දේපළ වෙනත් කෙනෙක් ලියාගෙන නම් මොකද කරන්නේ?

 

යම්කිසි පුද්ගලයෙකුගේ දේපළක් සම්බන්ධයෙන් ලිඛිත ලියවිල්ලක් සකස් කරන විට සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල ලෙස සකස් කිරීම නීතිඥවරයාගේ හෝ නොතාරිස්වරයාගේ ප්‍රධාන රාජකාරියයි 

 

කෙනකුගේ දේපළක් යනු සමහරවිට ඔවුන් මු`ඵ ජීවිත කාලය පුරාවටම දුක් මහන්සි වී උපයාගත් වත්කම විය හැකිය. ජීවිතය යනු අපි බලාපොරොත්තු නොවන දේවල් සිදුවිය හැකි තැනක් නිසා සමහර වෙලාවට දේපළ සම්බන්ධයෙන් තම බලාපොරොත්තු දේවල් ඉටුකර ගැනීමට හැකියාවක් නොලැබිය හැකියි. විශේෂයෙන් ආර්ථික ප්‍රශ්න, දැනුම නැතිකම, බරපතළ ලෙස අසනීපවීම, හදිසි මරණ ආදී අවස්ථා නිසා තමන්ගේ දේපළ තමන්ට අවශ්‍ය ලෙස කළමනාකරණය කරගැනීමේ අවස්ථාව අහිමි විය හැකියි. මෙවැනි අවස්ථාවල එවන් පුද්ගලයින්ගේ දේපළ කූඨ ලෙස අත්පත් කර ගැනීමට පවුලේ සමහර උදවිය පවා කටයුතු කිරීමටද පුළුවනි. මේ පිළිබඳ පසුගිය සතියේ සිරිකතින් අප කතා කළා. යම් පුද්ගලයෙක් නීතිඥවරයෙකු හෝ නොතාරිස්වරයෙකු සමග එක්වී වංචනික ලෙස ව්‍යාජ ලිපි ලේඛන සකසා දේපළක් අයිති කරගතහොත් එම නොතාරිස්වරයාට සහ වංචනික ලෙස දේපළ ගැනීමට කටයුතු කළ පිරිසට අත්විඳින්නට ලැබෙන නීති රෙගුලාසි ගැනයි මේ කතාබහ.

 

උපදෙස් - නීතිඥ 
මනෝජී අමරසිරි ගුණවර්ධන

නීතිඥවරයාගේ හෝ නොතාරිස්වරයකුගේ රාජකාරිය කුමක්ද? 
යම්කිසි පුද්ගලයෙකුගේ දේපළක් සම්බන්ධයෙන් ලිඛිත ලියවිල්ලක් සකස් කරන විට සම්පූර්ණයෙන්ම නීති්‍යනුකූල ලෙස සකස් කිරීම නීතිඥවරයාගේ හෝ නොතාරිස්වරයාගේ ප්‍රධාන රාජකාරියයි. එමෙන්ම සේවාදායකයාට අවංකව අවශ්‍ය දේ නිසි පරිදි පැහැදිලි කිරීම ඔහුගේ වගකීමකි. එවැනි අවස්ථාවක වංචනික දේවල්වලට, නීති විරෝධී දේවල්වලට සහ අනුන්ගේ දේපළකට හානියක්, අසාධාරණයක් සිදුවන කටයුත්තකට අනුබල දීමට ඔහුට කොහෙත්ම අයිතියක් නැත. 


වෘත්තීය ආචාර ධර්මවලට අනුව යම් කෙනක් නොතාරිස්වරයෙකු ළඟට සේවයක් බලාපොරොත්තුවෙන් පැමිණෙනවා නම්, ඔහු එම රාජකාරිය අවංකව ඉටු කිරීමට බැඳී සිටියි. ඒ සම්බන්ධයෙන් නොතාරිස් ආඥා පනතේ නීති රීති සමුදායක් ඇත. විශේෂයෙන්ම නොතාරිස් ආඥා පනතේ තිස් එක වගන්තියේ සිට තිස් හය වගන්ති දක්වාම ඇත්තේ නොතාරිස්වරයෙකුගේ යුතුකම් සහ වගකීම් පිළිබඳවයි. කුමන හෝ අවස්ථාවක ඔහු එලෙස කටයුතු නොකළහොත් එවැනි අවස්ථාවක ඔහුට විරුද්ධව නිතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතී. 


එමෙන්ම නොතාරිස් ආඥා පනත, ලේඛන ලියාපදිංචි කිරීමේ පනත, හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත, වංචා වැළැක්වීමේ පනත, මේ සියලුම නීති අණ පනත් විධිමත් කර තිබෙන්නේ ඔප්පු ලිවීමේදී හෝ එවැනි ඕනෑම ලිඛිත කටයුත්තකදී සිදුවන වංචා, කොල්ලකෑම් වළක්වාගෙන මිනිසුන්ගේ දේපළ ආරක්ෂා කිරීමටය. 


උදාහරණයක් ලෙස සමහර අවස්ථාවල අදාළ දේපළෙහි හිමිකරු යැයි පවසමින් විවිධ වංචනික පුද්ගලයින් ඉදිරිපත්වන අවස්ථා තිබේ. වැරදි හැඳුනුම් පත් සකස් කරගෙන ඉදිරිපත් කරන අවස්ථා ඇත. එවිට අත්සන් කරන්නේ අදාල පුද්ගලයාමද යන්න හැඳුනුම්පත් පරීක්ෂා කිරීම්, රියදුරු බලපත්‍ර සහ ගමන් බලපත්‍ර පරීක්ෂා කර නිවැරදිම පුද්ගලයා තහවුරු කරගැනීම විශාල වගකීමකි.


යම්කිසි දේපළක් විකිණීමේදී එම දේපළ විකුණන තැනැත්තාට එහි සැබෑ අයිතිය තිබෙන බව තහවුරු කර ගැනීම සඳහා පත්ඉරු පරීක්ෂාව ඉතා වැදගත් වේ. අයිතිය ලැබී ඇති විදිය පත්ඉරු පරීක්ෂාව තුළින් වසර තිහකට පමණ එහාට සොයා බැලිය හැකිය. ඊට අමතරව විකුණන තැනැත්තා ඉදිරිපත් කරන දෙවන පිටපත පරීක්ෂා කළ යුතුය. සමහර අවස්ථාවල දෙවන පිටපත පරීක්ෂා කිරීමේදී වෙනත් ඔප්පුවක් තිබෙන අවස්ථා ද නැතුවම නොවේ. ඒ නිසා අයිතිවාසිකම ලැබී ඇති විදිය පිළිබඳ නිවැරදිව දැනුවත් විය යුතුය. එය ඉඩමක් මිලදී ගැනීමේ දී ද සොයා බැලිය යුතු කාරණාවකි.

 

ඔබේ අයිතීන් ගැන දන්නවාද?
සමහර අවස්ථාවලදී ඇතැම් නොතාරිස්වරු හිස් කොළවලට අදාළ පාර්ශ්වයන්ගෙන් අත්සන් ගැනීම සිදු වේ. ලේඛන සියල්ල අවශ්‍ය ලෙස සකස් කරදෙන ලෙස පවසා විවිධ තැන්වලින් අත්සන් කරන ලෙස ඔබට පැවසුවත් කිසිම විටෙක එය සිදුකිරීම නුවණට හුරු දෙයක් නොවේ. තමන් දේපළක් පවරනවා නම් හෝ දේපළක් මිලදී ගන්නවා නම් කිසිම දිනෙක මේ වරද සිදු නොකිරීමට කටයුතු කිරීම වැදගත් වේ. ඔප්පුවල පිටපත් තුනක් ඇති අතර ඒවා සියල්ල කියවා නිවැරදිව තේරුම් ගත් පසුව අත්සන් කළ යුතුය.


ඇතැම් විට නොතාරිස්වරයාගේ ප්‍රකාශය පරිදි බෙහෝ දෙනෙක් නොතාරිස් ගාස්තුව, මුද්දර ගාස්තු සහ ලියාපදිංචි ගාස්තු සියල්ල සොයා බැලීමකින් තොරව නොතාරිස්වරයාට ලබාදීම සිදුකෙරේ. නමුත් නොතාරිස්වරයා මුද්දර ගාස්තු නිවැරදිව ගෙවා තිබේද යන්න අප දන්නේ නැත. එම නිසා අපි ලබාදෙන මුද්දර ගාස්තු නිසි පරිදි ගෙවා තිබේද යන්න පිළිබඳ අප දැනුවත් විය යුතුය. කුඩා මුදලක් නම් සමහර අවස්ථාවල මුද්දර වලින් ඇලවීම සිදු කළත්, තෑගි ඔප්පු සහ විකුණුම්කර ඔප්පුවක් වැනි දෙයක් නම් බැංකුවට මුදල් ගෙවිය යුතුය. එහිදී බැංකු රිසිට්පතේ පිටපතක් නොතාරිස්වරයාගෙන් ඉල්ලා නිසි පරිදි මුදල් ගෙවා ඇති බව තහවුරු කරගැනීමට අදාළ පුද්ගලයාට සම්පූර්ණ අයිතියක් ඇත.

 

වංචා කළොත් මොකද වෙන්නේ
ඇතැම් පුද්ගලයින් තමන් දැන හඳුනන නීතිඥවරයෙකු හෝ නොතාරිස්වරයින් සමග එකතු වී කූඨ ලේඛන සකස් කර සහ අසාධාරණ ලෙස දේපළ හිමිකරගැනීම් සහ විකුණුම්වලට යන අවස්ථාද ඕනෑතරම් දකින්නට ලැබේ. එවැන්නක් සිදුවුවහොත් එය කූඨ ලේඛන සකස්කිරීම යන අපරාධමය බරපතළ වරදට යටත් වෙනු ඇත. එය කිසිසේත් නීති්‍යනුකූල වන්නේ නැත. එවැනි පුද්ගලයින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධමය වරදකට වරදකරුවන් කළ හැකිය. එවැනි කටයුත්තක් සම්බන්ධයෙන් යම්කිසි කෙනකුට ගැටලුවක් හෝ සැකයක් ඇත්නම් පොලිසියට හෝ වංචා විමර්ශන ඒකකයට පැමිණිලි කළ හැකිය. එමෙන්ම යම් නොතාරිස්වරයෙක් එවැනි වැඩ කරන බවට සැක ඇත්නම් වෘත්තීය ආචාර ධර්මවලට එය පටහැනි නිසා එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන්ද පැමිණිලි කළ හැකිය. 
කෙසේ නමුත් තවත් කෙනෙක් මු`ඵ ජීවිත කාලය පුරාවටම ආදරයෙන් ආරක්ෂා කරගත් දේපළක් වංචනික ලෙස ලබා ගැනීම නීති විරෝධී මෙන්ම එය තමන්ගේ හෘද සාක්ෂියටද අවනත වන්නේ නැත. එමෙන්ම ඕනෑම අවස්ථාවකදී නීතියේ රැහැනටද හසුවිය හැකි නිසා එවැනි කටයුතු ඉතා අවංකව නිවැරදිව කරගැනීමට උත්සාහ කළ යුතුය.

සටහන - නයනා උදයංගනී                  

සියල්ල අහිමි වුවත්  ‘හැර නොයා රකින’ ප්‍රේමය Read Previous

සියල්ල අහිමි වුවත් ‘හැර නොයා රකින’ ප්‍රේමය

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද? Read Next

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද?

Realted Post

Leave a comment