තාත්තා කවදාවත් අපිට නීති දාලා නැහැ ...... Soorya Dayaruwan

වටිනා දරුවන් සත් දෙනෙකු මේ සමාජයට දායාද කළ  ඒ අහිංසක ආදරණීය සෙනෙහෙවන්ත පියා ආර්.ඩී. අභයරත්න.  ඔහු  පොළොන්නරුවේ වැසියෙකි.  ඒ වගේම  ඔහු  උසස් පෙළ ඉතා ඉහළින් සමත් වුවත්  හෙළ වෙදකමට මුල් තැන දෙමින් ගමේ වෙද මහතාගේ කාර්යභාරය ඉතාමත් ගෞරවයෙන් සිදු කරන්නෙකි. ඔහු  මේ යුගයේ ජනප්‍රිය සහ දක්ෂ ගායකයෙකු හා රංගන ශිල්පියෙකු වන සූර්යා  දයාරුවන්ගේ  ආදරණීය පියාණන්ය. ගැහැනු දරුවන් පස්දෙනෙකු සහ පිරිමි දරුවන් දෙදෙනෙකුගෙන් යුතු පවුලේ  බාලම දරුවා සූර්යා ය.

මේ සූර්යා තම පියා ගැන අවදි කළ හඬයි,  

  • නීති නැති නිවෙසක්     

‘‘තාත්තා කවදාවත් අපිට නීති දාලා නැහැ. මොකද තාත්තා දන්නවා අපි යන මාර්ගය හරි කියලා. ඒ ගැන තාත්තට කිසිම බයක් තිබුණෙ නැහැ. දරුවන් සියලු දෙනාටම එක හා සමානව ආදරය කරනවා. හැම වෙලාවෙම තාත්තා කැමති ආදරෙන් ඉන්න. අම්මයි තාත්තයි  අඬදබර කර ගන්නවා අපි කවදාවත් දැකලා නැහැ. ඔවුන් ගොඩක් ආදරයෙන් ජීවත්වන්නේ.  තාත්තා අම්මගෙන් වෙන්වෙලා ඉන්න කැමතිම නැහැ.   ඒ වගේම මුනුපුරු මිනිබිරියන්ට ගොඩක් ආදරෙයි. කෑමක් බීමක් ගත්තත් එයාලා වෙනුවෙන් එයාලගෙ  කොටස අනිවාර්යෙන් වෙන් කරලා තියාගන්නවා. 

  •  එකම සතුට අපේ දියුණුව

මම ඉපදෙන විට  තාත්තා වයසින් මුහුකුරා  ගිහින්. එ් නිසා තාත්තට මාව වැඩියෙන් හුරතල් කරන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. තාත්තා මට ගොඩක් ආදරෙයි. තාත්තා ඒ කාලේ ගොඩක් නිහඬ චරිතයක්. තාත්තට ජීවිතයේ තිබෙන වටිනාකම නිශ්ශබ්දතාවයි. ඒ කොහොම නමුත් සමහර අවස්ථාවලදී තාත්ත මාව උකුළෙ  තබාගෙන සිංදු, කවි කතා කියලා දෙනවා. ඒ වගේම තාත්තා භාෂා කිහිපයක්ම දන්නවා. තාත්තගෙ ලොකුම බලාපොරොත්තු වුණේ දරුවන් ඉහළටම ඉගෙන ගැනීම. ඉතින් අපි ඒ දේ කළා. ගමේ මිනිස්සු ලිපි ලේඛන වැඩ සඳහා තාත්තව හොයාගෙන නිවසට එනවා. ඒ කාලයේ  පාසලේ ගුරුවරු නැති කාලපරිච්ඡේදවල තාත්තා ඉගැන්වීම් කටයුතු පවා සිදු කරනවා.
මේ වන විට අම්මයි තාත්තයි පොළොන්නරුවේ නිවසේ තනියම ජීවත් වන්නේ. තාත්තා හැම වෙලාවෙම කියන දෙයක් තමයි දරුවෝ හත්දෙනෙක් ඉඳලත් ඒ දෙන්න තනියමලු. තාත්තා කැමති නැහැ  කොළඹ ජීවිතයට. ඔහු කැමති ගමේ ඉන්න. තාත්තා දැනටත් හුඟක් ශක්තිමත් පුද්ගලයෙක්. 

  • අපූරු පුරුදු

තාත්තට අපූරු පුරුදු තිබුණා. බස් එකක වාඩිවෙලා යනවා නම් කවදාවත් සීට් එකට හේත්තුවෙන්නෙ නැහැ. කොන්ද කෙළින් තියාගෙන වාඩිවෙලා ඉන්නවා. මගේ තාත්තා ඇත්ත ඇති සැටියෙන් දකින සහ කතා කරන පොළොවෙ  පය ගහලා ජීවත්වන සුන්දර මිනිසෙක්. තාත්තා ගොඩක් පොත් කියවනවා. ඒ වගේම තාත්තට අපි රැගෙන යන ඇඳුම්වලින් කොටසක් අනෙක් අයටත් බෙදනවා. ඒක තාත්තගෙ පුරුද්දක්. 
තාත්තා හැම වෙලාවෙම මට උපදෙස් දෙනවා සංවේදීව හිතන්න. තරහ ගන්න එපා. හැමකෙනා ගැනම මානුෂීයව හිතන්න. තමන්ගේ අරමුණුවලට යන්න. තමන් ඉන්නෙ තනියම කියලා හිතන්නෙ නැතිව ඒ තනිකම තමන්ගේ ශක්තිය කරගන්න. අපිට වෙන්න තියෙන  දේවල්  අනිවාර්යයෙන් සිදුවෙන බව, ඒ වගේම බුදු දහම ගැන හැමදෙයක්ම  කියලා දුන්නා. ස්වභාවධර්මයට,  සත්තුන්ට ආදරේ කරන්න කියලා දුන්නා. වැඩිහිටියන්ට ගරු කරන්න කියල දුන්නා.
මගේ තාත්තව මට ලැබුණේ මගේ වාසනාවට. මම ඉපදුණු තැන මගේ ගමනට ලොකු හයියක් වුණා. මම මේ ඉන්න තැන ගැන අම්මයි තාත්තයි දෙන්නම ගොඩක් සතුටුයි.  මම ගමේ යන දවස්වලට අපේ ගෙදරට මාව බලන්න  පිරිස එනවා. ඒ දේවල් හරිම සතුටින් තාත්තා බලාගෙන ඉන්නවා.  මගේ ගැන සඳහන් වන පත්තරවල ලිපි , ඡායාරූප ඒ හැම දෙයක්ම ලැමිනේටින් කරලා තියාගන්නවා. මම ගෙදර යන දවසට මම කැමති කෑම බීම හැම දෙයක්ම තාත්තා අරගෙන එනවා. 
තාත්තා මම ගැන හොඳට දන්නවා. නමුත් මම තාත්තා ගැන හරියටම දන්නේ නැහැ. මම තාත්තා කෙනෙක් වුණු  දවසට   ඒ හැඟීම, කැපකිරීම ආදරය හැම දෙයක්ම මටත් දැනගන්න ලැබේවි. ළඟ හිටියේ නැතත් තාත්තට තිබෙන ඒ  ආදරය ගෞරවය හැමදාම  තිබෙනවා. තාත්තා කිය දුන් මාර්ගයේ මම ඉදිරියටම යනවා. 
තාත්තා මම වෙනුවෙන් කරපු කැප කිරීම්වලට ණය ගෙවන්න මට සංසාරය පුරාම බැරිවෙයි. මගේ තත්තාට  සසරේ  නැවත ආත්මයක් නොලබා නිවන් ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. 

ඇසේ මතුවන කඳුළු නුඹගේ - 
ඇස තුළම රඳවනා මොහොතක
හදවතින් එය සුසුමකට හරවා - 
පිටවහැරියා වියළි සුළඟේ
ගතේ මතුවන දා බිංදු නුඹගේ - 
තෙමී යයි බොල් පොළොව නියඟේ
උහුලමින් බර මහා බර මෙන් - 
නොසැලී සිටියා "පහන් ටැඹ සේ"
සිතක නිවී යන සිහින නුඹගේ -
එළිකරන්නට වෙර දරන මොහොතේ 
තුරුලට ගමින් හැඟුම් දහරින් - 
ජීවිතය දුන්නා පාඩමක් විලසින්
දන්න තරමින් අපේ හද තුළ - 
උතුම් වූ පැතුමයි ඒ ඔබගේ
නැවත උපතක් නොලැබෙමින් මෙහි - 
නිවන ලැබුමට 
ඇහිපිල්ලමක සැණෙකින්

පද  -  සූර්යා දයාරුවන්

 

 

The Next Face Read Previous

The Next Face

Launch of the Times School of Higher Education Read Next

Launch of the Times School of Higher Education

Realted Post

Leave a comment