දියණිය රකින්න බැරි මවක් රටේම දරුවන් රකින්නේ කොහොමද?
රටේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වගකීමක් දරන කාන්තාවකට තමන්ගේ දරුවාගේ ආරක්ෂාව ගැනවත් හිතන්න තරම් හැඟීමක් නැහැ කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්ද?
තිරිසන්ගත සතා සිව්පාවා ළඟ තිබෙන මාතෘගුණවත් සමහර වෙලාවට අපේ මිනිසුන් ළඟ නැත. බල්ලන් බළලුන් වැනි තිරිසන් සතුන් පවා තමන්ගේ පැටවුන් අනාරක්ෂිත යැයි කියා සිතෙන සෑම මොහොතකම පැටවු රැකගන්න තැන් තැන්වලට අරන් යන්නේ තිරිසනා වුණත් අම්මා කියන්නෙම සසරක්බව සිහිපත් කරමිනි. රටේ අනාගතය රකින මවු දෑතකට තමන්ගේ දරුවා බරක් නම් එවන් කතුන්ගේ සමාජ මෙහෙවර ගැන කුමන කතාද? පසුගිය දිනවල මාධ්‍යවල කතාබහට ලක් වූ ළමා හිංසනයක කඳුළු කතාවයි මේ,
මේ කතාව වඩාත් ඛේදනීය වන්නේ මෙම පීඩාවට පත්වූ දියණියගේ මව, කැලණිය පොලිස් බල ප්‍රදේශයට අයත් පොලිස් ස්ථානයක ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති තනතුර දරන පොලිස් පරීක්ෂකවරියක් වීම හේතුවෙනුයි. ඇය ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධව පාසල්වලට ගොස් දේශනද පවත්වයි.
මවු ගුණ පසෙක තබන්න, අඩු තරමින් ඇයට තම රාජකාරි ජීවිතය ගැන හෝ හැඟීමක් තිබුණා නම්, සංවේදීබවක් තිබුණා නම් දියණියකට මෙවන් විපතක් වෙනතුරු බලා සිටින්නේ නැත. එහෙත් ඒ අම්මාට දියණියට අත්ව ඇති අවාසනාවන්ත ඉරණම ගැන හැඟීමක් තිබෙන්නට නැත. අනෙක දියණියට හෙට දවසේ ඊටත් වඩා ඛේදනීය ඉරණමක් අත් වේ යැයි සැක සංකාවක් ඇති කර ගැනීමට ඕනෑකමක් නොතිබෙන්නට ඇත.
අලුත් පෙම්වතා
ඒ සියල්ලට වඩා ඇයට අලුත් පෙම්වතා සමග ගෙවන ජීවිතය රහ වෙන්නට ඇත. එහෙත් අම්මා කෙනෙකුට එසේ විය හැකිද?
රටේ වගකිව යුතු නිලයක් දරන විශේෂයෙන්ම දරුවන් සහ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින ඒ නිසාම මේ රටේ මිනිසුන්ගේ මුදලින් වැටුප් ලබන වගකිව යුතු නිලධාරිනියකට තම ඇස් පනාපිටම තම දරුවාට සිදුවන අපරාධයක් වසන් කිරීමේ අයිතියක් තිබෙනවාද?
ඒ සියල්ල අද වනවිට පොලිස් පොතේ ලියැ වී තිබේ. විමර්ශනය වෙමින් තිබේ. ඒ ඛේදජනක කතාවයි මේ.
අපි ඇයව පද්මා නමින් හඳුන්වමු. විවාහක ඇය වයස අවුරුදු 12ක සහ අවුරුදු 07 දියණියන් දෙදෙනකුගේ මවකි. පද්මාගේ සැමියාත් රැකියාව කළේ රාජ්‍ය අංශයේ ය. සැමියා සිදුකර ඇති යම් වංචනික ක්‍රියාවක් හේතුවෙන් මේ වන විට ඔහු සිර දඬුවම් ලබමින් සිටියි. සැමියා සිරබත් කද්දී පද්මා අනියම් ප්‍රේමයක් සොයා ගත්තාය. ඇය තම දියණියන් දෙදෙනා සහ අනියම් සැමියා සමග ජීවත්වූයේ එකම වහලක් යටය. මේ කතාවේ ඛේදවාචකය පටන් ගන්නේ ඒ වහල යටදීය. ඒ කතාවේ සුලමුල සොයා ගිය පොලිස් නිලධාරිනියන්ට වැඩිමහල් දියණියගෙන් අසන්නට ලැබුණේ හද සසල කරවන කතාවකි.
“මම අම්මා කරන රස්සාව නම් හරියටම දන්නේ නැහැ. ඒත් එයාගේ ඔෆිස් මේසේ උඩ එයාගේ තනතුරයි නමයි ලියලා තියන බෝඩ් එකක් නම් මම දැකලා තිබුණා. තාත්තා හුඟක් කල් ඉඳලා අපි බලන්න ආවේ නැහැ. අම්මා නම් කිව්වේ තාත්තා වැඩපළේ වැඩවලට ටිකක් දුරකට ගිහින් කියලා. ඒත් තාත්තා එහෙම ගියපු දවසේ ඉඳලා අද වෙනතුරු අපට කෝල් එකක්වත් දීලා නම් නැහැ.
අලුත් ගෙදරක්
අපි හිටියේ කිරි අම්මලාගේ ගෙදර. තාත්තා ගිහින් ටික දවසක් යනකොට අම්මා අපිවත් අරන් අලුත් ගෙදරකට ගියා. අලුත් ගෙදරට ගිහින් දවස් දෙකක් විතර යද්දි අම්මගේ ඔෆිස් එකේ යා`ඵ මාමා කෙනකුත් අපේ ගෙදර ඇවිත් ගියා. පස්සේ ඒ මාමාත් අපිත් එක්ක අපේ ගෙදරම නැවතුණා. ඒ මාමාගේ නම ළහිරු. ගෙදර තියන අම්මගේ බඩු මුට්ටු, අම්මගේ වාහනේ මාමා පාවිච්චි කළේ එයාගෙම ඒවා වගේ.
මුල් දවස් දෙකේ නම් මාමා අපිත් එක්ක හොඳට කතාබහ කළා. ඊට පස්සේ නම් මම ළහිරු මාමා ගෙදර ඉන්නවට චුට්ටක්වත් කැමති වුණේ නැහැ. එක දවසක් අම්මා වැඩට ගියාට පස්සේ මම සාලෙට වෙලා පාඩම් කරකර ඉද්දි මාමා මගේ ළඟට ඇවිත් වාඩිවෙලා මගේ පපුව ඇල්ලුවා. පස්සත් කෙනිත්තුවා. තව එක ඒවා කළා. ඊට පස්සේ තනියම ඉන්න හැම දවසකට එයා එහෙම කළා. එහෙම වෙලාවට මම මේක අම්මට කියනවා කියලා මාමට බැණලත් තියනවා.
මාමගේ කරදර
අම්මයි මාමායි දෙන්නම ගෙදර ඉන්න දවස්වලටත් මම කැමති නැහැ. එහෙම දවස්වලට මට වැඩ වැඩියි. ළහිරු මාමාගේ හැම වැඩක්ම කරන්න ඕනෑ මම. එයා කාපු බීපු පිඟන් කෝප්ප සෝදන්න, එයාගේ කාමරේ අස්කරන්න ඕනෑ මම. එයා නිදාගන්න ඇඳ අස්කරන්න ඕනෑ මම. ඒවා කළේ නැත්නම් අම්මත් මට බනිනවා. ගෙදර වළං පිඟන් සෝදන්නෙත් මම. වැඩට යන නිසා අම්මා කැමති නැහැ එයාගේ අත්වල දැලිකුණු ගෑවෙනවට. අම්මා ගෙදර නැති වෙලාවටත් මාමා මගෙන් වැඩ ගන්නවා. අම්මට මේ ගැන කියනවා කියලා මම මාමට කිව්වාම එයා කළේ අම්මට අපි ගැන වැරදි කියලා අපට තවත් බැණුම් අස්සන එක.
එක දවසක් මම අම්මට කිව්වා ලහිරු මාමා මට කරදර කරනවා කියලා. මම අම්මට ඒ ගැන වැඩි විස්තර නම් කිව්වේ නැහැ. මොකද අම්මා අපි කියන දේවල් එච්චර ගණන් ගන්නේ නැහැ. වැඩ ඇරිලා ආව වෙලාවේ ඉඳලා එයා එයාගේ වැඩ. අපි කියන දේවල් අම්මා සතේකට ගණන් ගන්නෙ නෑ. මාමා නිසා මම ගෙදර ඉන්න කැමති නැහැ කියලා නිතර කරදර කරපු නිසා එක දවසක් අම්මා නංගිවයි මාවයි ආයෙත් කිරි අම්මලාගෙ ගෙදරට ගෙනත් දැම්මා. එතකොට මට විභාගෙට තිබුණේ සතියයි. පාඩම් කරන්න පොතක්වත් තිබුණේ නැහැ. පොත් ගෙනත් දෙන්නම් කියලා අම්මා ගියාට එයා ඒවා ගෙනත් දුන්නේ දවස් තුනකුත් ගියාට පස්සේ. මොනව වුනත් අම්මා ළඟ ඉන්නටව වඩා අපි කිරි අම්මා ළඟ ඉන්න හරිම කැමතියි. එයා අපට හුඟක් ආදරෙයි. අපට ආරංචි වුණේ අම්මා අපි හිටපු ගේ විකුණලා මාමත් එක්ක රට යන්න හදනවා කියලා. එහෙම වුණොත් අපට කිරි අම්මා ළඟ දිගටම ඉන්න පු`ඵවන්.
නංගිවත් තුරුලු කරගෙන අවුරුදු දොළහේ පුංචි දැරිය ඇයගේ කතාව අවසන් කළේ ඒ විදියට.
දරුවන් සහ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන රටේ වගකීමක් ඇති ඉහළ නිලධාරිනියක් මෙලෙස තමන්ගේ දියණියගේ ආරක්ෂාව වෙනුවෙන්වත් කටයුතු නොකිරීම තරයේ හෙළා දැකිය යුතු වගකීම් විරහිත වරදක් ලෙස දැකිය හැකිය.
මේ තවත් එක් දරුවකුගේ කතාවක් පමණි. මේ විදියට අසරණ වූ දරුවන් මේ සමාජය තුළ තවත් කොපමණ ඇත්ද? මොනතරම් විශ්වසනීය බැඳීමක පැට`ඵනත් දරුවා පිටස්තර පුද්ගලයකු ළඟ දමා යෑම මොනතරම් අනුවණ ක්‍රියාවක්ද? දරුවන්ට එලෙස සිදුවන අතවර හෝ පීඩා ඔවුන්ගේ මු`ඵ ජීවිත කාලය පුරාවටම බලපෑම් ඇති කළ හැකිය. ඔබ මෙලොවට දරුවෙක් බිහි කළේ නම් එම දරුවාට නිසි ආදරය, රැකවරණය, ආරක්ෂාව ලබා දීමේ වගකීමෙන් නිදහස්වීමට නොහැකිබව අවබෝධ කරගෙන දරුවන්ගේ හෙට දවස විශ්වාසයෙන් ගත කිරීමට අවැසි පසුබිම සකස් කර දිය යුතුබව සිහි තබාගන්න.
(නම්ගම් මනඃකල්පිතය. පොලිස් පරීක්‍ෂණ ඇසුරින් සත්‍ය කතාවකි.)
නයනා උදයංගනී
Leave a comment