දර ළිපෙන් ගෑස් උඳුනට වෙනස් වුණු අවුරුදු සිරිත් විරිත් හරියට කරමු
ශ්‍රී ලාංකික සංස්කෘතියේ පාදමේ මඟ හැරුණු සිරිත් විරිත්
අවුරුදු කෝණම, කෝණම් ගෙඩිය එහෙමත් නැත්නම් සූරිය මංගල්‍ය යනුවෙන් හඳුන්වන ශ්‍රී ලාංකික සංස්කෘතියේ පාදම විදියට සලකන සිංහල හින්දු අලුත් අවුරුද්ද අපි කාටත් අමතක කළ නොහැක. මෙහිදී සියල්ල සිදුවන්නේ නැකතට වගේම ජන සම්මතයට අනුවයි. ඒවා අපි අවුරුදු සිරිත් කියලා පොදුවේ හඳුන්වනවා. ඒ පිළිබඳ සිරිකත Online ජනශ්‍රැති පිළිබඳ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත සමඟ කළ සාකච්ඡාවකි මේ.
අවුරුදු සිරිත් කියලා දෙයක් පවතින්නේ ඇයි?
සිංහල අලුත් අවුරුද්ද බැඳීලා තියෙන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි කෙතයි ,පන්සලයි කියන්නෙ. ලංකාවේ හැම පැත්තකම වගේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරනවා. හැබැයි ඒවා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. ඉස්සර ගම් මැද්දෙ වගේම ගං ගෙවල්වලත් ජයටම අවුරුද්ද සමරන්නේ බක්මහේ අස්වැන්න ගෙට ගැනීමත් එක්කමයි. ඒත් සමඟම කිරි ඉතිරුම් මංගල්‍යය පවත්වලා ගවයට වගේම සොබා දහමටත් කළගුණ සලකනවා. තෙරුවන් සිහි කරලා අලුත් දාන පුදලා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා හිසතෙල් ගෑම සිද්ධ කරනවා.ඒ විදියට අලුත් අවුරුදු සිරිත් කියෙන දේ අතීතයේ ඉඳලම අලුත් අවුරුද්ද එක්ක බැඳිලා තියෙනවා. මේවත් එක්ක බැඳුණ සංස්කෘතික වගේම කෘෂිකාර්මික අනන්‍යතාවයක් පවතිනවා. ඒක නිසා අලුත් අවුරුදු සිරිත් නැති අලුත් අවුරුද්දක් ගැන කතා කිරීම පවා තේරුමක් නැති වැඩක්.
අවුරුදු සිරිත් ගැන කෙටියෙන් කිව්වොත්?
සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ මහා සිරිත් සංස්කෘතියක්. අවුරුදු සමයේ දී එදා මිනිස්සු ඉටුකරපු සිරිත් ගොඩක් තිබුණා. අලුත් අවුරුද්ද උදා වීම සිද්ධවෙන්නේ කිරි ඉතිර වීමත් සමඟ . අවුරුදු නැකතට මුලින්ම කරන්න ඕන ලිප ගිණි දල්වන එක. ඒකට පටියෙන් දොවා ගත්ත එළකිරි භාවිතා කළා.වාසනාව වගේම සශ්‍රීකත්වයත් බලාපොරොත්තුවෙන් මේ විදියට පට්ටිකිරි සිරිත එදා පැරැන්නන් අකුරටම ඉටු කළා.අවුරුද්දේ හා හා පුරා කියලා විසින් එක් කිරිබත මුලින්ම අවුරුදු කුමාරිට පිරිනමලා අලුත් අවුරුදු අලුත් අවුරුදු සහල් මංගල්‍ය සිරිතත් ඔවුන්ට මඟ ඇරුණෙ නැහැ.මීට අමතරව දැකුම් දීමේ සිරිත , ගම්මැද්ද මල්වරවීමේ සිරිත , කලප්පන්න අලුත් කිරීමේ සිරිත වගේ සිරිත් අලුත් අවුරුදු සූදානම එක්ක බැඳිල තිබුණ. අලුත් අවුරුදු උදාවෙන් එක්ක ලිප ගිනි මෙලවීම කිරි ඉතිර වීම, ආහාර අනුභවය ගනුදෙනු කිරීම වැඩ ඇල්ලීම වගේ සිරිත් රැසක් තිබුණා. මීට අමතරව නැකැත් සීට්ටුවේ සිරිත් කුණු මුත්තා පිදීම වගේ දේශීයත්වය එක්ක බැඳුණු දේවල් බොහොමයක් බොහෝමයක් අලුත් අවුරුද්ද සමඟ බැඳිලා තිබුණා.
එදා තිබුණ අවුරුදු සිරිත් බොහොමයක් අද මඟ හැරිලා නේද?
එදා තිබ්බ ගොඩක් අවුරුදු සිරිත් අද භාවිතා කරන්න බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව විදියට මම දකින්නේ භෞතික වගේම සමාජ සාධකවලත් වෙනස්වීමයි. වෙනස් වෙන දේවල් එක්ක අවුරුදු සිරිත් කියන දේත් හැඩගැහීම අවශ්‍ය දෙයක් වුණත් අද වෙනකොට ඒක සිද්ධ වෙන්නේ නැහැ. අවුරුදු සිරිත් අමු අමුවේ විකෘති වීමක් දකින්න පුලුවන්. ඉංග්‍රීසින් අපේ රට යටත් කරගෙන ඉන්නකොට අලුත් අවුරුද්දයි පරණ අවුරුද්ද කියල දවස් දෙකක් නිවාඩු දින කළා. ඒක තාමත් ඒ විදියටම සිද්ධ වෙනවා. ඒ වුණාට අලුත් අවුරුද්ද කියන්නේ එහෙම දවස් දෙකකට කොටු වෙන්නේ නැතුව දින කිහිපයක් නිදහසේ භුක්ති විඳින්න ඕන සමයක්. සමහර සිරිත් අද කාලෙට ගැලපෙන්නෙ නැහැ තමයි. ඒත් කාලෙට ගැලපෙන්න අනාගත පරම්පරාව වෙනුවෙන් ඉටු කරන්න අපි සැදීපැහැදී ඉන්න ඕන.
ගොඩක් අය අවුරුදු සිරිත් අර්ථකථනය කරන්නේ මාධ්‍ය කියන විදියට. ඒ ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙන දෙයක් තමයි අලුත් අවුරුද්ද සම්බන්ධ කාරණාවලදී මාධ්‍ය පවා හැසිරෙන්නෙ බොළඳ ආකාරයෙන් කියන එක . ඒ හරහා ඉදිරිපත් වෙන විවිධ වැඩසටහන් මඟින් අලුත් අවුරුද්ද සම්බන්ධව යම් දැනුමක් ලැබෙනවා තමයි. මමත් ඒ වැඩසටහන් සඳහා සහභාගි වෙනවා. ඒත් ඒක හරියට උඩින් අතගාන වගේ වැඩක්. අලුත් අවුරුද්ද සම්බන්ධ වැඩසටහන් නිෂ්පාදනය කිරීමේදී මාධ්‍යකරුවාට ඒ පිළිබඳ හරි අවබෝධයක් නැහැ.ගමක් ස සිහිකරලා මාධ්‍ය සංදර්ශනයක් පෙන්වීම නෙමේ අවුරුදු සිරිත් රකිනවා කියන්නේ. ඒකෙන් වෙන්නේ බොහෝ පිරිසක් නොමඟ යන එක. අවුරුදු සිරිත් අනාගත පරම්පරාව වෙනුවෙන් හරි විදියට ඉදිරියට ගෙන යන එක මාධ්‍යයේ වගකීමක්.
අලුත් අවුරුද්දට සූදානම් වෙනවා කියන්නේ මොනවගේ දෙයක්ද ?
ඉස්සර මිනිස්සු මේකට සූදානම් වෙන්නේ බක්මහ උදාවටත් කලින් ඉඳලාම. බක්මහ ගෙවදෙන කොට ගම්මැද්ද මල් වර වෙනවා කියන්නේ නිකම්ම නෙමෙයි. ඒකට හේතුව අවුරුදු කෝණමට ගම් මැද්දෙ මිනිස්සු විතරක් නෙවෙයි ගං ගෙවල් පවා ලක ලෑස්ති වෙන නිසා .සුභ දිනයක් බලලා වහලවල් සියල්ල අලුත් කරන්න පැරැන්නන් දෙපාරක් හිතුවේ නැහැ. අවුරුදු උදා වෙන්නේ ගම ගෙදරට සිරියාවත් අරගෙන. අවුරුදු කුමාරයා කියලා අදහස් කළේ අලුත් හිරු එළිය. ඒක නිසා හිරු කිරණ වැටෙන ගම ගෙදර මිදුල ඒ අවට අලංකාර කරගැනීම අලුත් ජීවයක් ලැබීමක් විදියට අපේ පැරැන්නන් දැක්කා. ගෙවල් දොරවල්, වත්ත පිටිය පිරිසුදු කරගැනීම විතරක් නෙවෙයි අලුත් අවුරුද්දේ කිරි උතුරවන්න නැවුම් මුට්ටි නෑඹිලි සූදානම් කර ගැනීමත් මේ අතර වැඳගත්. ගමගෙදර ඇතුළත ගොම මැටි ගා පිළිසකර කර ගැනීම ගං ගෙවල් ගාගැනීම විදිහට ඔවුන් හැඳින්වූවා. ඒ විදියට තමයි අතීතයේ සත්කෝරලේ මිනිස්සු අලුත් අවුරුද්දට සූදානම් වුණේ .
මේ වගේ අවුරුදු සිරිත්ම භාවිතා කරන්නෙ ඇයි?
මේ හැම අවුරුදු සිරිතක් එක්කම බැඳුණ කතාවක් තියෙනවා. අපේ පැරැන්නන් ඒවා ආවට ගියාට කරපු දේවල් නෙවෙයි. අවුරුදු කාලෙට ගෙවල් වල හරි හරියට කැවිලි පෙවිලි හැදෙනවා. කෝඳුරුවෝ අඩුවක් නැතුව එන්න පටන් ගන්නවා. ආහාරවල කෝදුරුවෝ වැසීම රෝගවලට අතවැනීමක් නිසා කෝදුරු කැවුම එල්ලීම සිද්ධ වුණා. නැතුව අලංකාරයට සිද්ධ කරපු දෙයක් නෙවෙයි. කුණු මුත්තා පිදීම වුණත් ඔවුන් ආවට ගියාට කළ දෙයක් නෙවේ. අලුත් අවුරුදු උදාවට පෙර ගෙදර කුණු සියල්ල ඔවුන් ඉවත දැමූවේ ගෞරවයෙන්. මෙවැනි සිරිත් අලුත් අවුරුද්ද හා බැඳුණේ ඒ විදියට .
කාලයත් එක්ක අවුරුදු සිරිත් ඒ විදිහටම ඉටු කරන්න බැරි අවස්ථා තියෙනවා. ඒකට පිළියමක් තියෙනවද?උදාහරණයක් විදියට ගත්තොත් ලිප් බොක්ක ගා ගැනීම ගාගැනීම දක්වන්න පුළුවන්. අතීතයේ නම් ඒක සිද්ධ වුණේ දර ළිප ඇසුරු කරගෙන. කාලයත් සමඟ ගෑස් උඳුන වගේම විදුලි උදුන පැමිණීමත් එක්ක ඒක ඒ විදියටම කරන්න බැහැ . ඒ වෙනුවට එම උදුන් පිරිසිදු කර කාලයට ගැලපෙන විදියට එම අවුරුදු සිරිත ඉටු කරන්න අපිට පුළුවන්. දියවර ගනුදෙනුවත් ඒ වගෙයි. හැබැයි නොනගතය වැඩිහිටියන්ට ගරු කිරීම ඒ විතරක් නෙවෙයි නෑදෑ ගමන් බිමන්වල යාම එදා වගේම අදත් පහසුවෙන් කරන්න පුළුවන් දේවල්. එහෙම කළ නොහැකි අවස්ථාවල ඒවා අද දවසට ගළපා ගෙන කටයුතු කිරීම වැඳගත්.
සටහන-නෙත්මි තෂාරා
Leave a comment