දියුණු ලෝකය දකින්න නම් English වලට ටච් වෙන්න

ඉංග්‍රීසි වගේම 
මවු භාෂාවත් වැදගත්
ජාත්‍යන්තර භාෂාව ලෙස ඉංග්‍රීසි වැදගත්වන නිසා තමන්ට ඉංග්‍රීසි කතාකිරීමට කතා කිරීමට නොහැකි වුණත් මවුපියන් දරුවන්ට එම හැකියාව ලබාදීමට දරන දැඩි උත්සාහය සමග දරුවන් බොහෝදෙනෙකුට තමන්ගේ මවු භාෂාව පිළිබඳ හොඳ අවබෝධයක් නොලැබී යා හැකිය. සමහර දරුවන් කුඩා කාලයේ සිටම ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් හුවමාරු කරගැනීමට පෙළඹේ. එය සතුටට හේතුවක් වුවත් ඒ සමග මවු භාෂාව ගිලිහී යාමට ඉඩ නොදීමද මවුපියන්ගේ වගකීමයි. එයට හේතුව වන්නේ ලෝකයේ වෙනත් කිසිම භාෂාවකින්වත් ප්‍රකාශ කළ නොහැකි අපූරු සබඳතාවක්, ලෙංගතුකමක් සිංහල භාෂාවේ තිබීමයි. උදාහරණයක් ලෙස හඳ මාමා, කුරුලු බබා, හිරු දෙවියෝ ලෙස සොබාදහමට පවා අපූරු නෑදෑකම් කියන ළෙන්ගතු භාෂාවක් ලොව වෙන නැති තරම්ය. ඒ නිසාම දරුවෙකුගේ මානව දයාව, ගුණධර්ම, ළෙන්ගතුකම් පෝෂණයවීමට මවු භාෂාව වූ සිංහල භාෂා දැනුම ක්‍රමානුකූලව ලබාදීම වැදගත් වේ.

ගෙදරට පොත් රාක්කයක් 
දරුවන්ට ඉස්තරම්ම දේ ලබාදීම සෑම මවුපියකගේම සිහිනයකි. එහෙත් ඒ ලබාදීම දරුවාගේ සතුටට හේතුවක් වෙනවාට වඩා අනාගතයට යපහතක් වෙනවා නම් වඩාත් සාර්ථකය. භාෂා දැනුම දරුවාට අත්‍යවශ්‍යයි කියන කාරණය පමණක් දැනගෙන සිටියාට සමහර මවුපියන්ට ඒ ගැන නිවැරදි අවබෝධයක් නැත. එසේ නම් කළ යුතු හොඳම දේ වන්නේ පාසල කුමක් වුවත් අඩුවෙන් ලැබෙන දැනුමට දරුවා වැඩිපුර යොමුකිරීමයි. උදාහරණයක් ලෙස සිංහල පාසලකින් ඉංග්‍රීසි දැනුම ලැබෙන්නේ අඩුවෙන් නම් නිවසේදී ඒ දැනුම ලබාගැනීමේ පරිසරයක් සහ ජාත්‍යන්තර පාසලකින් වැඩිපුර ලැබෙන්නේ ඉංග්‍රීසි දැනුම නම් මවු භාෂාවේ දැනුම ලැබෙන පරිසරයක් පිටතින් නිර්මාණය කළ යුතුය. එයට මවුපියන්ට හැකියාවක් නැතිනම් ඒ දැනුම දිය හැකි ප්‍රබලම අවිය වන්නේ පොතයි. අපේ සමාජයේ මවුපියන් සියලුදෙනාම වගේ දරුවකුට පොතක් ලබාදෙන්නේ දරුවාට අකුරු කියවන මොහොතේ පමණී. එතැනින් එහාට නිතරම පොත්පත් කියවීමට රැගෙන දෙන මවුපියන් සිටින්නේ ඉතාමත් කලාතුරකිනි. 
දරුවකුගේ උපන් දිනයකට දහස් ගණන් වියදම් කර වර්ණ පිරුණු තට්ටු ගණන් විශාල කේක් කපා දරුවන් සතුටු කිරීම දැන් අලුත් රැල්ලක් වී තිබේ. එහෙත් උපන්දිනය දවසට දරුවකුට තෑග්ගක් ලෙස කියවීමට ආස හිතෙන විදියේ පොත්පත් ටිකක් රැගෙනදීමට හුඟක් මවුපියන් උනන්දුවන්නේ නැත. ඒ විතරක් නොවේ සාදයට එන නෑදෑ හිතවතුන් පවා දරුවකුට වටිනා පොතක් තෑගි කරන්නේ කලාතුරකිනි. දරුවාට දැනුම දෙන වටිනාම දේ පොත්පත් නිසා නිතරම අඩු දැනුම තිබෙන හිස්තැන පිරවීමට පොත් කියවීමට හුරු කළ යුත්තේ කුඩා කාලයේදීම ය. නොයෙකුත් විසිතුරු දේවල් වෙනුවට පොත් රාක්කයක් නිවසක නිර්මාණය විය යුතුමය. 

සාර්ථක ගුරුවරයෙකුගේ මගපෙන්වීමක් 
අපේ රටේ උසස් පෙළ අවසන් වී එළියට එන දරුවකුගේ පාසල් කාලය වසර දහතුනකි. එහෙත් ඛේදවාචකය වන්නේ වසර දහතුනක් ඉගෙනගෙනත් පාසලින් පිටතට එන බොහෝ දරුවන්ට ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ ලිවීමේ හැකියාව නැතිවීමයි. මෙහි වගකීම ඇත්තේ ගුරුවරුන්ටද, එසේත් නැතිනම් විෂය පථයේද යන්න ගැටලුවක් පවතී. ඒ වගේම මේ වන විට ජාත්‍යන්තර පාසල්ද විශාල වශයෙන් ආරම්භ කර තිබේ. මේවා තුළ දරුවාට භාෂාවේ නියම පෝෂණයක් ලබාදෙනවාද යන්න සොයා බැලීම මවුපියන්ගේද වගකීමකි. දරුවන්ට ඒ හැකියාව ලැබී තිබෙනවාද යන්න පරීක්ෂා කර බැලීමට මවුපියන් උනන්දු විය යුතුය. පන්ති කාමරය තුළ පාසලේ රැඳෙන කාලයේ ඉංග්‍රීසි විෂයට ලැබෙන්නේ සු`ඵ කාලයකි. මේ කාලය තුළදීත් සිංහලෙන් ඉංග්‍රීසි උගන්වනවා නම් එය සාර්ථක නැත. එසේ නම් දරුවකුට අවබෝධයක් ලැබෙන සේ තමන්ගේ විෂය පෙවීම ගුරුවරයාගේ ද දක්ෂතාවකි. මේ සියල්ලගේම අවධානය අවබෝධය එකට එකතු වී යන විට දරුවකුට භාෂාව තුළ අතරමං නොවී සෑම අංශයකින්ම අවබෝධයකින් ඉදිරියට යාමට අවස්ථාව උදා වේ. 

■ නයනා උදයංගනී 

This Week Fashion Read Previous

This Week Fashion

නීරෝගී නම් මෙන්න වාසි Read Next

නීරෝගී නම් මෙන්න වාසි

Realted Post

Leave a comment