දීර්ඝායුෂ දෙන ප්‍රීතිමත් මන්තරේ

 

‘ප්‍රීතිමත් පුද්ගලයෙකු’ යැයි කිවහොත් ඔබට එකවරම හිතෙන්නේ කුමක්ද? නිතර සිනහවෙන් සිටින කෙනෙක් නේද? ඒත් මේ ‘ප්‍රීතිමත්’ යන වචනය තුළ ගැඹුරු අර්ථයක් තිබේ. 


පුද්ගලයෙක් ජීවිතයේ විවිධ අවස්ථා අත්විඳියි. ජයග්‍රහණ, පැසසුම් ලැබීම, දුක, තරහාව, බිය එම අවස්ථා ලෙස දැක්විය හැකිය. ජයග්‍රහණ, පැසසුම් ලැබීම වැනි ධනාත්මක අවස්ථාවලදී බොහෝවිට ඇතිවන්නේ ප්‍රීතිමත්බවකි. ධනාත්මක චිත්තවේග වැඩිපුර දැනෙන, ජීවිතය පිළිබඳ තෘප්තියක් දැනෙන මානසික තත්ත්වයක් වශයෙන් ද ප්‍රීතිමත්බව සඳහන් කළ හැකිය. මෙහිදී ඔබ මතක තබා ගත යුතු වැදගත්ම දෙය නම් ප්‍රීතිමත්බව යනු එක දිගටම උතුරා යන සතුටින් සිටින බව නොවේ.


අපේ ජීවන චක්‍රය තුළ ප්‍රීතිමත්බව කාලයෙන් කාලයට වෙනස් වන්නකි. එය යොවුන්වියේ සිට මැදවිය දක්වා ක්‍රමයෙන් අඩුවෙනබවත්, නැවතත් වැඩිහිටිවියේදී වැඩිවෙනබවත් පර්යේෂණවලින් සොයාගෙන ඇත. එයින් කියැවෙන්නේ අවුරුදු විසිගණන්වලදී අපව ප්‍රීතියට පත් කළ දේ, වැඩිහිටිවියේදීත් අපව ප්‍රීතියට පත් කිරීමට සමත් නොවන බවයි. ඒ නිසා කාලයෙන් කාලයට අපව සතුටු කරන දේ හඳුනාගෙන ඒවා වෙනස්කර ගැනීමට උනන්දු වීමෙන් ජිවිත කාලය පුරාවටම ප්‍රීතිමත්බව රඳවාගත හැකියි.

 


‘ප්‍රීතිමත්බව’ වැදගත් වෙන්නේ ඇයි?

අදහස් දැක්වීම:  -සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික 
සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ, 
ප්‍රජා වෛද්‍ය විශේෂඥ 
යමුනා එල්ලාවල


ප්‍රීතිමත් මිනිස්සු විවාහය, මිත්‍රත්වය,   රැකියාව හෝ අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි ජීවිතයේ විවිධ පැතිකඩවල වඩා දියුණුවක් පෙන්වති.


ඔවුන් අසනීප වන්නේ කලාතුරකිනි. අසනීප වුවත් රෝග ලක්ෂණ පෙන්වන්නේ අඩුවෙනි. ප්‍රීතිමත් මිනිසුන්ට මිතුරු මිතුරියෝ බොහෝ සිටිති. හොඳ උපකාරාත්මක වටපිටාවක් ඇත. 


ප්‍රීතිමත් මිනිස්සු උදව් කිරීමට කැමැතිය. පරිත්‍යාගයට කැමැතිය.  ඒ අය ජීවිතය දෙස බලන්නේ සුබවාදී ලෙසටය. වේදනා, දුක් කම්කටොලු පහසුවෙන් විඳ දරා ගනිති. 


ප්‍රීතිමත් මිනිස්සු අන් අය තුළ ධනාත්මක බලපෑමක් ඇති කරන  අතර ප්‍රීතිය සොයා යාමට අන් අයව බලගන්වයි. ඒවාගේම ප්‍රීතිමත් මිනිස්සු ව්‍යායාම කිරීම, සමබල ආහාර ගැනීම වැනි යහපත් ජීවන රටා අනුගමනය කරති. තමන්ට ලැබී තිබෙන දේ ගැන තෘප්තිමත් වෙන අතර අන් අයට ඊර්ෂ්‍යා නොකරයි. 


ඒවාගේම ප්‍රීතිමත් මිනිස්සු නිරෝගීමත් නිසා ඔවුහු වැඩි කාලයක් ජීවත් වෙති. 

 


ප්‍රීතිමත්බව හා සෞඛ්‍යය 
ප්‍රීතිමත්බව හා සෞඛ්‍යය ඉතා තදින් එකිනෙකා හා බැඳී පවතී. එනමුත් යම් රෝගයකින් පෙළෙන අයට ප්‍රීතිමත්ව සිටිය නොහැකි යැයි ඉන් අදහස් නොකෙරේ. ඒවාගේම ප්‍රීතිමත්බව හා මානසික සෞඛ්‍යය අතර ඇත්තේද ඉතා ශක්තිමත් බැඳීමකි. අප නිරෝගී නම්, අපට යහපත් සබඳතා පවතී නම්, මිත්‍රශීලී නම් ජීවිතය සතුටින් ගත කිරීමට අපට හැකිවෙයි. 


ප්‍රීතිමත් මිනිසුන්ටත් කාලයෙන් කාලයට තරහව, කලකිරීම, තනිකම, දුක වැනි විවිධාකාර චිත්තවේග දැනෙයි. එසේම ඔවුන් අපහසුතාවලින් පෙළෙන විටත් ඒවා නිසි අයුරින් කළමනාකරණය කරන්න හැකි බවටත්, හොඳ අතට හැරෙනු ඇති බවටත්, එසේම නැවත පෙර පරිදි ප්‍රීතිමත්ව සිටිය හැකි වනු ඇති බවටත්, ඔවුන් තුළ ශුභවාදී හැඟීමක් තිබේ. 

 


සතුට සොයා යාමේ දී ඇතිවෙන අභියෝග ද විශාලය.

මුදල්වලට සතුට මිලදී ගැනීමට නොහැකි වුවත් අත්දැකීම් ලබා ගැනීමට වියදම් කිරීමෙන්, ලැබෙන සතුටට වඩා වැඩි සතුටක් ලැබේ.


මුදල් තත්ත්වය හෝ ද්‍රව්‍යමය  (යාන වාහන, ගේදොර ඉඩකඩම් ආදිය) වැනි දේ ඕනෑවට වඩා අගය කිරීමෙන් වඩා ප්‍රීතිමත්බවක් ලැබේ.

 


ප්‍රීතිමත්බව යනු ඔබේ අවසාන ඉලක්කය බව හිතන්න
අපට එකවරම ප්‍රීතිමත්බව කරා යා නොහැකිය. ඒ සඳහා තමන් කරනදෙයින් තෘප්තිමත්වීම, යහපත් සබඳතා ගොඩනගා ගැනීම වැනි අතරමැදි ඉලක්ක සපුරාගත යුතුයි. 

 


ප්‍රීතිමත්බව ඇති කරගන්නේ කොහොමද?
සමහර අය ස්වභාවයෙන්ම ප්‍රීතියෙන් පසුවන අතර, ප්‍රීතිමත් බව ඇති කර ගැනීමට අපට කළ හැකි දේ බොහෝය.

 


ඔබගේ ඉලක්ක කරා යන්න
ඔබගේ පෞද්ගලික පෞරුෂයේ වර්ධනයට දියුණුවට හෝ සමාජයේ දියුණුවට ඉවහල් වන, ඔබ ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන ඉලක්ක සපුරා ගැනීම මගින් ප්‍රීතිය වැඩි කර ගත හැකිය.

 


මේ මොහොත වින්දනය කරන්න
වැඩිපුර ඉපැයීමටට සිත යොමු කරන මිනිසුන් නොයෙක් දේ රැස් කිරීමට කොතරම් උනන්දු වනවාද කිව්වොත් ඔවුන් කරන දෙයින් සැබැවින්ම සතුටක්, වින්දනයක් ලැබීමට ඉඩක් නොලැබේ. ඒ නිසා ඉවක්බවක් නැතිව යම් යම් දේ රැස් කරනවාට වඩා ඔබට ලැබී තිබෙන දේවල්වලට ස්තුතිවන්ත වීමෙන් ප්‍රීතිමත් බව ළඟා කර ගත හැකිය.

 


සෘණාත්මක සිතුවිලි දෙස වෙනත් විදියට බලන්න
ඔබ යම් අපහසුකාරී හෝ කරදරකාරී අවස්ථාවකට පත් වී සිටින විට ඔබට ඇතිවෙන සිතුවිලි වඩාත් ධනාත්මක ආකාරයෙන් ගොඩනගා ගැනීමට හැකි නම් එයින් ඔබගේ ප්‍රීතිමත්භාවය නොනැසී පවතිනු ඇති. බොහෝ දෙනා නැඹුරු වී ඇත්තේ ස්වාභාවිකවම ධනාත්මක දේට වඩා තමන්ට සිදුවන සෘණාත්මක දේ ගැන වැඩි අවධානයක් යොමු කිරීමට ය. මෙය ඔබ තීරණ ගන්නා ආකාරයට මෙන්ම අන් අය තුළ ඔබ ඇති කරන හැඟීම්වලටද බලපෑමක් ඇති කරයි.


සෘණාත්මක සිතුවිලි නැවත හැඩගැස්වීම යනු ඒවා නොසලකා හැරීම නොවේ. එයින් අදහස් කරනුයේ ඒවා දෙස යථාර්ථවාදීව වඩා තුලනයකින් යුතුව බැලීමයි. එයින් ඔබේ සිතුවිලි රටාව ගැන අවබෝධයක් ලබා ගැනීමට මෙන්ම ඔබගේ සෘණාත්මක සිතුවිලිවලට අභියෝගයක් කිරීමට ඔබට හැකියාව ලැබෙනු ඇති. 


ඒ අනුව ප්‍රීතිය සොයා යාම යනු නොනවත්වා සිදු කළ යුතු ක්‍රියාවලියකි. ඒ සඳහා හැම දෙනාටම  ගැළපෙන  එක ක්‍රමයක් නැත. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. ජීවිතයට අරුතක්දීම, අව්‍යාජබව, ශුභවාදීබව, කෘතවේදීබව, දයානුකම්පාව හා ත්‍යාගශීලීබව ආදී ගුණ හා හැසිරීම් ‘ප්‍රීතිමත්බව’ කරා ඔබ ගෙන යයි.

සුබෝධිනී පෙරේරා 


 

 

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’ Read Previous

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න   - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන් Read Next

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන්

Realted Post

Leave a comment