දරුවෙක් දරුකමට හදාගන්නේ මෙහෙමයි
දරුවන්ගේ ලෝකයත් හරියට පාට පිරුණු දේදුන්නක් වගේ සුන්දරයි. දේදුන්න සොබාදහම ලස්සන කරනවා වගේම දරුවන් කියන්නේ ලෝකේ ලස්සන කරන ආභරණයකි. මේ දරුවන්ගේ ලෝකය පාට කරන්න වැඩිහිටියන්ගෙන් ලැබෙන්නේ විශාල සහයෝගයකි. එසේ නම් සමස්ත සමාජයම යහපත් වෙන්නට ළමයින් වගේම වැඩිහිටියන් අතර ගසට පොත්ත මෙන් ආදරණීය බැඳීමක් තිබිය යුතුයි. එය ඒ තරමටම වැදගත්වන නිසාම ඔක්තෝබර් පළමුවැනිදා ලෝක ළමා හා වැඩිහිටි දිනය නිර්මාණය වී තිබේ. දරුවන්ට හොඳ ආරක්ෂාකාරී වටපිටාවක් ලැබෙනවා නම්, දවසක ඔවුන් වැඩිහිටියන්බවට පත් වූ පසුවත් ඔවුන්ගෙ න් ඉටුවිය යුතු යුතුකම හරියට ඉටුවෙනු ඇත. එහෙත් අපේ සමාජයේ තනිවන දරුවෝ ඕනෑ තරම් සිටිති. මේ දරුවන් දරුකමට හදාගැනීමට කැමැත්තෙන් සිටින වැඩිහිටියෝද සිටිති. එහෙත් නීතිමය රාමුව තුළ එය එතරම් පහසු කාර්යයක් නොවේ. ඒ නිසාම මෙවර ළමා හා වැඩිහිටි දිනයේදී කතා කිරීමට සූදානම් වන්නේ දරුවකු දරුකමට හදාගැනීමට හෙවත් කුලවද්දා ගැනීමේ නීතිමය රාමුව ගැනයි.
නීති කිහිපයක්
දරුවකු හදාවඩා ගැනීම සම්බන්ධයෙන් බලපාන නීතිය ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට වෙන් වේ. එනම් සාමාන්‍ය පොදු නීතිය යටතේ දරුවකු කුලවද්දා ගැනීම, තේසවලමේ නීතිය යටතේ කුලවද්දා ගැනීම, උඩරට නීතිය යටතේ කුලවද්දා ගැනීම, සහ මුස්ලිම් නීතිය යටගේ දරුවකු කුලවද්දා ගැනීම ලෙසයි. පොදු නීතියට අමතරව උඩරට, තේසවලමේ සහ මුස්ලිම් නීතිය යටතේද විවිධ කාරණා බලපායි. විශේෂයෙන් විවාහ දික්කසාද, දේපළ බෙදීයාම සම්බන්ධයෙන්, එවැනි තත්ත්ව බලපායි. එහෙත් සමස්තයක් ලෙස ගත් විට වැඩිපුරම කුලවද්දා ගැනීම සිදුවන්නේ පොදු නීතිය නැත්නම් රෝම ලන්දේසී නීතිය යටතේය.
පනත ගැන දැනගන්න
දරුවකු දරුකමට හදාගැනීමේදී හෙවත් කුලවද්දා ගැනීමේදී ඊට අදාළ පනතක් ක්‍රියාත්මක වේ. ඒ 1941 අංක 24 දරන දරුකමට හදාගැනීමේ ආඥාා පනතයි. ඉන්පසුව මෙයට සංශෝධන කිහිපයක් එකතු විය. එහෙත් 1941 අංක 24 දරන දරුකමට හදාගැනීමේ ආඥා පනතේ දහතුන්වැනි වගන්තිය යටතේ මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවන ලද නීති 1944 ජනවාරී 21 ගැසට් පත්‍රයේද සඳහන් වී තිබේ.
බලපාන නීතිමය සීමා
දරුකමට හදාගැනීමට ඉල්ලුම් කළ හැක්කේ වයස අවුරුදු දාහතරට වඩා අඩු අය පමණි. එය නීතියකි. ඒ වගේම දරුවකුගේ වයස අවුරුදු දහයට වඩා වැඩි නම් අධිකරණයේදී විනිසුරුවරයා විසින් ඉල්ලුම් කරන මවුපියන් යටතේ ජීවත් වීමට කැමතිද යන්න විමසා සිටින අතර දරුවා කැමති නම් පමණක් අවසර ලැබේ.
කෙසේ නමුත් වර්තමානයේ අලුතින් ක්‍රියාත්මක වන දෙයක් ලෙස ළමා නිවාසවලින් වුවද දරුවකු හදාගැනීමට දෙනු ලබන්නේ වයස අවුරුදු හතළිස් පහට අඩු මවුපියන්ට පමණි. ඊට අමතරව දරුකමට හදාගැනීමට ඉල්ලා සිටින තැනැත්තාගේ වයස, දරුකමට හදාගැනීමට බලාපොරොත්තුවන දරුවාගේ වයසට වඩා අවුරුදු විසි එකක් වැඩිවිය යුතුය. අවුරුදු විසි එකේ සීමාව බලනොපාන අවස්ථාද තිබේ. එනම් අදාළ දරුවා ඉල්ලුම්කරුගේ සම්බන්ධයක් තිබෙන කෙනෙකු නම් හෝ අදාළ දරුවා ඉල්ලුම්කරුගේ පූර්ණ හෝ අර්ධ සහෝදරයකුගේ, සහ සහෝදරියකගේ හෝ ඒ අයගෙන් පැවැත එන්නෙකු නම් එසේත් නැතිනම් අදාළ දරුවා ඉල්ලුම්කරුගේ බිරිඳ හෝ සැමියාගේ වෙනත් විවාහයක දරුවකු වේ නම් ඉල්ලුම් කළ හැකිය. ඒ වගේම දරුවකු කුලවද්දා ගැනීමේ තවත් වැදගත් නීතියක් තිබේ. එනම් තනි පිරිමි පුද්ගලයෙකු දරුවකු හදාවඩා ගැනීමට සිතනවා නම් අදාළ දරුවා ගැහැනු ළමයෙකු නම්, එවැනි විටකදී දරුකමට හදාගැනීමට නියෝගයක් ලබා දෙන්නේ නැත. එහෙත් විශේෂ ඥාති සම්බන්ධතාවක් තිබේ නම් ඒ බව අධිකරණයට ඉදිරිපත් කිරීම පිළිග නු ලැබේ. ඒ වගේම අඹු සැමියන් යන දෙදෙනා දරුවකු හදාගැනීමට ඉල්ලීමක් කරන්නේ නම්, දෙදෙනාගේම කැමැත්ත ඒ සඳහා තිබිය යුතුය. දෙදෙනා දික්කසාද වී ඇත්නම් හෝ එක් පාර්ශ්වයක් මානසික ආබාධයකින් පෙලෙමින් සිටිනවා නම් එවැනි අවස්ථාවක කරුණු විමසා බලා එක් පාර්ශවයකට දරුවා හදාගැනීමට දෙනු ලැබේ.
ස්වභාවික මවුපියන්ගේ කැමැත්ත
අදහස් දැක්වීම නීතිඥ |
දරුවකු හදාවඩා ගැනීමට ගන්නා විටදී ස්වාභාවික මවුපියන්ගේ කැමැත්තද අනිවාර්ය වේ. එහෙත් දරුවා බිහි වී ඇත්තේ ලිංගික අතවරයක ප්‍රතිඵලයක් ලෙස නම් එවිට දරුවාට බොහෝ විට පියෙකු සිටින්නේ නැත. එවැනි අවස්ථාවල මවගේ කැමැත්ත පමණක් ප්‍රමාණවත් වේ. එසේ වුවත් මවගේ කැමැත්ත පමණක් විමසීමේදී දරුවා ඒ වන විටත් තවත් බාහිර පාර්ශ්වයක භාරකාරත්වයේ සිටී නම්, එනම් ළමා නිවාසයක හෝ වෙනත් ආයතනයක සිටී නම් එම අදාළ ආයතනයේ කැමැත්තද අනිවාර්ය වේ.
ඒ වගේම යම් මොහොතකදී දරුවා හදා ගැනීමට ගනු ලබන පාර්ශ්වයේ එක් අයෙකු හැර දමා ගියේ නම් හෝ මානසික ආබාධ තත්ත්වයකින් පෙළෙනවා නම් එවැනි අවස්ථාවක දරුවාගේ ඉහළම භාරකාරු වන දිසා අධිකරණය විසින් නැවත වතාවක් දරුවාගේ භාරකාරත්වය පවරාගෙන සුදුසු භාරකාරත්වයකට පවරනු ලැබේ. වැදගත්ම කාරණය වන්නේ යම් පාර්ශ්වයකින් දරුවකු හදාවඩා ගැනීමට ගන්නා කිසිම අවස්ථාවකදී දෙපාර්ශ්වය අතර මුදල් හුවමාරුවක් සිදුවිය නොහැකිය. ස්වාභාවික මවට වුවද හදාගැනීමට ගන්නා මවුපියන් විසින් මුදල් ලබාදිය නොහැකිය. යම් අවස්ථාවක එවැනි වරදක් සිදුවුවහොත් එය දණ්ඩ නීති සංග්‍රහයේ පුද්ගල ජාවාරම නම් වරද යටතට වැටේ.
දරුවාට දේපළ හිමිවෙන හැටි
දරුවකු හදාවඩා ගැනීමට අධිකරණයෙන් ඉල්ලීමක් කළ විට ඉල්ලීම කළ පියාගේ වාසගම එම දරුවාට ලැබේ. එවිට මවගේ සහ පියාගේ වාසගමත් ඔවුන් මව හැටියට පිළිගැනීමත් නිසා මේ දරුවා ඒ අයගේ සුජාත දරුවකු බවට පත් වේ. එතැනදී යම්කිසි දේපළක්, අන්තිම කැමති පත්‍රයක් නොමැතිව මවුපියන් මියගියහොත් එම දේපළවලට හිමිකම් කීමේ අයිතිය දරුවාට තිබේ. ඒ වගේම දරුවා හදාවඩා ගන්නා මවුපියන් දරුවාගේ උපරිම යහපත සැලැස්වීමට සම්පූර්ණ වගකීමෙන් බැඳී සිටීයි.
පොලිසියේ මැදිහත්වීමකින් දරුවා ලබාගැනීමද වඩාත් සාර්ථක බව බොහෝ දෙනෙක් සිතති. එහෙත් එය සම්පූර්ණයෙන්ම වැරදි සහගත ක්‍රියාවකි. දරුවකු හදාවඩා ගැනීම හෙවත් කුලවද්දා ගැනීම කළ යුත්තේ දිසා අධිකරණයට ඉදිරිපත් කරන නඩුවකින් පමණි. එහිදී පෙත්සම් සහ දිව්රුම් පෙත්සම් ඉදිරිපත් කරනු ලැබේ. බොහෝ අය සිතන්නේ උසාවියට ගියවිට දරුවාගේ උප්පැන්න සහතිකය පිටතට පැමිණෙන අතර එහිදී දරුවා අරන් හදාගන්නා දරුවකුබව නෑදෑයින් සහ පිටස්තර පුද්ගලයන් දැනගන්නා බවයි. එසේ සිතන බොහෝදෙනෙක් ස්වාභාවික මවට මුදල් ගෙවා සියලු ආවතේව සිදුකර මව රෝහල්ගත කිරීමෙන් පසුව ලියකියවිලිවලට ඉල්ලුම් කරන තැනැත්තාගේ නම ලබාදෙන ලෙස ඉල්ලා සිටිති. එහෙත් කිසිම විටකදී එවැනි ක්‍රියාවක් නොකළ යුතුය. එයට හේතුව වන්නේ එය නීත්‍යනුකූල නොවීමයි. යම් දිනයකදී ඒ මව පොලිසියට පැමිණිල්ලක් කර දරුවා ලබාගත් අය මගෙන් වංචනිකව දරුවා ලබාගත් බව පැවසුවහොත් අදාළ පාර්ශ්වයට අනිවාර්යයෙන්ම අපරාධ නඩුවක වරදකරුවකු වීමට සිදුවෙන බව මතක තබාගත යුතුය. ඒ නිසා සෑම විටම නීත්‍යනුකූලව කටයුතු කිරීමට වගබලාගත යුතු වේ. සාමාන්‍ය පොදු නීතියේදී වගේම ඉහතින් සඳහන් කළ ඕනෑම නීතියක් යටතේ දරුවකු හදාවඩා ගැනීමට යාමේදී මේ හා සමාන නීතියක් සෑම විටකදිම බලපැවැත් වේ.
සටහන නයනා උදයංගනී
Leave a comment