තාත්තා තරම් අවංක පිරිමියෙක් දුවෙකුට තව කොහෙන් ද - කෞෂල්‍යා

‘‘කෝ දෙන්න ස්ක්‍රිප්ට් එක මට...’’
තාත්ත මුලින්ම පිටපත ඉල්ලගෙන කියෙව්වා.
‘‘ඔයාට පිස්සුද?, ඇයි මේ චරිතේ ඔයාට කරන්න බැරි... මේ වගේ චරිතයක් කරන්න අපහසු නම් ඔයා නිළියක් වෙන්න ඉගෙන ගන්නේ මොකටද? නිළියක් කියන්නේ ලැබෙන ඕනෑම චරිතයක් හරියටම කරන්න පුළුවන් කෙනෙක්.  ඕක ඔයාට කරන්න පුළුවන්. බය නැතුව ඒක කරන්න.....’’

‘‘අතීතයේ දවසක මට අශෝක හඳගමගේ චිත්‍රපටයකට ආරාධනාවක් ලැබෙනවා. පිටපතට අනුව මගේ චරිතේ තිබුණේ ස්පා එකක වැඩ කරන තරුණියක්. එතකොට මම විවාහවෙලා හරියටම අවුරුද්දක් වගේ. මට ලැබුණ චරිතේ කොටසක තියනවා මගේ ඇඳුම දෙපැත්තට විසිවෙලා කකුල් දෙක පෙනෙන. තවත් කොටසක් තිබුණා බ්ලවුස් එක උනා දමලා පිටුපස කොටස විතරක් පෙනෙන විදියට බාත්රූම් එකට යන.  තරමක් අභියෝගාත්මක චරිතයක්. මුලින්ම මම මේ චරිතය කරන්න කැමති වුණේ නැහැ. හස්බන්ඩ්ගෙන් ඇහුවාම එයා අකමැති වුණේ නැහැ. එයා මාව ශක්තිමත් කළා. නමුත් අවසානයට මම ඒ ගැන ඇහුවේ තාත්තගෙන්...

ඒ තමයි එදා තාත්තගෙන් ලැබුණ හයිය. තාත්තා ඒ වගේ නිදහස්ව විවෘත මනසකින් ජිවිතේ දිහා බලපු කෙනෙක්. හරිම ආදරණීය චරිතයක්.’’ 
අතීත මතක අතර සිත එහාමෙහා යවමින් තාත්තා නම් සොඳුරුතම මිනිසා ගැන වූ ඒ මතක සුවඳ අවදි කළ ඇය අප කවුරුත් දැන හඳුනන ආදරය කරන, මෙරට මෙන්ම ජාත්‍යන්තරවද සම්මානයට පාත්‍ර වූ ප්‍රවීණ රංගන ශිල්පිනී  කෞෂල්‍යා ප්‍රනාන්දු. ඇය මේ කතාකරන්නේ ඇගේ සෙනෙහෙබර පියා වන ලයනල් ප්‍රනාන්දු මහතා ගැනයි. ඇයගේ සෙනෙහෙබර මව  ප්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහ මහත්මිය යි.
‘‘අපේ තාත්තා ඉතාම සුන්දර මනුස්සයෙක්. ඒක සමාජයේ හුඟදෙනෙක් කියන කතාවක්. තාත්තා ඉගෙන ගත්තෙ පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ. ඉන් පස්සේ ඔහු රජයේ සේවයට බැඳිලා විශ්‍රාම යනවිටත් රජයේ පරිපාලන නිලධාරියෙක්. මම හිතන්නේ තාත්තා පරිපාලන නිලධාරියෙක් හැටියට උසුලන්න පුළුවන් හැම තනතුරක්ම උසුලපු කෙනෙක්. මගේ තාත්තා තමයි යාපනේ හිටපු අවසන් සිංහල දිසාපති හැටියට සැලකෙන්නේ. ඔහු දෙමළ ජනතාව අතර ඉතාම ජනප්‍රිය වුණු චරිතයක්. කලාව නම් පාලම ඇසුරින් සිංහල දෙමළ ජනතාව අතර එකමුතුකම වැඩිකරන්න උත්සහ දරපු කෙනෙක් තමයි තාත්තා. ඔහු දිසාපති වගේම, ආණ්ඩුකාර, සභාපති, සහ රටවල් තුනක තානාපතිවරයා විදියටත් කටයුතු කළා. විදේශ අමාත්‍යාංශ, ජනමාධ්‍ය අමාත්‍යාංශ ඇතුළු තවත් අමාත්‍යාංශ කිහිපයක ලේකම් තනතුරු දරලා තියනවා. ඇත්තටම ඔහු ආදර්ශමත් පරිපාලන නිලධාරියෙක් වගේම ආදරණීය තාත්තා කෙනෙක්.
තාත්තා විවිධාකාර නිලතල තනතුරු දැරුවත් ඔහු කලාවත් එක්ක තිබුණේ පුදුමාකාර බැඳීමක්. සරච්චන්ද්‍ර මහත්මයත් එක්ක මනමේ පළමු නිර්මාණයේ වැදිදෙටු කියන චරිතය කළේ තාත්තා. කලාව ඇතුළෙදී තමයි මගේ මව ඔහුට මුණ ගැසෙන්නෙත්. අම්මයි තාත්තයි දෙන්නම කලා කටයුතු කරපු දෙන්නෙක්. අපේ තාත්තා කවදාවත් කලාව අතහැරිය මනුස්සයෙක් නෙවෙයි. නාට්‍ය, චිත්‍රපටවල විවිධ චරිතවලට රඟපෑවා.
වැඩ මොනතරම් තිබුණත් ගෙදර ආවම ඒ තනතුරු පට්ටම් මොකුත් තාත්තා ළඟ නැහැ. හැමෝමත් එක්ක හරිම සුහදයි. අපේ තාත්තට වයස පිළිබඳ කිසිම තරාතිරමක් නැහැ. ඕනෑම වයස් සීමාවක කෙනෙක් එක්ක ඉක්මනටම සුහද වෙනවා. විශේෂයෙන් තරුණ ළමයි එක්ක. ඒ තරමටම අපේ තාත්තා පුදුමාකාර මනුස්සයෙක්. තාත්තා තරම් දුවෙකුගේ ජීවිතය දැන හඳුනන චරිතයක් තවත් තිබේද? දුවෙක් දවසක රැජිනක් වුණත් තාත්තාට නම් එදා මෙන්ම ඇය ඔහුගේ ඔඩොක්කුවේ හුරතල් වෙන පුංචි සුරංගනාවියම විය. මං වගේම පුංචි කෙල්ලො තාත්තලාගේ හදවත් තුළ ජීවිතේ පුරාවටම දඟකාරබව රහසක් නොවෙනු ඇත. ඇය සුසුමකින් නැවතත් අතීතය සිහිපත් කළාය.
‘‘තාත්තට පුළුවන් හරි ලස්සනට සින්දු කියන්න. පුංචි කාලේ තාත්තා මාව කකුල් දෙකේ තියාගෙන නළවනවා. ඒ නළවන ගමන් කියන්නේ අමරදේව මහත්මයාගේ ගීත.  එහෙමත් නැත්නම් නාට්‍ය ගීත ගායනා කර කර තමයි මාව නළවන්නේ. අපි තරුණ වයසට එද්දි ඉතින් ඉංග්‍රීසි සින්දු එහෙම ටිකක් අහන්න කැමතියි. අම්මා ඉතින් ඒ තරම් ඒවාට කැමති නැහැ. අම්මා කැමති ඉන්දියානු සංගීතය, ශාස්ත්‍රීය සංගීතය පැත්තට. ඒත් අපි ඉංග්‍රීසි සිංදු අහන්න කැමති නිසා තාත්තා අපට හොරෙන් ගෙනත් දෙනවා. ඒ විදියට එයා තරුණ හිත් ඉක්මනටම අඳුනගත් කෙනෙක්. ඒ වගේම තාත්තත් හරි විනෝදකාමී චරිතයක්. ඒ නිසා අපි කට්ටියම එකට අම්මගෙන් බැනුම් අහන වෙලාවලුත් නැතුවම නෙවෙයි. අපේ අම්මගේ ටිකක් නීති වැඩියි. නමුත් තාත්තා ඒ නීති කඩන්නේ නැහැ. ඒ අතරමැද හරිම ආදරණීය විදියට හැසිරුණා. අපිට අයිස්ක්‍රීම් ගෙනත් දෙනවා. සමහර වෙලාවට අම්මට හොරොන් චිත්‍රපටි බලන්නත් එක්ක යනවා. අම්මා කියනවනේ ඕවා බලන්න  යන්න ඕනෑ නැහැ කියලා. ඉතින් අපි හොරෙන් ගිහින් ඇවිත් සද්ද නැතිව ඉන්නවා. හැබැයි තාත්තා අපට පාටිවලට නම් තනියම යන්න දුන්නේ නැහැ. පාටිවලට යනවා නම් තාත්තත් අපිත් එක්ක ඇවිත් පාටිය ඉවර වෙනකල් තාත්තා කාර් එකට වෙලා ඉන්නවා. අපි තරුණ වයසේ නිසා ඒ වගේ අවස්ථාවලට ගිහින් ප්‍රශ්න ඇතිකරගනී කියලා තාත්තා බය වුණා. ඒ නිසා තමයි එයා එහෙම කළේ.
ඒ වගේම තාත්තට හොඳට සිංහල දෙමළ භාෂාව ලියන්න, කියවන්න පුළුවන්. ඇත්තටම මට නම් එහෙම හැකියාවක් නැහැ. තාත්තට තිබෙන ඒ භාෂා ඥානය එක අරික්කාලක්වත් මට නැහැ. මම උත්සහ කළා. නමුත් මට ඒ ඥානය ලැබුණේ නැහැ. නමුත් තාත්තගේ පරිපාලන හැකියාව මට ඇවිත් තියනවා. මම හිතන්නේ කලාවට අම්මගෙන් ලැබුණු කලා හැකියාවට වඩා මට තියෙන්නේ තාත්තගෙන් ලැබුණු පරිපාලන හැකියාව.

දුවෙක් විදියට මම තාත්තගේ ජිවිතේ දැකපු සුන්දරම දෙයක් තමයි ඔහුගෙ තිබෙන  අවංකකම. තාත්තා කවදාවත් නිලතල මැති ඇමතිකම් ඉදිරියේ හෝ අසාධාරණකම්වලට හිස නමපු කෙනෙක් නෙවෙයි. නීතියට පටහැනි කිසිම දෙයක් තාත්තා කළේ නැහැ. එහෙම අවස්ථාවක් ඇවිත් එයාට පීඩනයක් වුෙණාත් තාත්තා ඒ රස්සාවෙන් ඉවත් වෙලා යනවා. එහෙම අවස්ථා තාත්තාගේ ජීවිතේ තිබිලා තියනවා. ඉතින් තාත්තා කියන්නේ ඒ වගේ සුන්දර චරිතයක්.

කෞෂල්‍යා ප්‍රනාන්දු කියන චරිතය ඔප වැටෙන්න තාත්තා කියන මැණික්ගල ලොකු පිටුවහලක් වුණා.

ශක්ති Crown  මාධ්‍යය  දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය දා............... Read Previous

ශක්ති Crown මාධ්‍යය දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය දා...............

මානසික ගැටලු විසඳන්න  ත්‍රිලක්ෂණයෙන් උදව්වක් Read Next

මානසික ගැටලු විසඳන්න ත්‍රිලක්ෂණයෙන් උදව්වක්

Realted Post

Leave a comment