් ‘වෙනස්වීම’ නිසා ඇතිවෙන ‘අලුත් දෙයින්’ අපට බියක් ඇති විය යුතු නොවේ.


අපේ මොළය හැඩ ගැසී ඇත්තේ සෑමවිටම පාලනය තමන් යටතට ගැනීමට කැමැත්තක් දක්වන අයුරිනි. ඒවාගේම සිදුවන්නේ කුමක්ද, එය සිදුවන්නේ කුමන මොහොතේද යන්න දැනගත හැකි අයුරිනි. ඒ තම පැවැත්ම හා ආරක්ෂාව වෙනුවෙනි. ඒ නිසා මිනිසා ස්වභාවයෙන්ම වෙනසකට කැමැති නැත.

 

අදහස් දැක්වීම:  -සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ 
යමුනා එල්ලාවල

එසේ වුවද අපට ජීවිතයේ සිදුවිය හැකි දේ හැමවිටම අනුමාන කළ නොහැකිය. ඒ නිසා අලුත්, නොදන්නා දේ පිළිගැනීමට හා එවැනි වෙනසක් දෙස ධනාත්මකව බැලීමට අප ඉගෙන ගත යුතුය.


අප සෑම කෙනෙකුටම විවිධ මට්ටම්වලින් ‘වෙනස්වීම’ සම්බන්ධයෙන් බියක් ඇතිවෙයි. ඕනෑම කටයුත්තකදී අපට අපහසුතා නොදැනෙන සීමාවක් ඇත්තේ නිසාය. ඒ නිසා යම් කෙනෙකුට ‘වෙනස්වීමට’  බියක්  ඇති වන්නේ  තමන්ට පමණක් බව සිතනවා නම් එය වැරැදිය. මේ සම්බන්ධව විද්‍යාත්මකව පෙන්වා දීි ඇත්තේ වෙනසකදී සිතේ ඇතිවෙන අවිනිශ්චිතභාවය මොළය හඳුනාගන්නේ ‘අසාර්ථකබව’ හා සමාන හැඟීමක් ලෙසය. මෙහිදී ඇතිවෙන අපහසුදායක හැඟීම් නිසා බොහෝ අය මේ ‘වෙනස’ මඟ හැර යන්නට උනන්දු වෙති.


ලොකු, කුඩා, බලාපොරොත්තු වූ හෝ හදිසියේ ඇතිවෙන, ධනාත්මක හෝ සෘණාත්මක ඕනෑම වෙනසකදීි ඒ සඳහා මානසික හැඩගැසීමක් අවශ්‍ය වේ. සත්‍යය නම් කෙතරම් ඒකාකාරීබවක් දැනුනත් අප සෑමදෙනාම සුපුරුදු වැඩකටයුතුවල පහසුබවට කැමැති වීමයි. නැවත නැවත සිදුවන දේ විඳීමට අප කැමැත්තක් දක්වන්නේ එවිට අපට ආරක්ෂිතබවක් දැනෙන නිසාය. ඉදිරියට සිදුවන දේ ගැන අප දැනගෙන සිටින නිසාය. අප කරන වැඩ කටයුතුවල යම් වෙනසක් සිදු වූ වහාම මොළය එය ‘නොහඳුනන’ දෙයක් ලෙස සලකා ඒ දෙය ‘පුරුදු’ දෙයක් බවට පත් කරනතුරු අප නොසන්සුන්තාවට පත් වේ. 


වෙනසකට බියක් දක්වන පුද්ගලයින් බොහෝවිට අලුත් දේ අත්හදා බලන්නට ඇති අවස්ථා මඟහරී. ඒ නිසා ඔවුන්ගේ ඉලක්ක කරා යාමට ඔවුහු මැලි වෙති. මේ නිසා ඔවුන් අකැමැති රැකියා හා සබඳතාවල දිගටම නියැළීමට යාමෙන් ආතතිය, නොසන්සුන්බව, විෂාදය මෙන්ම ප්‍රාණවත්බව අඩු ගතියක්ද දැනිය හැකියි.


‘වෙනස්වීම’ට 
බයවෙන්න හේතු 
*අසාර්ථක වීමට ඇති බිය
* අවිනිශ්චිතභාවයට ඇති බිය
* දියුණුවට ඇති බිය
* විවේචනවලට ඇති බිය
* තමන්ගේ අඩුපාඩු ගැන ඇති බිය
* අමතර වැඩ කරන්නට සිදුවේ යැයි ඇතිවෙන  බිය

 


වෙනසට බිය වීම මගහැර ගන්නේ කොහොමද?
01. වෙනස්වීමට අදාළ කරුණු සොයන්න. එය කළ යුතු ආකාරය, එහිදී පැන නැගිය හැකි ගැටලු, අවසන් ප්‍රතිඵල පිළිබඳ යම් අවබෝධයක් ලබාගන්න. එයින් ඔබේ සිතේ ඇති අවිනිශ්චිතභාවය අඩු කර ගත හැකියි.
02. ‘වෙනස’ බාර ගන්න
වෙනස පිළිගැනීම යනු ඔබ යථාර්ථය අවබෝධ කර ගෙන ඇති බවයි. ඔබ වෙනස්වීම මැඩ පැවැත්වීම වෙනුවට එය පිළිගන්නේ නම් එහි ඇති සියලු හොඳ හා නරක දේ කළමනාකරණය කිරීමට ඔබට ශක්තියක් ලැබෙනු ඇති.
03. මීට පෙර වෙනස්වීම්වලට ඔබ මුහුණ දුන් ආකාරය මතක් කරන්න
සමහර විට එම වෙනස ඔබ සිතූ තරම් සාර්ථකත්වයට ලක් නොවුණත් එයින් ඔබ ලැබු පන්නරය (ශක්තිමත්වීම) දරා ගැනීමේ හැකියාව අගයන්න.
04. මේ මොහොත ගැන සිතන්න
ඕනෑවට වඩා සිතීමට  යාමෙන් සිදුවන්නේ ඔබ නොසන්සුන්තාවට, ආතතියට පත්වීමයි. මේ මොහොතේ ඔබට කිරීමට ඇති දේ ගැන සිත යොමු කරන්න.
05. සුබවාදීබව පුරුදු පුහුණු කරන්න
අප තුළ ඇති සෘණාත්මක ස්වයං කතාබහ (මේ වැඩය සිතන විදියට සිදු නොවුණොත්) ධනාත්මක කතාබහට (මේ වැඩය සිතන විදියට සිදු වුණොත්) වෙනස දෙස සුබවාදීි ආකල්පයකින් බලන්න.
06. සුළු වෙනස්වීම් තුළින් ‘වෙනසට’ මුල පුරන්න.
පියවරවලට කඩා ඉලක්කය කරා යාම තුළින් එකවිටම වෙනස ළඟා කර ගන්නවාට වඩා පහසුබවක් ඔබට දැනේවි. 
07. ඔබේ වෙනසට උදව් කරන, විශ්වසනීය අය සමග සබඳතා පවත්වාගෙන යන්න. 
08. ඔබේ ‘වෙනස’ ඉතා සුළු වුවත් එය ඔබම අගය කරන්න.
09. වෙනසට ඔරොත්තුදීමට හැකිවන පරිදි යහපත් ජීවන රටාවක් අනුගමනය කරන්න.

සුබෝධිනී පෙරේරා


 

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද? Read Previous

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද?

අම්මාගේ ආදරය  මම ඇයගෙන්  හොයනවා   Chanuka Read Next

අම්මාගේ ආදරය මම ඇයගෙන් හොයනවා Chanuka

Realted Post

Leave a comment