දවසකට කි.මී.1000 ක් කෝච්චියක් වගේ දිග කන්ටේනරයක් පදවන ලංකාවේ සිරිමාලි
පෙනුමින් මෘදු මොළොක් ගති පැවතුම් තිබුණත් කාන්තාවක් කියන්නේ කායිකව මෙන්ම මානසිකවත් පිරිමියෙකුට නොදෙවෙනි ශක්තිමත් චරිතයක් කිව්වොත් නිවැරදියි. එය එසේ වුවත් සමාජයට බියෙන් තමන්ගේ ජීවිත ඇතුළෙ අනුන්ගේ හීන පැළ කරගෙන ඒවට පණ දෙන්න වෙර දරන කාන්තාවෝ වැඩි පිරිසක් අප අතර සිටිති. ඒ අතරේ පිරිමින්ටවත් හිතන්න බැරි යකඩ සිහින දකිමින් ඒවා සැබෑ කරගන්න උත්සාහ කරන කාන්තාවනුත් නැතුවම නොවේ. ලංකාවේ ඉපදී මේ වන විට ඇමෙරිකාවේ ජීවත් වෙමින් ලංකාවේ අපට දකින්නට තියා හිතන්නටවත් නොහැකි අඩි 80 දිග විශාල කන්ටේනර් රථයක් දිනකට කිලෝ මීටර් දාහක් ධාවනය කරන අපේ රටේ යකඩ ගැහැනියක් ගැනයි මේ පවසන්නේ. අපේ රටට මෙන්ම සියලුම කාන්තාවන්ට ඇය අභිමානයක් වන නිසාම මෙවර කාන්තා දිනයේදී ඇය ගැන රටට කියන්නට අපි අදහස් කළා. හීන මොනතරම් දුර වුනත්, දුෂ්කර වුණත් ඒවා සැබෑ කරගත හැකි බවට හොඳම උදාහරණය ඇයයි. සිරිමාලි ගුණතිලක මේ යකඩ ගැහැනියගේ නමයි.
සහෝදරියන් දෙදෙනෙකු සිටින පවුලේ බාලයා වූ ඇයගේ ගම මතුග මයි. ගමේ පාසලෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන ඇය පුංචි කාලේ ඉඳලම සිතන පතන විදිය වෙනස් වූ නිසාම ඇයට තිබුණේ වෙනස්ම විදියේ සිහින ටිකක්. බාලයා වූ නිසාම ටිකක් කොලු වැඩ කරන්නම දඟකාරකම් දැක් වූ ඇයට තාත්තාගේ මෝටර් බයිසිකලය පදින්න ඉගෙන ගන්න තිබුණෙත් පුදුම ආසාවක්. වෘත්තියෙන් පියාද රියදුරකු වූ නිසාම ඇයටත් ඒ ජවය යටි හිතේ කොතැනක හෝ තිබෙන්නට ඇති. අද වන විට අමෙරිකාවේ පුරවැසිභාවය හිමිකරගෙන සිටින සිරිමාලි සමග කතා කළ අපට ඇගේ ජීවිතය ජයගත් ආකාරය ගැන කියන්න අමතක කළේ නැහැ.
“ගමේ ඉස්කෝලෙන් ඉගෙනගෙන උසස් පෙළ අවසන් කළාට පස්සේ මට ඕනෑ වුණේ ජීවත් වෙන්න රැකියාවක්. ඒ නිසා මගේ මුල්ම රැකියාව විදියට සණස බැංකුවේ අවුරුදු පහක් විතර සේවය කළා. ඉතින් මේ කාලයේ මට තේරුණා මේ ලැබෙන වැටුප ජීවත් වෙන්න හොඳටම ප්‍රමාණවත් මදි කියලා. ඒ වගේම මට ඒ දවස්වල ඉංග්‍රීසි ඉගෙනගෙන සුද්දෙක් වගේ ඉංග්‍රීසියෙන් කතා කරන්න තිබුණේ පුදුම පිස්සුවක්. ඒ නිසා මම හොටෙල් පැත්තට යන්න තීරණය කළා. මේ ෆීල්ඩ් එකත් එක්ක මට ඉංග්‍රීසි හදාගන්න පු`ඵවන් වෙනව වගේම ටිකක් විනෝදජනක රැකියා ක්ෂේත්‍රයක්නේ. ඒ නිසා මම හරි ආසාවෙන් හොටෙල් ෆීල්ඩ් එකේ රැකියාවකට ආවා.
ජීවිතේ සමහර වෙලාවට නපුරු දේවල් සිද්ධ වෙන්නෙම තවත් සුබ දෙයක් සිදුවෙන්න කියලා මට දැනුණා. මගේ ජීවිතේත් ඒවගේ අත්දැකීමක් තියනවා. සුනාමිය එන්නේ මේ කාලෙදී. ඒකෙන් අපි හිටිය හොටෙල් එකට ලොකු අලාභයක් සිද්ධ වුණා. අලුත් වැඩියා කටයුතු සිදුකරනතුරු කාලයක් එය වහලා දාන්න සිදු වුණා. මෙහෙම ඉද්දි අපි හිටිය හොටෙල් එකේම මම අඳුනන කෙනෙක් හොටෙල් ෆීල්ඩ් එකටම මට ඩුබායිවලට යන්න උදවු කළා.
මේ වෙනකොට මම ඉංග්‍රීසිත් තරමක් දුරට හදාගෙන තිබුණු නිසා මම ඩුබායිවලට ගියා. දෙමාපියන්ගෙන් පවුලේ අයගෙන් කිසිම බාධාවක් තිබුණෙ නැහැ. ඒ අය මම ගන්න තීරණවලට උදවු කළා. ලෝකයේ කොහේ ගියත් වාසනාව අපි හොයාගෙන එනවා. මගේ ජීවිතේ වෙනස් වෙන්නෙත් ඒ විදියට.
ඉතින් දවසක්, ඩුබායිවල මම හිටපු හෝටලයේ කාමර විස්සක් අමෙරිකන් නේවි එකේ අයට වෙන්කරල තිබුණා. ඒ අතරේ කෙනෙක් හිටියා ඩුබායි පොලිසියේ වැඩකරන ගමන් පාට් ටයිම් නේවි හිටිය කෙනෙක්. මෙයා මාත් එක්ක වැඩිපුර හිතවත් වුණා. මට හරි කැමතියි. කාලයත් එක්ක ඉතින් ඔහු මගේ ජීවිතේට විශේෂ පුද්ගලයෙක් වුණා. එයා මට කැමතිවුණු නිසා අපි ලංකාවට ඇවිත් මගේ දෙමාපියන්ගෙ න් අවසර අරන් එයාලගෙත් කැමැත්ත මත විවාහ වෙලා අපි දෙන්නම අමෙරිකාවේ පදිංචියට ගියා. ඔහු අමෙරිකානු ජාතිකයෙක් නිසා විවාහයෙන් පස්සේ මටත් ඒ රටේ පුරවැසිභාවය ලැබුණා.
එහේ පදිංචියට ගිහින් සති කිහිපයකින් වගේ මම හරිම පුදුම දෙයක් දැක්කා. එක ගැහැනු කෙනෙක් අඩි අසූවක් පමණ දිග කන්ටේනර් එකක් පදවගෙන එනවා. මම මීට කලින් කවදාවත් ගෑනු කෙනෙක් ඒ විදියට දැකල තිබුණේ නැහැ. ඒක මගේ සැමියට නම් පුදුමයක් නෙවෙයි. මම පුදුම වෙලා ඒ ගැන අහද්දි ඔහු මට කිව්වේ මේ රටේ ගැහැනු අයට ඕනෑ දෙයක් කරන්න නිදහස තියනවා මේක මෙහෙ සාමාන්‍ය දෙයක් පුදුම වෙන්න දෙයක් නෙවෙයි කියලා. ඇත්තමට මට ඒ වෙලාවේ ඒ ගැන ආසාවක් ඇතිවුණා. මාස කිහිපයක් යද්දි මට ඒ ගැන ආසාව දිගටමට තිබුණ නිසා මගේ සැමියා මට කිව්වා ඔයා කැමති නම් ඒ පාඨමාලාව කරන්න කියලා. ඒක මාස දෙකක පාඨමාලාවක්. ලංකාවේ මුදලින් ඒ පාඨමාලාව කරන්න ලක්ෂ අටක් විතර යනවා. ඉතින් මම ඒ අභියෝගය බාර අරන් ඒක උවමනාවෙන් කළා. විශාල කැපකිරීමක් කරන්න වුණා.
මේ පාඨමාලාව ඉවරවෙලා ලයිසන් ගත්තදාට පහුවෙනිදම මට කන්ටේනර් රථයක් රැගෙන යන මේ රැකියාව ලැබුණා. එදා මම පුදුමයෙන් දැක්ක කන්ටේනර් රථය දැන් මගේ ඇස් ඉදිරියේ. මම සෑම කාන්තාවකටම කියන්නේ අපිට බැරි දෙයක් නැහැ. උවමනාවයි කැපකිරීමයි තියෙනවනම් ඕනෑම දෙයක් කරන්න ගැහැනියකට පු`ඵවන්. ගැහැනු දන්නේ නැහැ තමන්ට තියන ශක්තිය ගැන. භාණ්ඩ ප්‍රවාහනය කරන මේ විශාල කන්ටේනර් රථය අරන් මම දවසකට කිලෝමීටර් දාහක දුරක් යනවා තනියම. දැන් මටම කියලා කන්ටේනර් එකක් තියනවා. ඒ විදියට දවස් පහක් එක දිගට වැඩ.
මේ කන්ටේනර් එක කන්ටේනර් බොක්ස් දෙකකින් සමන්විත එකක්. අඩි 80ක් දිග මේ වාහනයේ ජියර් දොළක් තියනවා. ඇත්තටම මේක පොඩි කෝච්චියක් වගේ. මේ වාහනය ඇතුළෙ ඇඳක්, පුංචි කාමරයක් ඇතු`ඵ සියලුම පහසුකම් තියනවා. මේ රටේ වුනත් මේ වගේ ලොකු වාහනයක් ගෙනියන කාන්තාවෝ අඩුයි. මම වැඩ කරන ආයතනයේ පිරිමි දාසය දෙනෙක් එක්ක මම විතරයි එක කාන්තා රියදුරෙකුට ඉන්නේ. ඒ ගැන මට තියෙන්නේ ලොකු ආඩම්බරයක්. ඒ වගේම කියන්න ඕනෑ මට මේ ගමනෙදි බාධාවක් වුණේ භාෂාව විතරයි. ඉංග්‍රීසි දැනගෙන හිටියත් මෙහෙ අය භාෂාව ශබ්ද කරන විදිය කතාකරන විදිය වෙනස්නේ.
ඉතින් සමහර වෙලාවට මට මොකුත් තේරෙන්නේ නැහැ. දෙතුන් වතාවක්ම නැවත නැවත අහනවා. නමුත් දැන් ඒක කිසිම ගැටලුවක් නැහැ. මෙතෙන්ට එන්න රෑ දවල් නොතකා වැඩ කළා. වැඩට යන්න අවදි වෙන්නේ රෑ දොළහ හමාරට විතර. එක වෙද්දි වැඩට ඉන්න ඕනෑ. හැමදෙයක්ම තාක්ෂණයෙන් වැඩ. සේවයට පැමිණීම වාර්තා කිරීම, වැඩ අවසන් කිරීම මේ හැමදේම ඇප් තුනක් හරහා සිද්ධ වෙන්නේ තමන්ගෙම ජංගම දුරකථනයෙන්. කාලය නාස්ති වෙන්නේ නැහැ. ඕන රැයක ගැහැනු අයට එළියේ වැඩ කරන්න පු`ඵවන්. නිදහසක් ජීවිතයක් තියනවා.
ඇය ඇගේ කතාව අවසන් කළේ ජයග්‍රාහී සිනාවකින්. ලහසුවෙන් අත්පත් කරගන්න තියා හිතන්න වත් බැරි සමහර හීන හැම හදවතක් ඇතුළෙම තියනවා. හැබැයි ඒ ඉලක්ක ජය ගන්න නම් ඒ වෙනුවෙන් අප්‍රමාණ කැප කීරීම් කරන්නට වෙනවා. හැමෝම නොකරන අසාමාන්‍ය දෙයක් තවත් කෙනෙක් කරන්න ගත්තාම ඒ දෙස වැඩි දෙනෙක් බලන්නේ ටිකක් අමුතු විදියට. එහෙම අත්දැකීම් ඔබටත් ඇති. ඒ කොහොම වුණත් කෙනෙක් ඉහළට යන්න උත්සාහ කරන මොහොතේ ගල් මුල් ගැසීමට බොහෝ දෙනෙක් සිටියත් ඔවුන්ට එය කරන්නට හැකි වන්නේ සීමාවකට පමණයි. ගල් මුල් ගැසීමට නොහැකි මට්ටමට ඉහළට ගිය පසුව ගල් ගැසූ සියලු දෙනා නරඹන්නන් පමණක්ම වෙනවා.
සටහන නයනා උදයංගනී
Leave a comment