තනිකමට තහනම් ගහේ ගෙඩි කෑම හරිද?

 

වර්තමාන සමාජය අන් කවරදාකටත් වැඩිය සංකීර්ණ වී තිබෙන බව පොදුවේ අප සෑම දෙනාම පිළිගන්නා සත්‍යයකි. ඒ සංකීර්ණත්වය සමහර ගැහැනු පිරිමි සතුට සොයා යන්නේ එම ක්‍රියාවේ හොඳ නරක ගැන හෝ නොසිතමිනි. අනියම් සබඳතාවල තත්ත්වයද මීට සමානය. එනම් විවාහ ජීවිතයේ ඒකාකාරීත්වයට කොටු වී සිටින සමහර පිරිස් මොහොතක සුව පතා තම කුටුම්භ ජීවිතය ගැනද නොසිතමින් අනියම් සබඳතාවල පැටලෙති. ලංකාවේ විවාහක ජන සමාජයෙන් සැලකිය යුතු පිරිසක් රහසේ හෝ එළිපිට මෙවැනි සබඳතා පවත්වන බව සමහර සමීක්ෂණ වාර්තාවලින් හෙළි වී ඇත. ගැහැනු සහ පිරිමි මෙවැනි අනියම් සබඳතාවලට යොමුවන්නේ ඇයිද යන්න සොයා බැලීමෙන් සහ ඒවාට පිළියම් යෙදීමෙන් එවැනි සබඳතා වළක්වා ගැනීමට හැකියාවක් තිබේ.

අදහස් දැක්වීම
මනෝ උපදේශිකා 
මදාරා ජයවර්ධන

අනියම් සබඳතා සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වන්නේ තහනම් ගහේ ගෙඩි කෑමක් ලෙසය. තහනම් ගහේ ගෙඩි රස යැයි සමහරු පැවසුවත් එය සාවද්‍ය මතයක් බව තරුණ වැඩිහිටි සැවොම මතක තබාගත යුතු කාරණාවකි. තහනම් ගහේ ගෙඩි කෑමට ගියොත් විනාශ වන්නේ වටිනා පවුල් ජීවිතය බව හොඳින් තේරුම් ගත යුතුය. සාමාන්‍යයෙන් ගැහැනියක් හා පිරිමියෙක් අතර ඇති වන සම්බන්ධතාවට වඩා සංස්කෘතික රාමුවෙන් පිට සබඳතාවක් අනියම් සබඳතාවයක් ලෙස අපට ආර්ථකථනය කළ හැකිය. සාමාන්‍යයෙන් බොහෝ විට කෙනෙකු අනියම් සබඳතාවකට යොමු වන්නේ සිය පවුල් ජීවිතය තුළ තිබිය යුතු ලිංගික හා මානසික සතුට නැති වූ විට ය. නීත්‍යානුකූල භාර්යාව හෝ නිත්‍යානුකූල පිරිමියා තුළ පමණක් විවාහ ජීවිතය භුක්ති විඳිය හැකි නම් අද සමාජයේ පවතින ප්‍රශ්න බොහොමයකට විසඳුම් ලබාගත හැකි ය.

කාංචනා යනු මනෝ උපදේශක සායනයට පැමිණි මැදිවියට ආසන්න කාන්තාවක්. කාංචනා විවාහ වෙලා අවුරුදු පහක් විතර වෙනවා. ඇයට අවුරුදු තුනක විතර පුංචි පිරිමි දරුවෙකුත් සිටිනවා. ඇය කියපු විදියට අවුරුදු 2 1/2ක විතර ඉඳන් දැඩි මානසික ආතතියකින් තමයි ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ ඇය විවාහ වෙලා අවුරුදු 2 1/2කට පස්සේ ඇයට විවාහ ජිවිතයේ ඒකාකාරීත්වය දැනිලා. සැමියාගේ අඩුපාඩු නිසා තමයි ඇය අනියම් සබඳතාවකට පෙළඹිලා තිබෙන්නේ. ඇය කරන වැරැද්දේ බරපතලකම තේරුම් අරගෙන තිබුණේ නැහැ. මුලදී කාංචනා සහ ඇගේ සැමියා සුනිල් ගොඩාක් ආදරයෙන් ජීවත් වූ පවුලක්. දරුවා ලැබීමත් එක්ක දෙදෙනාටම ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න වුවමනාව ඇතිවෙලා තියෙනවා. දෙන්නා තුන්දෙනාවීම තමයි ඒකට හේතුව. සුනිල් ආර්ථික අපහසුතා නිසාම මුලදී රැකියාවෙන් පස්සේ අතිරේක වෙලාවක් සේවය කරන්න පෙළඹිලා තියෙනවා. ඒකත් ප්‍රමාණවත් නොවුණු තැන ටියුෂන් කරන්න පෙළඹිලා තියෙනවා. මේ අවිවේකය නිසාම සුනිල්ටත් කාංචනාටත් අල්ලාප සල්ලාපයේ යෙදෙන්නටත් වෙලාවක් නැතිවෙලා තියෙනවා. කාංචනා පාළුවෙන් ඉන්න මොහොතක ලැබුණු මිස් කෝල් එකක් නිසා තමයි කාංචනාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කණපිට ගැහෙන්න පටන් අරන් තියෙන්නේ.

එහෙම බැලුවාම සුනිල් කියන්නේ මේ කතාවේ දුෂ්ඨයා නොවෙයි. ඔහු පවුලේ බර කරට ගත් ආදරණීය සැමියෙක්. ලෙංගතු තාත්තා කෙනෙක්. කාංචනා මෙතනදී කරපු වැඩේ සම්පූර්ණයෙන් අනුමත කරන්න නොහැකි වුවත් ඇගේ පැත්තෙනුත් හිතන්න අපට මේ කතාව පෙළඹවීමක් ඇති කරනවා. අපි හිතන්න ඕන දේ තමයි අපි ගෙදර වැඩ වෙනුවෙන් රැකියාවේ කටයුතු වෙනුවෙන් ඕනෑවට වඩා කාර්ය බහුල වෙනවා තමයි ඒත් තමන්ගේ පවුල වෙනුවෙන් තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් කරන කැපකිරීම දශමයකුදු අඩු කරන්න හොඳ නෑ. එහෙම වුණොත් පුංචි අඩුපාඩු නිසා ලස්සන කුරුලු කූඩුව එක මිනිත්තුවෙන් බිඳිලා යන්න පුළුවන්.

සමහර අයට ඇත්තටම අනියම් සබඳතායක් නැහැ. ඒත් බිරිඳට හෝ සැමියාට එකිනෙකා පිළිබඳ ලොකු සැකයක් තිබෙනවා. ඒ තමයි තමන්ගේ බිරිඳ වෙන පිරිමියෙක් එක්ක සම්බන්ධයි හෝ සැමියා වෙන ගැහැනියක් සමග සම්බන්ධයි කියා සැක සිතීම. ඒවාට හේතු වෙන්නේ මහ ලොකු සැක කරන්න කාරණාත් නොවෙයි. ඉතාම පුංචි පුංචි කාරණා. හරියට බැලුවොත් සමහර සිදුවීම්වල සැක කරන්න දේවල් ඇත්තෙම නැහැ.

ඔබ හිතන්නකෝ ඔබේ සැමියා ඔහුගේ කාර්යාලයේම මිතුරියකට ලිෆ්ට් එකක් දුන්නා කියලා ඔබට මොන හරි ක්‍රමයකින් ඒක දැනගන්න ලැබෙනවා. එහෙම වෙලාවට ලෝකේ පෙරළුණා වගේ සැමියාට හෙණ ඉල්ල ඉල්ල කටයුතු කරන්න ඔබ යන්න එපා. ඒක සාමාන්‍ය සිදුවීමක්. ඕනෑ තරම් කාර්යාලවල ඒවගේ දේවල් සිද්ධ වෙනවා. අනිත් එක අපි හිතන්න ඕනෑ පිරිමින්ට ඉන්න පුළුවන් පිරිමි යාළුවෝ විතරක් නොවෙයි. ගැහැනියකට ඉන්න පුළුවන් ගැහැනු යාළුවෝ විතරක් නෙවෙයි. යාළුකමට ගැහැනු පිරිමි කියන එක කිසිම බාධාවක් කරගත යුතු නැහැ. මෙයත් අපේ අය වරද්දා ගන්න තැනක්. ඇත්තටම එහෙම සම්බන්ධයක් ඔබේ බිරිඳට හෝ සැමියාට තිබිලා ඔබේ අතටම අහුවුණා කියන්න. මුලින්ම කරන්න ඕනෑ ඊට හේතු හොයා ගැනීම. එහෙම හේතු හොයා ගත්තාට පස්සේ ඒ හේතු තමන් විසින්ම නැතිකර ගත්තාට පස්සේ නැවත තමන්ගේ ආදරවන්තයාට ළඟට ගන්න හැකියාව ලැබෙනවා. එහෙම දෙන්නා දෙමහල්ලෝ අතර සම්බන්ධතා තිබිලා ඒවා හෙළිදරව් වුණාට පස්සේ උපදේශනය ලබාගෙන විවාහ ජීවිතය නැවත සාර්ථකත්වයට පත්කර ගත් අය ඕනෑ තරම් අපේ සමාජයේ ඉන්නවා.

සම්බන්ධයක් කැඩිලා ආපහු ඒක ගොඩනැගුණාට පස්සේ හිතන්න ඕනෑ දේ තමයි මේ තරම් ආදරයෙන් සිටි කෙනා වෙනත් ආදරයක් හොයාගෙන ගියේ ඇයි කියලා. සමහර වෙලාවට ඊට බලපාන්න ඇත්තේ පුංචි පුංචි හේතු. අන්න ඒ පුංචි හේතු මග හරවා ගත්තා නම් විවාහ ජිවිතයේ සතුට උපරිමයෙන් විඳින්න පුළුවන්. සමහර වෙලාවට අපි හිතනවා අපේ ජීවිතයට ආදරය විතරක් තිබුණාම ඇති කියලා. ඒත් ඒක එහෙම නැහැ. ආදරය වගේම විවාහ ජීවිතයේ සාර්ථකත්වයට බලපාන අනික් සුවිශේෂිම අංගයක් තමයි ලිංගිකත්වය. විවාහ ජීවිතයක් හරියාකාරව පවත්වාගෙන යන්න ආදරය වගේම ලිංගිකත්වයත් සමබරව තියෙන්න ඕනෑ.

සමාජ ජාලා ඔස්සේ හඳුනාගෙන ඉතාම කෙටි කාලයකින් කසාද බඳින අය ඉන්නවා. එහෙම අය තම තමන් හරියට අඳුනගෙන නොවෙයි කසාද බඳින්නේ. ඒ හේතු නිසාම කසාදයෙන් පස්ස් කෙටි කාලයක් තුළ එහෙම අය අනියම් සබඳතාවලට යොමුවෙනවා. ඒ නිසා ෆේස් බුක් එකේ වට් කළ පලියට ඉක්මනින් කසාද බඳින්න හොඳ නැහැ. ඕනෑම සම්බන්ධයක් හරියටම හඳුනා ගත්තාට පස්සේ තමයි එය විවාහය දක්වා දුර ගෙන යා යුත්තේ ඊට ඔබට හොඳ ඉවසීමක් වගේම බුද්ධියක් අවශ්‍ය වෙනවා. අපි ඒ අතරම තේරුම් ගන්න ඕනෑ කාරණාව තමයි සම්පූර්ණයෙන්ම ගැළපෙන මිනිස්සු මේ රටේ නැහැ කියන එක.

සැමියා වෙනත් සම්බන්ධතාවකට නොපෙළඹෙන විදියට බිරිදක් විසින් කළ යුතු කරුණු කාරණා බොහෝ තිබෙනවා. ඔබ මුලින්ම හිතන්න ඕනෑ ඔහු මුලින්ම ඔබේ ආකර්ශනය වුණේ කුමන කාරණාවකටදැයි කියා. ඔබ එය තේරුම්ගෙන විවාහයෙන් පසු ඒ ගුණාංග වැඩිකර ගන්නවා මිසක් ඒවා අඩු කර ගැනීමට කිසිදු මොහොතක උත්සාහ ගන්න එපා. ගෘහිණියක් ලෙස ගෙදර වැඩ මොන තරම් තිබුණත් ලස්සනට, පිරිසුදුවට ඉන්න ඔබට හැකිවිය යුතුයි. රැකියාවක් කරන ගමන්, ගෙදර වැඩත් සාර්ථකව ඉටු කරන ගමන් දරුවන්ගේ සහ සැමියාගේ වැඩ සාර්ථකව කළමනාකරණය කර ගන්න ඔබට හැකිවිය යුතුයි.

අමිල චින්තක ගමගේ


 

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න   - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන් Read Previous

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන්

අනෙකාගේ විශ්වාසය රකින්න Read Next

අනෙකාගේ විශ්වාසය රකින්න

Realted Post

Leave a comment