තනි කාන්තාවක් ලෙස ගොඩගිය විදිහ ගැන කියන Manisha Shyamali

ටෙලිනාට්‍ය වේදිකාව සිනමාව යන මේ ඕනෑම කලා මාධ්‍යයක නිර්මාණ තුළින් චරිත නිරූපණය කිරීමට සහජ හැකියාවක් ඇති රංගන ශිල්පිනියක් සේම ප්‍රජා සත්කාර හා සම්බන්ධ සමාජයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වූ ඇය ප්‍රවීණ රංගන ශිල්පිනී මනිෂා ශ්‍යාමලීයි. මෙවර සිරිකත අපි සුහද කතා බහ ඇය සමගයි.

  • ඔබ නිකිණි කුසුම් ටෙලි නාට්‍ය තුළින් නැවත රංගනයට පිවිසුණා නේද ?

ඔව්. මගේ පෞද්ගලික වැඩි කටයුතු නිසා කාලයක් නිහඬව සිටියා. නිකිණි කුසුම් ටෙලි නාට්‍ය චරිතය තුළින් නැවත ප්‍රේක්ෂකයන් අතරට එන්න අවස්ථාවක් ලැබුණා. වෙනස්ම විදිහ තේමාවක් සමග වෙනස්ම චරිතයක් මට ලැබුණා. ඒවාගේ වෙනස්ම විදිහ චරිතයකට දායක වෙන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි.

  • මේ දවස්වල ඒ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද ?

බොහොම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. මේ චරිතය මගේ ජීවිතේට එහා ගිය නපුරු දුෂ්ට චරිතයක්. මගේ ප්‍රේක්ෂකයෝ හිතවතුන් හැමෝම අහනවා කොහොමද ඔයා එච්චර නපුරු චරිතයක් නිරූපණය කරන්නේ කියලා. නමුත් මම ඒ අභියෝගයට මුහුණ දීලා චරිතයට සාධාරණයක් ඉෂ්ට කළා කියා සිතනවා. මේ චරිතයට ලැබෙන ප්‍රතිචාර නිසා මම ඇත්තටම සතුටු වෙනවා.

  • ඔබගේ ගම මගේ මතක් කලොත්

ජාතික රූපවාහිනී ළමා වැඩසටහනෙන් මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න අවස්ථාවක් ලැබුණා. ඒවගේම පාසල් කාලයේද මෙවැනි කලා නිර්මාණවලට සම්බන්ධ වී කටයුතු කිරීමට අවස්ථාවක් ලැබුණා. ගොළු හදවත ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිදු කළේ අපේ පාසලේ. ක්‍රමක් ක්‍රමයෙන් නිරූපණ ශිල්පිනියක් රංගන ශිල්පිනියක් විදියට ක්ෂේත්‍රයේ ඉදිරියටම එන්න අවස්ථාව උදා වුණා. එදා සිට අද දක්වාම රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරමින් තවමත් ක්ෂේත්‍රයේ රැඳී සිටිනවා.

  • කුඩා කාලයේ ඔබේ බලාපොරොත්තු මොනවාද?

පොඩි කාලේ රංගනය පිළිබඳ යම් යම් ආකාරවලින් ආසාවක් තිබුණා. නමුත් ඒ සිතිවිල්ල ප්‍රබල එකක් වුණේ නැහැ. මගේ කැමැත්ත තිබුණේ වෘත්තීය මට්ටමින් නීතිඥවරියක් හෝ ගුවන් සේවිකාවක් වීමටයි. ඒ සඳහා අධ්‍යාපනික මට්ටමෙනුත් හැදෑරීම් කටයුතු සිදුකර තිබුණා. පසුකාලීනව ඒ සියලු සිතිවිලි වෙනස් වී කලා ක්ෂේත්‍රයට පිවිසුණා. මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ආදරේ ගෞරවය සමඟ තවමත් කලා ක්ෂේත්‍රයේ රැඳී සිටිනවා.

  • සරත් නාමල්ගම කියන්නේ ඔබගේ සැමියා. ඔහු ගැනත් අපි මේ වෙලේ මතක් කළ යුතුයි.

 

මගේ සැමියා වියෝවී දැනට අවුරුදු පහක් ගතවෙලා. ඒ අඩුව මට බොහෝ සේ දැනෙනවා. ඔහු ප්‍රවීණ කලා ශිල්පියෙක්.  ඔහු රංගන ශිල්පියෙක් වගේම නිෂ්පාදකවරයෙක්. වෘත්තියෙන් බැංකු නිලධාරියෙක් ලෙස කටයුතු කළා.  ඒ වගේම වාහන ගෙන්වන  ව්‍යාපාරයක්ද කළා. ඒවගේම ප්‍රේක්ෂකයන් අතට හොඳ නිර්මාණ ගෙන ගිය නිවී සැනසිල්ලේ අහිංසකව ජීවත් වුණු සරල පුද්ගලයෙක්.

  • ඒ දවස්වල ඔහුගෙන් ඔබට ලැබුණු සහයෝගය කෙබඳුද?

ඔහු ගොඩක්  හොඳ සැමියෙක්. මගේ කලා කටයුතුවලට බොහෝ සෙයින් සහයෝගය ලබා දුන්නා. නිර්මාණ චරිත තෝරා ගැනීමේදී උපරිම ලෙස සහයෝගය ලබා දුන්නා. මට බලපෑම් කළේ නැහැ.  නමුත් මම හොඳ ගෘහිණියක් වෙනවට ඔහු බොහෝ සෙයින් කැමති වුණා.

  • නිහඬව සිදු කරන සමාජ සේවා වැඩත් ගොඩයි නේද ? 

ඔව්. පාසල් කාලයේ සිටම මම බොහෝ සමාජ සේවා කටයුතුවලට දායකත්වය ලබා දී තිබෙනවා. ඒ සඳහා සහතිකපත්ද  ලබාගෙන තිබෙනවා. ඒවගේම ගමේ තිබෙන කාන්තා මරණාධාර සර්වෝදය සමිති ද පන්සලේ කුලඟන තරුණ බෞද්ධ සමිතිවලද සමාජ සේවා සංවිධාන කලාකරුවන්ගේ සංවිධාන හා සිංහ සමාජය ඇතුළු සමිති සමාගම් රැසකම නිලතල දරමින් ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස අදටත් කටයුතු කරමින් සිටිනවා. ඒ තුළින් සමාජයට තව තවත් මෙහෙවරක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ වගේම කලාකරුවන් වෙනුවෙන් පාර්ලිමේන්තු පනතක්ද බාර දෙනු ලැබුවා.

  • ජීවිතය තනියම ගෙනයන කාන්තාවක් ලෙස ඔබට මෙවෙලේ මොකද හිතෙන්නේ ?

මම ගොඩක් ධෛර්යයවන්තයි. කුමන දේකදි වුවත් පසුබට වෙන්නේ නැහැ. ඒ වගේම ජීවිතය ජය ගන්න ඉලක්ක කරා යමින් වැඩ කරනවා. මම තනියෙන් ජීවිතේ ගොඩ ආපු කෙනෙක්. මම ඉලක්ක අනුව  වැඩ කරලා ජීවිතය ජය ගත්තා. මෙතනින් එහාට මට යම්කිසි දෙයක් ලැබෙනවා නම් එය අමතර ආදායමක් ලාභයක් වාසියක් ලෙසයි මා වෙතට එන්නේ. මම කැමති සෑම පුද්ගලයෙක්ම ජීවිතය විඳිමින් සතුටින් සිටිනවාට. දිව්‍ය කාන්තාවක් ලෙස අපිට ජීවිතය ඉස්සරහට යන්න පුළුවන් කියා මම විශ්වාස කරනවා.

  • කාන්තාවන්ට ඔබෙන් දෙන පණිවිඩය 

කිසිම වෙලාවක කම්මැළි වෙන්න එපා. උදෑසනම අවදි වී තමන්ගේ වැඩකටයුතු හොඳින් සිදු කරගන්න. ඒවගේම  තමන්ගේ ආදරණීයන්ට ආදරය අගයකරීම් දෙන්න. තමන්ගේ පවුලට ආදරය කරුණාව ලබා දෙන්න. ජීවිතය විඳින්න සතුටින් ගත කරන්න. අනුන්ගේ දේවල් හොයන්න එපා. රූපවාහිනී සමාජ මාධ්‍ය වල වැඩිය ගැවසෙන්න එපා. ඒ තුළින් ගත හැකි දේවල් තිබේ නම් ජීවිතයට අරගන්න. අනුන්ගේ දේවල් සොයමින් ඉන්න එපා. මෙවැනි දේවල් වලට කාලය මුදල් කැප නොකර තමන්ට තමන්ගේ දියුණුවට වැඩ කටයුතු කරගන්න.

  • ඉදිරියේදී  වැඩකටයුතු මොනවද ?

අලුත් නිර්මාණ කීපයකටම දායකත්වය ලබා දී තිබෙනවා. ඒවා විකාශනය වීමට නියමිතයි. මම කැමතියි රංගන ශිල්පිනියක් ලෙසත් සමාජයට ආදර්ශමත් නිර්මාණ එකතු කිරීමට. ඒ වගේම ඉදිරියේදී ගුණදායක නිර්මාණ සඳහා නිෂ්පාදන අංශයෙන්ද දායකත්වය ලබාදීමටද බලාපොරොත්තුවෙන් සිටිනවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු Read Previous

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු

මහත, කෙට්ටු සිරුරු හැඩකරන Shape wair Read Next

මහත, කෙට්ටු සිරුරු හැඩකරන Shape wair

Realted Post

Leave a comment